Samabima supplement: දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි

දේශපාලනඥයන්ගේ වගවීම ගැන අපි ප්‍රශ්න කළ යුතුයි
සමබිම ඉරිදා අතිරේකයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කුමුදුනී සැමුවෙල් සමගින් සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි
Source: www.samabima.com

මේ මොහොතේ දේශපාලනය ඔබ කියවා ගන්නේ කොහොමද?
මේ මොහොතේ රටේ පවතින්නේ ඔක්තෝබර් 26ට පසුව ඇති වූ අර්බුදයක්. ජනාධිපතිවරයා අගමැතිවරයාව බලයෙන් පහ කිරීමෙන් රටට ලබා දී තිබෙන්නේ වැරදි පූර්වාදර්ශයක්. පසුගිය සමයේ විධායක ජනාධිපති ක්‍රමයේ බලතල යම් සීමා කිරීමකට ලක්වූණා. නමුත් ජනාධිපතිවරයා මේ සියල්ලට පිටුපාලා ව්‍යවස්ථාවට පටහැනිව අගමැතිවරයා බලයෙන් පහ කිරීමට කටයුතු කළා. අද වන විට මේ අර්බුදයේ එක කොටසක්, අධිකරණයට යොමු වෙලා තිබෙනවා, ජනතා කැමැත්තෙන් පත්ව තිබෙන ආණ්ඩුවක් ජනාධිපතිවරයාට මේ ආකාරයෙන් විසුරුවා හැරිය හැකිද? ඒ වගේම තවත් ආණ්ඩුවක් ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ ආකාරයෙන් නිත්‍යනුකූලව පිහිටු විය හැකිද යන ප්‍රශ්න දෙකට නිසි පිළිතුරක් අපේක්ෂාවෙන්. මේ අධිකරණයට යෑම මඟින් ජනතාවට දැනගැනීමට හැකියාව තිබෙනවා 19 වන සංශෝධනය තුළින් සීමා කිරීමට ලක් වූ විධායකය ඒ සීමාව තුළද මේ වන විට කටයුතු කරමින් ඉන්නේ කියන දේ. ඒ වගේම තමන්ගේ ගොඩ වැඩි කරගැනීම වෙනුවෙන් මුදලට එහෙට මෙහෙට පනින මහජන නියෝජතයින් රැස් වූ පාර්ලිමේන්තුවක සුජාතභාවය පිළිබඳවත් පැන නගින්නේ විශාල ගැටලුවක්. නමුත් මේ සියල්ල තුළ මා දකින සුවිශේෂිත්වය වෙන්නේ මෙතෙක් මුදලට සිදුවූ පිල් මාරු ක්‍රියාවලිය තුළ කාන්තා නියෝජිතවරියන් නොසිටීම. එනිසාම මෙය යම් පිරිමි ආධිපත්‍යයක් හරහා සිදුවන බලහුවමාරුවක් වශයෙනුයි මා දකින්නේ.

