සංක‍්‍රමණිකයින්ගේ අයිතිවාසිකම් තහවුරු කරමු ! 2015 දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය සමරමු !

18 Dec, 2015 | ACTFORM, Documents ACTFORM, Local, News

2015 වසරේ දී අප සමරනු ලබන්නේ 16 වන ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනයයි.

දෙසැම්බර් 18 වන දින ජාත්‍යන්තර සංක‍්‍රමණික දිනය ලෙස 2000 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංගමය විසින් ප‍්‍රකාශයට පත්කරන ලදී. එදා සිට අද දක්වාම ලෝකයේ බොහෝ රටවල, විශේෂයෙන් සංක‍්‍රමණික සේවය සඳහා සේවකයින් යවන රාජ්‍යයන් විසින් මෙම දිනය සමරනු ලබයි.

ලෝක ආර්ථිකයට වැදගත් දායකත්වයක් සංක‍්‍රමණික සේවකයින් නිසා ලැබෙන බව හඳුනාගෙන ඇති අතර, සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් මානව හිමිකම් වශයෙන් ද සැලකිය යුතු බවට එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරනු ලබයි.

බොහෝ රටවල ආර්ථිකයේ පැවැත්මට අත්වැලක් වනුයේ මෙම සංක‍්‍රමණික සේවකයින්ගෙන් ලැබෙන විදේශ විනිමයයි. ලෝක බැංකු වාර්තාවලට අනුව සංක‍්‍රමණික සේවකයින් නිසා දකණු ආසියාවට ලැබෙන විදේශ විනිමය වසරකට ඇමෙරිකානු ඩොලර් බිලියන 111 කි. වර්තමානයේ ලංකාවේ ප‍්‍රධාන ආදායම් මාර්ගය වී තිබෙන්නේ ද සංක‍්‍රමණික සේවකයින් විසින් උපයනු ලබන විදේශ විනිමයයි. එය වර්ෂයකට ඩොලර් බිලියන 7 කි. මේ නිසාම සංක‍්‍රමණික සේවකයින්ට යහපත් හෙටක් උදාකර දීමට මෙන්ම ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට සුවිශේෂි වටපිටාවක් අපේ රට තුළ ද සැකසෙමින් තිබේ. එහෙත් සංක‍්‍රමණික සේවකයින් විසින් මුහුණ දෙනු ලබන විවිධ ප‍්‍රශ්න, හිංසා පීඩා සහ දුෂ්කරතාවයන්හි හිගයක් ද නැත. මෙහිදී සංක‍්‍රමණික ස්ත‍්‍රීන්ගේ තත්ත්වය විශේෂය. ශ‍්‍රී ලංකාව ගත්කළ විදේශ රැකියා සඳහා යන ශ‍්‍රී ලාංකිකයින් ගෙන් බහුතරය වන්නේ ස්ත‍්‍රීන් ය. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු දුෂ්කර ප‍්‍රදේශවලින් පැමිණේ. තම පවුල් මුහුණ දී සිටින අධික ආර්ථිකමය ගැටළු හේතුවෙන් මෙම ස්ත‍්‍රීහු පවුලේ ආර්ථික බර කරට ගනිමින් විදේශ රැකියා සොයා යති.

සංක‍්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ පවුල්වල අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීම සම්බන්ධයෙන් වූ ජාත්‍යාන්තර සම්මුතීන් වලට ශ‍්‍රී ලංකාව ද අත්සන් තබා ඇත්තේ 1996 වසරේදී ය. එහෙත් පසුගිය කාලය පුරාම අපට අසන්නට දකින්නට ලැබුණේ නොයෙකත් වධහිංසාවන්ට ලක්වෙමින් ජීවිතයෙන් පවා වන්දි ගෙවූ අපේ සේවක පිරිසක. ජාත්‍යන්තර ප‍්‍රඥප්ති මගින් තහවුරු කර ඇති මෙම අයිතිවාසිකම භූක්ති විදීමට මිලියනයකට වඩා වැඩි ශ‍්‍රී ලාංකික විදේශගත සංක‍්‍රමණික සේවක ප‍්‍රජාවට හැකිවී නැත. එයට හේතු වී තිබෙන්නේ රජය විසින් මේ සදහා අවශ්‍ය නීති රීති, විධිවිධාන සහ ප‍්‍රතිපත්තීන් සම්පාදනය කර ඇතත් ඒවා ජාත්‍යන්තර නීතිවලට ඇතුළත් නොවීමත් විධිමත්ව කියාත්මක නොවීමත් ය.

රටට විදේශ විනිමය ගෙනෙමින් රටේ ආර්ථිකයේ වැඩි බරක් උර මත දරාගෙන සිටින විදේශගත සංක‍්‍රමණික සේවකයින් මෙම විදේශගත ශ‍්‍රමිකයින්ගෙන් සැලකිය යුතු ප‍්‍රතිශතයක් දරයි. ලියාපදිංචි වී හෝ නොවී ඔවුන් රැකියා සදහා විදේශ ගත වුවහොත් ඔවුන් අප රටේ පුරවැසියන් ලෙසින් ඔවුන්ගේ අයිතීන් මෙන්ම ඔවුන් ආරක්ෂා කිරීමට රජයට වගකීමක් ඇත. මෙවැනි සම්මුතීන්වලට අත්සන් තබමින් රජය තහවුරු කළ යුත්තේ එම ආරක්ෂාව නොවේද? එහෙත් මේ දක්වාම පැවති කිසිම රජයකින් ඔවුන්ගේ අයිතීන් කෙරෙහි ප‍්‍රමාණවත් අවධානයක් යොමුකර නැති බව ඉතා පැහැදිලි කාරණයකි.

මෙම සංක‍්‍රමණික කම්කරුවන්ට ආරක්ෂාකාරීව රැකියා කිරීමට අවශ්‍ය නීති ප‍්‍රතිපත්ති සකස් කරනවා වෙනුවට විශේෂයෙන් ම ස්තී‍්‍රන් විදේශ රැකියාවලට යාම නතර කිරීම එයට පිළියමක් නොවන බවත් අපි රජයට අවධාරණය කර කියා සිටිමු. මෙරට තුළ පවතින විරැකියාව සහ ස්ත‍්‍රීන් මුහුණ දෙන ගෘහස්ථ ප‍්‍රචණ්ඩත්වය යනාදි හේතු නිසා විදේශ ගතවන මව්වරු මෙන්ම තනි මව්වරුන් ද වේ. ඉතා දුෂ්කර ප‍්‍රදේශයන්හි අඩු ආදායම් ලාභී පවුල්වල දැනුවත්භාවය පහල මට්ටමක පවතින මෙම ස්ත‍්‍රීන් ගෘහසේවය සදහා විදේශ ගතවනවා විනා වෙනත් රැකියාවන් හෝ පිළියම් අප රට තුළ නොමැත.

දැනට මෙම සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සදහා රජය් සමග මැදිහත් වන ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන ද ප‍්‍රතිපත්ති සකස් කරගෙන යමින් සිටී එහෙත් මෙම ප‍්‍රතිපත්තියක් නිසියාකාරව කි‍්‍රයාත්මක නොවීමත් ඒවා සියල්ල ලියකියවිලි වලට පමණක් සීමා වී තිබීමද කණගාටුවට කරුණකි.

