Samabima supplement: අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ

අලුත් ව්‍යවස්ථාවක් ගේන්න අපට තිබුණ උනන්දුව රජයට තිබුණා නම් අද මෙහෙම වෙන්නේ නැහැ 
සූර්ය කාන්තා සංවර්ධන කේන්ද්‍රයේ සරලා එම්මැනුවෙල් සමග ජයනි අබේසේකර විසින් සිදුකල සාකච්ඡාවක්
Source: www.samabima.com

නැගෙනහිර මූලික කර ගත් කාන්තා සංවිධානයක ක්‍රියාකාරිනියක් විදියට මේ පවතින දේශපාලන ව්‍යාකූල බව ඔබට දැනෙන්නේ කොහොමද?

 අපි කටයුතු කරන ප්‍රදේශවල විශාල වශයෙන් ප්‍රශ්න තිබෙනවා. යුද්ධය සහ ඉන් පසුව ඇති වූ විවිධ තත්ත්වයන් හේතුවෙන් මේ ප්‍රදේශවල විශේෂයෙන්ම කාන්තාවන් බරපතළ ගැටලුවලට මුහුණ දෙනවා. ආර්ථීක දුගී බව, හිංසන සහ ප්‍රචණ්ඩත්වයන්ට මේ ප්‍රදේශවල කාන්තාවන් ගොදුරුව තිබෙනවා. යුද්ධය අවසන් වීමෙන් පමණක් අපි මුහුණ දෙන ගැටලු විසඳුණේ නැහැ. නමුත් මේ සියල්ල තිබියදී 2015 වසරේ අපිට යම් අවස්ථාවක් ලැබුණා මේ රටේ ඒ වන විට පැවතුන දේශපාලනික අර්බුදය වෙනස් කරන්න මැදිහත් වෙන්න. අපි එදා සියයට සීයක් ඒ වෙනස පිළිබඳ විශ්වාසයක් නොතිබුණත් යම් හෝ වෙනසක් සිදුවේය යන බලාපොරොත්තුවෙනුයි 2015 ජනාධිපතිවරණයේදී කටයුතු කළේ. එයින් අනතුරුව රජයෙන් ඉදිරිපත් වුණ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට ගම් මට්ටමින් කාන්තාවන් එක්ක ඒකරාශී වෙලා අපි ගොඩක් වැඩ කළා. අතුරුදන්වූවන්ගේ පවුල්වල මව්වරු, ප්‍රචණ්ඩත්වයට හිංසනයට ලක්වූ කාන්තාවන්, ආර්ථීක ගැටලුවල ඉන්න පිරිස් සියල්ල විවිධ මට්ටමින් සම්බන්ධ කරගෙන අපි මුහුණ දෙමින් සිටින සමාජ, ආර්ථීක, සංස්කෘතික සහ දේශපාලනික ගැටලු ආමන්ත්‍රණය වන ආකාරයට කොහොමද නව ව්‍යස්ථාවක් සකස් කර ගන්නේ කියන කාරණයට මේ කාන්තාවන් විශාල උනන්දුවකින් මැදිහත් වුණා. මොකද මේ පවතින ව්‍යවස්ථාව මේ රටේ අවුරුදු ගණනාවක් ප්‍රශ්න ඇති කර තිබෙනවා. අද අපි මුහුණ දෙන බරපතළ ප්‍රශ්න සියල්ලකටම පාහේ මේ ව්‍යවස්ථාව වගකිව යුතු වෙනවා. අද රටේ ඇතිව තිබෙන ප්‍රශ්නයත් නිකන්ම හදිසියේ ඇතිවූවක් නොවෙයි. 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනාවට එහි කොයිතරම් හිස් තැන් තිබෙනවාද යන්න තේරුම් ගන්න මේ ප්‍රශ්නයම හොඳ නිදසුනක්. රජය ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියට මුල් තැන දී කටයුතු කළ යුතුව තිබුණත් එසේ නොකිරීමෙන් ඇතිව තිබෙන අර්බුදයකුයි අද පැහැදිලිව මතුව තිබෙන්නේ. 

ඔබ හා එක්ව අරගල කරන කාන්තාවන් මේ තත්ත්වය බාරගෙන තිබෙන්නේ කොහොමද?

මේ ප්‍රදේශවල තිබෙන ප්‍රශ්න අරඹයා ඉදිරියට ආවේ බහුතරයක් කාන්තාවෝ. උදාහරණයක් විදියට අතුරුදන්වූවන් සම්බන්ධ අරගලය ඉදිරියට ගෙනියන්නේ කාන්තාවන්. ඉඩම් සම්බන්ධ අරගලයේදී වැඩිපුර ඉන්නේ කාන්තාවන්. තමන්ට සිදුවන හිරිහැර, තමන්ගේ ප්‍රශ්න ගැටලු සම්බන්ධයෙන් මේ කාන්තාවන් පහුගිය සමයේ බය නැතුව ඉදිරියට ඇවිත් පෙනී සිටියා. නමුත් ඔවුන්ට දැන් බයක් තිබෙනවා මේ අවස්ථාවේදී සිදුවන දේශපාලනික වෙනසකින් රට නැවතත් ආපස්සට ගියොත් තමන්ට අත්විඳින්නට සිදුවන තත්ත්වය පිළිබඳ. විශේෂයෙන්ම මේ කාන්තාවන්ට ආරක්ෂාව සම්බන්ධව මේ මොහොතේ ගැටලු තිබෙනවා. ඒ වගේම අපි ගම් මට්ටමින් මේ කාන්තාවන්ගේ සුබ සිද්ධිය උදෙසා කරගෙන ආ වැඩ කටයුතු අතරමඟ නවතා දමන්නට සිදුවෙයි කියන තිගැස්ම අපිට තිබෙනවා. මේ ඇති වුණ තත්ත්වය අපි හැම කෙනෙක්ටමත් විශාල කම්පනයක් ඇති කරන්නට සමත්ව තිබෙනවා. පළමු වතාවට මේ රජය අපෙන් ඇහුවා මොනවද අපේ ප්‍රශ්න කියල. අපේ කාන්තාවෝ විශාල වශයෙන් ගිහින් තමන් මුහුණ දෙන ප්‍රශ්න කිව්වා. ඒ නිසාම අපි රජය සමඟ කටයුතු කළේ බලාපොරොත්තු සහගතවයි. නමුත් දැන් අපිට දැනෙනවා අපේ බලාපොරොත්තු කඩවී ඇති බවක්. 

මේ මෙහොතේ සිදුවෙමින් පවතින දේශපාලනික අර්බුදයට උතුරු නැගෙනහිර කාන්තා ක්‍රියාකාරීත්වය මොන වගේ බලපෑමක්ද කරමින් තිබෙන්නේ?

පාර්ලිමේන්තුව තුළ සිදුවෙමින් පවතින ක්‍රියාවලියට අපි මොන ආකාරයේ බලපෑම් කළත් එමඟින් යමක් පැහැදිලි ලෙසම සිදුවෙයි කියන විශ්වාසය අපිට නැහැ. ඒ නිසාම අපි මේ අවස්ථාවේ ගම්මට්ටමින් කාන්තාවන් සංවිධානය කරමින් මේ පවත්නා තත්ත්වය පිළිබඳව වගේම ඉදිරිය පිළිබඳවත් සැලසුම් සකස් කරමින් සාකච්ඡා කරමින් පවතිනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ පවතින සන්දර්භය තුළ ඉදිරි දෙවසරක කාලයේ අපි සංවිධානයක් වශයෙන් මේ කාන්තාවන් සමඟින් තවදුරටත් කටයුතු කිරීම සම්බන්ධයෙන් කළ යුත්තේ මොනවාද යන්න හිතමින් ඉන්නවා.

කෙසේ නමුත් මේ ඇතිවූ තත්ත්වය සමඟ අපිට පසුගිය 4 වැනිදා කොළඹ පැවැත් වූ උද්ඝෝෂණයට කාන්තාවන් විශාල පිරිසක් ඒකරාශී කරගන්න හැකි වුණා. ඔවුන් විශාල උනන්දුවක් දැක්වූවා මේ අවස්ථාවට සහභාගී වෙලා මේ සිදුවෙමින් තිබෙන තත්ත්වයට එරෙහිව තමන්ගේ විරෝධය දක්වන්න. නමුත් උතුරු නැගෙනහිර කාන්තාවන් බහුතරයකට පාර්ලිමේන්තුවේ සිදුවන මේ කලබල බොහෝ දුරස්ථ බවයි මගේ හැඟීම. ඔවුන් ඉන්නේ දෛනික අරගලවල. ආර්ථීක ගැටලු ඔවුන්ගේ ජීවිතවල බරපතළව මතුව තිබෙනවා. ඒ වගේම පහුගිය කාලය පුරාවටම ඔවුන් මේ රජයෙන් බලාපොරොත්තු වූ අන්දමේ වෙනසක් අත්දකින්න නොහැකි වීම ඇතුලේ ඔවුන්ට යම් සංකාවක් තිබෙනවා. මේ සියල්ල සමඟ සිදුවෙමින් පවතින දේශපාලන අර්බුදය යම් ආකාරයකට උතුරු නැගෙනහිර මිනිසුන්ගේ ජීවිතයෙන් දුරයි. ■