ඔබ ඇතුළු කාන්තාවන් පිරිසක් සදාචාරාත්මක දේශපාලනයක් සඳහා කාන්තාවෝ පෙළගැසෙමු/පෙනී සිටිමු නමින් උද්ඝෝෂණයක නිරත වුණා. මොකක්ද මෙහි අරමුණ වුණේ?
සදාචාරාත්මක දේශපාලනය මූලිකවම මේ ක්‍රියාවලිය තුළ උල්ලංඝනය වී තිබෙනවා. අපේ ඡන්දයෙන් තෝරා පත් කර ගත් මහජන නියෝජිතයින් දේශපාලන වාසි තකා පක්ෂ මාරු කිරීම්, මිලියන ගණනින් වෙන්දේසි වෙමින් දේශපාලන බලයට, මැර බලයට යටත්ව පාර්ලිමේන්තුවට තිබෙන වගවීම, මහජනතාවට තිබෙන වගවීම සම්පූර්ණයෙන්ම පැහැර හරිමින් දේශපාලන සදාචාරය පළුඳු කර තිබෙනවා. ඒ නිසා අපි කල්පනා කළා දේශපාලන ප්‍රජතන්ත්‍රවාදය සහ එහි හරයන් මත හිඳිමින් අපි ක්‍රියාත්මක වෙන්නේ කොහොමද සහ ඒ ඉලක්කය වෙත දේශපාලනඥයන් රැගෙන යන්නේ කොහොමද යන්න පිළිබඳ අවධානය යොමු කරන්න. මොකද ඡන්ද අයිතිය අපට තිබුනත් ඡන්දය දීමෙන් ඔබ්බෙහි අපි නිහඬව සිටීමෙන් දේශපාලඥනයන්ට ඓතිහාසිකව ඉඩ දී තිබෙනවා එකම වැරැද්ද නැවත නැවත කරන්න. නමුත් දැන් අපිට කාලය පැමිණ තිබෙනවා දේශපාලනඥයන්ගෙන් තමන්ගේ වගවීම කුමක් යන්න ප්‍රශ්න කරන්න. මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පිරිසක් ආණ්ඩුව යැයි කියා ගෙන මහජන විශ්වාසයක් නොමැතිව කොහොමද පත්වුණේ? රට ආර්ථීක වශයෙන් පරිපාලනමය වශයෙන් ඔවුන් විශාල අර්බුදයකට ඇඳ දමා තිබෙන්නේ කොහොමද? කියන කාරණය අපි ප්‍රශ්න කළ යුතුයි. කාන්තාවන් වශයෙනුත් සිවිල් සමාජය වශයෙනුත් මේ ප්‍රශ්න කිරීම හා බලපෑම් කිරීම අරමුණු කරගෙනයි අපි ඒකරාශී වුණේ.
නමුත් සදාචාරාත්මක වෙනසක් වෙනුවෙන් කාන්තාවෝ යන්න පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළම අභියෝගයට ලක්වෙන ආකාරය අපි දුටුවා.
අපි කිසිලෙසකින්වත් අදහස් කරන්නේ නැහැ මහජන නියෝජිතයින් වශයෙන් තේරී පත්ව සිටින සියලු කාන්තාවන් සුපිරිසිදු දේශපාලනයක නිරත වෙනවා කියල. නමුත් සදාචාරාත්මක දේශපාලනයක් පිළිබඳ වගවීම කාන්තා පිරිමි හැම කෙනෙක් විසින්ම දැරිය යුතු බවයි අපේ අදහස. මෙවැනි දූෂිත දේශපාලන වටපිටාවක තිබෙන බරපතළම ගැටලුව වෙන්නේ ඕනෑම අයෙකු ඒ මඩගොහොරුවේම ගොදුරුක් විය හැකි වීම. පාර්ලිමේන්තුවේ කාන්තාවන් 13කුත් පුරුෂයන් 212කුත් ඉන්නවා. මෙයින් ඔය කියන ආකාරයේ හැසිරීමක් පෙන්නුම් කළේ කාන්තාවන් දෙදෙනෙක් වගේ. 212ක් වන පාර්ලිමේන්තුවේ පිරිමි මන්ත්‍රීවරුන්ගෙන් අතිබහුතරයක් අසික්කිත දේශපාලන හැසිරීමක් පෙන්නුම් කර තිබෙනවා. ඒ නිසා කාන්තාවන්ගේ දේශපාලන නියෝජනය වැඩි කිරීම පමණක් නෙවෙයි ඒ අයව යැවීමෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මොනවද කියන දේ සම්බන්ධයෙන් ඒ අය තුළ බරපතළව අදහසක් ඇති කිරීමත් වෙනුවෙන් බලපෑම් කිරීමත් අඛණ්ඩව කළ යුතුව තිබෙනවා. අපි මේ උද්ඝෝෂණයේදී උත්සාහ කළේ අපේ ඡන්දය තවදුරටත් කෑදර දේශපාලනයකට යටත් කරන්න සුදානම් නැති බවත් බලය අල්ලා ගැනීමේ දේශපාලන කුමන්ත්‍රණවලට අපි නතු නොවන බවත් සදාචාරාත්මක නොවන මේ දේශපාලනය සාමාන්‍යකරණය කිරීමට දරන වෑයමට අපි කාන්තාවන් වශයෙන් තරයේ විරුද්ධ බවත් අවධාරණය කිරීමටයි.

අද අරගල භූමියේ ඉදිරියෙන්ම සිටින්නේ කාන්තාව. නමුත් සක්‍රීය දේශපාලනය තුළට ඇයව ඇතුළත් කරගැනීමට ඉතිහාස පුරා අරගල කරන්නට සිදුව තිබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
සදාචාරාත්මක දේශපාලනයක් පිළිබඳ කතා කරන විට දේශපාලන පක්ෂ තුළ අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් අවධානය යොමු විය යුතුව තිබෙන බව අපි කල්පනා කරනවා. මොකද දේශපාලන පක්ෂ තුළ නිසි කාන්තා නියෝජනයක් නැහැ. මේ පිළිබඳව 2002 වසරේ ඉඳලා දේශපාලන පක්ෂවලට පිටින් හිඳිමින් අපි සාකච්ඡා කළා. ඒ කතිකාව හරහා දේශපාලනයේ කාන්තාවන්ගේ ගොඩ වැඩ කරගැනීම වෙනුවෙන් නෛතිකමය ඉඩකඩක් ලබාගන්න හැකි වෙනවා. නමුත් ඒ කාන්තා කෝටාව ඉතිහාසයේ සිට දේශපාලනික වශයෙන් කාන්තාවන්ට සිදුවූ වෙනස්කොට සැලකීම නිවැරදි කර ගැනීම වෙනුවෙන් ගෙන ආ තාවකාලික දෙයක් හැටියටයි මම දකින්නේ. අපිට අවශ්‍ය වුණේ මේ කෝටාව හරහා නිකන්ම ඔළු ගෙඩි ටිකක් නෙවෙයි, එමඟින් පක්ෂ තුළ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනගන්න. ඒවායේ තීරණ ගන්න තැන්වලට මේ කාන්තාවන් ඇතුළත් කරවන්න. නමුත් අපේ තිබෙන ගැති දේශපාලනය විසින් සුදුස්සන්ට නිසි තැන අහිමි කරමින් තිබෙනවා. මෙහිදී කාන්තාවන් පමණක් නෙවෙයි ආන්තිකරණයට ලක්වූ සියලුම කණ්ඩායම්වලට දේශපාලනයේදීත් සමාන අවස්ථා හිමි විය යුතුව තිබෙනවා. මෙය අපේ දේශපාලන සංස්කෘතිය හා මුසුවන තාක්කල් තවදුරටත් එය අරගලයක්ව පවතිනවා. ■
502 වන සමබිම ඉරිදා අතිරේකයට කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ කුමුදුනී සැමුවෙල් සමගින් සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි.