Samabima supplement: තුන්වන බලවේගයක් අවශ්‍යයි

තුන්වන බලවේගයක් අවශ්‍යයි 
ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය උදෙසා පුරවැසි ව්‍යාපාරයේ මරීසා ද සිල්වා සමග ජයනි අබේසේකර විසින් සිදු කල සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි
Source: www.samabima.com

මේ මොහොතේ රටේ පවතින දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද?

මේ මොහොතේ රටේ තිබෙන්නේ දේශපාලනික වශයෙන් ඉතාම ව්‍යාකූල අර්බුදකාරී තත්ත්වයක් බව අපි කාටත් පැහැදිලිය. එවැනි වටපිටාවකයි ජනාධිපතිවරයාගේ තීන්දුවලට එරෙහිව අධිකරණය විසින් අතුරු නියෝගයක් පනවන්නේ. එය රටේ ප්‍රජාතන්ත්‍රවාදය වගේම නීතියේ ආධිපත්‍ය තහවුරු කෙරෙන අවස්ථාවක් ලෙසයි මම දකින්නේ. කෙසේවුවත් රටේ උද්ගත වුණ මේ අර්බුදය සමඟ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට පරිබාහිරව තුන්වැනි බලවේගයක අවශ්‍යතාවය මතුව තිබෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකට පරිබාහිරව ජනතාව සමඟ ගොඩනැගෙන වෙන පළල් බලවේගයක අවශ්‍යතාවය අපට තිබෙනවා. එය වැඩකරන ජනතාව, කාන්තාවන්, තරුණ තරුණියන්, ඛඨඊඔ ප්‍රාජාවන්ද ඇතුළුව අප සියල්ලන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මූලික කර ගත් සැබෑ ලෙසම මහජනතාවගේ ආණ්ඩුවක් බිහිවීම දක්වා වන දුර ක්‍රියාවලියක්. මේ තිබෙන ව්‍යස්ථාව ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ සාකච්ඡාවක් සිදුවෙමින් පැවති වටපිටාවකයි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යොදාගෙන කිසිසේත් ව්‍යවස්ථානුකූල නොවන ක්‍රියාමාර්ගයන්ට ජනාධිපතිවරයා අවතීර්ණව තිබෙන්නේ. අද අපි තනි පුද්ගලයන් වශයෙනුත් කණ්ඩායම් වශයෙනුත් පාරට බැස්සේ එයට එරෙහිවයි. එයිනුත් ඔබ්බහි අපේ බලාපොරොත්තුව සැබෑ මහජන අවශ්‍යතා ආමන්ත්‍රණය කරන, මිනිසුන්ගේ අයිතිවාසිකම් සුරකින මහජනතාවගේ ආණ්ඩුවක් මේ රටේ ගොඩනැගීම.

මේ ක්‍රියාකාරීත්වය තුළ කාන්තාව කොයිතරම් ඉදිරියට ඇවිත් තිබෙනවද?

මේ අවස්ථාවේ පමණක් නෙවෙයි ඉතිහාසය පුරාම සිදුවූ සමාජ පෙරළීන්වලදී කාන්තාව ඉදිරියට ආවා. උතුරු නැගෙනහිර අතුරුදන් කිරීම වෙනුවෙන්, ඉඩම් අයිතිය වෙනුවෙන් කෙරෙන අරගලවලට නායකත්වය දෙන්නේ කාන්තාවෝ. නමුත් ගැටලුව, අරගල තුළින් ලබන ජයග්‍රණයන්ගේ කිර්තීනාමය ලැබෙන්නේ ඇයට නෙවෙයි පුරුෂයන්ට වීම. එය අද පමණක් නෙවෙයි ඉතිහාසය පුරාම සිදුවූවක්. මම කලින් කිව්ව වගේ අපි තුන්වැනි බලවේගයක් තුළ බලාපොරොත්තු වෙන්නේ සමාජවාදී සාරධර්ම රැකගනිමින් කාන්තාවන් තවදුරටත් ඉදිරියට ගැනීම. මම හිතන්නේ ඒ වෙනුවෙන් දැන් අපේ වෙලාව හරි කියල. කැපුවත් කොළ කැපුවත් නිල් යුගය අවසාන බවයි මගේ හැඟීම. මොකද මෙච්චර කාලයක් අපිව පාලනය කළේ මේ සියලු තීන්දු තීරණ ගත්තේ එකම පවුලේ, එකම ගෝත්‍රයේ, එකම කුලයේ පිරිස්. අපි හැම කෙනෙක්ම මේ එක් එක් අයගේ පාලනයෙන් හෙම්බත්ව සිටින්නේ. දැන් අලුත් විදියකට හිතන අලුත් පිරිසකගේ කාලයක් මේ

කෝටා ක්‍රමයක් හරහා දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීමට කටයුතු කළා. නමුත් අද මේ කාන්තාවන් පක්ෂ දේශපාලනයෙන් ඔබ්බට යන බවක් පෙනෙන්නට නැහැ. 

මේ කෝටා ක්‍රමය හොඳයි. ඒ කාන්තාවන්ට අපි සම්පූර්ණය සහය දෙනවා ඉදිරියට ඇවිත් කටයුතු කරන්න. නමුත් අපි තවමත් ඉන්නේ පුරුෂාධිපත්‍ය මූලික වුණ සමාජ දේශපාලනික සංදර්භයක් තුළ. දේශපාලනය තුළ කාන්තා නියෝජනය වැඩි කිරීම සම්බන්ධයෙන් ලෝකයට යමක් පෙන්වන්න අවශ්‍ය නම් මෙය හොඳයි. නමුත් අපේ සමාජ ව්‍යුහය තවමත් වෙනස් වෙලා නැහැ. ගැහැනියට ගෙදර වැඩවලින් නිදහස් වෙන්න බැහැ දේශපාලනයට ආවා කියල. නමුත් දේශපාලනයේ නිරතව ඉන්න පිරිමියා ගෙදර වැඩවලින් නිදහස්. එතකොට මේ සියල්ල සමබර කරගෙන දේශපාලනය තුළ කටයුතු කරන්න අවශ්‍ය නිදහස නිවහල් බව නියෝජනය වැඩි කිරීමෙන් පමණක් කාන්තාවට ලැබිලා නැහැ. පුරුෂාධිපත්‍යික සමාජයක ගැහැනියගේ පැවැත්ම හරිම දුෂ්කරයි. මේ කාන්තාවන් මේ ගැටලු තුළ හිරවීම ස්වභාවිකයි. ප්‍රධාන දේශපාලන පක්ෂවලින් මට අහන්න තියෙන්නෙ කෝ ඔයාලගේ පක්ෂවල කාන්තාවෝ කියල. මේ කෝටාව ලැබුණේ බල ධුරාවලියේ අඩුම බලයක් සහිත ආයතනයට පත්වීම වෙනුවෙන්. එතකොට ප්‍රධාන දේශපාලන තීන්දු තීරණ තුළ කාන්තාව නැහැ. සමාජ සංස්කෘතික සැකැස්ම ඇතුළේ ඇයට ක්‍රියාත්මක වෙන්න අවශ්‍ය ආරක්ෂාව, නිදහස තවමත් හැදිලා නැහැ. ඒවා සකස් නොවී සිදුකරන මෙැවනි දේවල්වලින් අපේක්ෂිත අරමුණු ඉටු වෙන්නේ නැහැ.

සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහිව වීදියේ අකණ්ඩ අරගලයක් ඔබ ඇතුළු පිරිසක් ගෙනයනවා. මේ පිරිසත් ඒකරාශි කරගත් ඉදිරි සැලසුමක් තිබෙනවද?

අපි වැඩකරන්නේ මම පෙර කිව්ව අධිෂ්ඨානය පෙරදැරිව. ඒ කියන්නේ ප්‍රධාන දේශපාලන ප්‍රවාහයන්ගෙන් වියුක්ත වුණ තුන්වන පාර්ශ්වයක් විදියට මහජනතාවගේ බලවේගයක් ලෙස ඉදිරියට ඒමයි අපේ බලාපොරොත්තුව. මේ පවත්නා දේශපාලන වතාවරණය තවදුරටත් කුමන ස්වරූපයක් ගත්තත් අපි ඒ පෙර කිව්ව අධිෂ්ඨානයෙන් යුතුවයි කටයුතු කරන්නේ. ඒ වෙනුවෙන් කොළඹ කේන්ද්‍රීයව පමණක් නෙවෙයි අපි විවිධ ප්‍රදේශවල විවිධ මට්ටමේ වෙනස් වෙනස් කණ්ඩායම් සමඟ සාකච්ඡාවකට අවතීර්ණව සිටිනවා. කාන්තා ව්‍යාපාර, කම්කරු ව්‍යාපාර ඒකරාශි කර ගැනීම එහි එක ප්‍රවේශයක්. ඒ වගේම වාමාංශික දේශපාලන පක්ෂ සමඟත් අපි යම් සාකච්ඡාවකට යනවා. නමුත් එය සිදුවෙන්නේ මෙතෙක් සිදුව ඇති ආකාරයෙන් නෙවෙයි. මෙවර අපේ සුදානම තිබෙන්නේ අපේ න්‍යාය පත්‍රය මූලික කරගෙන වාමාංශික දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කිරීම. එහිදී අපේ න්‍යාය පත්‍රයේ තිබෙන දේවල් ඔවුන්ගේ ප්‍රතිපත්ති තුළට ඇතුළත් කරවා ගැනීම අපේ එක් උත්සාහයක්. ■

ප්‍රජාතන්ත්‍රවාදය සහ යුක්තිය උදෙසා පුරවැසි ව්‍යාපාරයේ මරීසා ද සිල්වා සමග ජයනි අබේසේකර විසින් සිදු කල සාකච්ඡාවක් ඇසුරින් සකස් කරන ලද ලිපියකි.