සවුදි අරාබියේදී ගල් ගසා මරා දැමීමට නියමිතව සිටින ලාංකික කාන්තාව එම අකරතැබ්බයට මුහුණ දුන්නේ ඇය එම රටේ නීතිය පිළිබදව නිසි ආකාරයෙන් දැන නොසිටීම හේතුවෙනි. ඔවුන්ට සේවයට පිටත් වීමට පෙර මෙරටදී පුහුණුවීම් ලබා දීමේදී අදාළ රටවල සංස්කෘතිය, ආගමික නීති-රීති යනාදිය සම්බන්ධයෙන් මීට වඩා ගැඹුරින් ඔවුන්ට අවබෝධ කර දියයුතුව ඇති බව අපි තව දුරටත් රජයට අවධාරණය කරමින් කියා සිටිමු. අනෙක් කාරණාව වන්නේ අපගේ තානාපති කාර්යාලවල සේවය කරන නිලධාරීන් මෙවැනි ප‍්‍රශ්නවලට ප‍්‍රමාණවත් අයුරින් සංවේදීභාවයක් නොදැක්වීම ද අඩුපාඩුවක් ලෙස අපි දකිමු. විශේෂයෙන් ම කාන්තාවන් වැඩි වශයෙන් සංක‍්‍රමණික රැකියා සදහා විදේශ ගත වන අප වැනි රටක විදේශ තානාපති කාර්යාලවල කි‍්‍රයාදාමයන් මීට වඩා විධිමත් විය යුතුව ඇත.

සංක‍්‍රමණික සේවකයින් සදහා වන ක‍්‍රියාකාරී ජාලයේ අපි ඉල්ලා සිටින්නේ සංක‍්‍රමණිකයින්ට ආරක්ෂාකාරීව තම රැකියාව කිරීමට හැකිවනු පිණිස නීතිමය ප‍්‍රතිපාදන ඇතිකරන ලෙසත් එම නීති ක‍්‍රියාත්මක කළ හැකිවන අයුරින් ප‍්‍රායෝගික, විධිමත් යාන්ත‍්‍රණයක් ගොඩනැගීමට ද පියවර ගන්නා ලෙසයි. එමගින් සංක‍්‍රමණික සේවකයින්ගේ මූලික ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිවාසිකම් තහවුරුවනවා මෙන්ම රට පාලනයට තේරීපත්වන පාලකයින්ට සංක‍්‍රමණික සේවකයින්ගේ ප‍්‍රශ්න කෙරෙහි සිය අවධානය යොමු කිරීමට ද සිදුවනු ඇත.

රටේ නව ප‍්‍රතිපත්ති නීති සකස් වෙමින් පවතින මේ මොහොතේ රාජ්‍ය ප‍්‍රතිපත්ති සම්පාදකයින්ගෙන් සහ සියලූම දේශපාලන පක්ෂ වෙතින් කරනු ලබන අපගේ ඉල්ලීම වන්නේ, ශ‍්‍රී ලංකාව අත්සන් තබා එකග වී ඇති අන්තර් ජාතික ප‍්‍රඥප්තීන්ට අනුකූළව මිලියනයකට අධික ලාංකික විදේශගත ශ‍්‍රමික ප‍්‍රජාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට කැපවන ලෙසයි. මෙම ශ‍්‍රමිකයින්ට තම රැකියාව කරන රටේ ඇති නීති රීති ජාත්‍යන්තරව භුක්තිවිදිය හැකිවන පරිද්දෙන් නව නීති රීති ප‍්‍රතිපත්ති සම්පාදනය කරන ලෙසයි. සංක‍්‍රමණික සේවකයින්ගේ අයිතීන් ආරක්ෂා කරන ලෙසයි.

වයලා පෙරේරා
සම්බන්ධීකාරිණී
සංක‍්‍රමණික සේවකයින් සදහා වන ක‍්‍රියාකාරී ජාලය

Media work

You’re most welcome to work with us as a writer, blogger, radio maker or filmer. WMC works from a women’s perspective, covering women’s and gender issues. We offer support for your work and opportunities to get your work published, through weblogs, our magazines or other outlets.

Campaigns and events

We also invite you to support our campaigns and events. Do you like to organise activities? Or assist our work with women and women organisations in Sri Lanka?

Get involved now

Women and Media Collective
56/1 Sarasavi Lane
(off Castle Street)
Colombo 8
phone: + 94-11-2690201 / 5632045 / 5635900
wmcsrilanka@gmail.com