නන්දා දිසානායක සහෝදරිය සමාජ හා දේශපාලන සේවයෙන් සමුගනී

nanda dissanayakeසමාජ හා දේශපාලන ක‍්‍රියාකාරිනියක් වූ බදුල්ලේ නන්දා දිසානායක සහෝදරිය පසුගිය සැප්තැම්බර් 05 දින හදිසියේ අප අතරින් වෙන් වූවාය. බදුල්ල, හාලි ඇල ප‍්‍රදේශයේ පදිංචිකාරිනියක් වූ ඇය වසර 30කට ආසන්න කාලයක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කාන්තා බලමණ්ඩලයේ ප‍්‍රධාන කි‍්‍රයාකාරී සාමාජිකාවක් ලෙස කටයුතු කරමින් බදුල්ල දිස්ත‍්‍රික්කයේ දුෂ්කර මං මාවත් ඉදිකිරීම හා පිළිසකර කිරීම සඳහා පෙරමුණ ගත් සහෝදරියකි. බදුල්ල දිස්ත‍්‍රික්කයේ සාමාන්‍ය ජනතාවගේ ජනජීවිතයට අවශ්‍ය කාරණා මානූෂීය හැගීමකින් යුතුව විවිධ දේශපාලඥයින් වෙත ඉදිරිපත් කරමින් දීර්ඝ කාලයක් පුරා සමාජ සේවයට දිවි හිමියෙන් කැප වූයේ තමන්ගේ ආර්ථික අපහසුතා සියල්ල ද පසෙකලා ය. නිවැරදි සහ යහපත් දේශපාලනික දැක්මක් ඇතිව ස්ත‍්‍රීන් දේශපාලනය තුළ නියෝජනය කරවීම සඳහා සංවිධාත්මකව කළ මෙහෙවර සුවිශේෂ ය. 2010 පළාත් පාලන මැතිවරණය සඳහා සෙසු ස්ත‍්‍රීන් සමග ඇය ද නාමයෝජනා බාරදීමට ඉදිරිපත් වූවාය. බදුල්ල කාන්තා සංවර්ධන පදනම හරහා කාන්තාව සහ මාධ්‍ය සාමූහිකයේ දේශපාලනය තුළ ස්ත‍්‍රී නියෝජනය සහ නායනක්ව වැඩසටහනට සම්බන්ධ වී ස්වකීය දැනුම කුසලතාවය වර්ධනය කරගනිමන් ස්ත‍්‍රී අයිතිවාසිකම් හා සමාජ සේවය සඳහා අගනා සේවයක් කළ සාමාජිකාවකි.

මිය යන විට 60 වන වියේ පසුවූ නන්දා සහෝදරියගේ වියෝව, බදුල්ල ප‍්‍රදේශයේ ක‍්‍රියාශීලී ස්ත‍්‍රී පරපුරට පමණක් නොව මේ මුලු සමාජයටම විශාල අහිමිවීමකි.

2010 වසරේ පැවැති පළාත් පාලන මැතිවරණය සඳහා ස්ත‍්‍රීන් වැඩි ප‍්‍රමාණයකට නාමයෝජනා ලබාදෙන ලෙස ප‍්‍රධාන දේශපාලන පක්‍ෂ වෙත ඉදිරිපත් කෙරුණු ඉල්ලීම සඳහා කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය විසින් නිෂ්පාදනය කරන ලද ‘පළාත් පාලනයේ කාන්තාවන් කෝ?’ වාර්තාමය කෙටි චිත‍්‍රපටයට නන්දා සහෝදරිය සිය අදහස් ඉදිරිපත් කළ අයුරු පහත වීඩියෝව (වේලාව විනාඩි 2.13 දී) තුලින් දැකගන්න.

Poem for Nanda by Badulla Women's Development Centre