Samabima supplement: මේ කාන්තාවන් ඉදිරියට ආ යුතු මොහොතයි

මේ කාන්තාවන් ඉදිරියට ආ යුතු මොහොතයි 

ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව කටයුතු කිරීමට විරෝධය පාමින් කොල්ලුපිටිය මංසන්ධියේ අකණ්ඩව පැවැත්වෙන නිහඬ විරෝධතාවයට, මෙම ක්‍රියාවලිය තුළ සිය අයිතිවාසිම් කඩ වන බවත් රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන බවත් විශ්වාස කරන පුරවැසියන් පෞද්ගලික මට්ටමින් සම්බන්ධ වීම විශේෂත්වයකි.

මට වයස අවුරුදු 92 ක්. මම ගොඩක් වයස්ගත කෙනෙක්. ඒත් මම හිතුවා මේ වෙලාවේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මම නැගී සිටිය යුතුයි කියලා. පහුගිය අවුරුදු ගණනාවක් පුරාම මම දැක්කා මේ රටේ දේශපාලන භාවිතයන් දිගින් දිගටම කඩා වැටෙන හැටි. කෙටි ලාභ ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් හැම තැනකම දූෂණය ඉහවහා යනවා. මේක වහාම වෙනස්විය යුතුයි.
සරෝජිනි කදිර්ගාමර්

මම හිතනවා අපේ රටේ තරුණ ප්‍රජාව රටේ දේශපාලන ගැටලු සම්බන්ධයෙන් මීට වඩා බරපතළ ලෙස අවධානය දැක්විය යුතු බව. තරුණ ප්‍රජාවගේ දේශපාලන භාවිතය ඇතුලේ තියෙන්නේ ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා සිදුකරන ප්‍රකාශ පදනම් කරගෙන සිදුකරන මතුපිට දේශපාලනයක්. අපි රටේ ප්‍රශ්න දිහා එතැනින් එහාට ගැඹුරට පරීක්ෂා කරලා බලන්නේ නැහැ. මට අවශ්‍ය අපේ රටේ තරුණ ප්‍රජාව මේ ප්‍රශ්න දිහා මීට වැඩිය මැදිහත් වෙනවා දකින්න.
නෙලුනි තිලකරත්න

දෙමළ ජනාතාව මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් 2015 න් පසුව කාල සමය තුළ අත්පත් කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් අපිට සෑහීමකට පත්වෙන්න බැහැ. නමුත් දැන් ඇත්තටම අපිට දෙමළ සමාජයේ ක්‍රියාකාරීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්, විශේෂයෙන්ම අතුරුදන්වූවන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ලොකු බයක් තිබෙනවා. රටේ සුළුතර කණ්ඩායම්වල ප්‍රශ්න සහ අයිතිවාසිකම් සම්බන්ධයෙන් වැඩකරන්න පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදී රජයකුයි අපිට අවශ්‍යය.
රාජිනී, යාපනය

මෙහි පළ වන්නේ එම විරෝධතාවයට එක්ව සිටි ක්‍රියාකාරිනියක් සමඟ සමබිම කළ සාකච්ඡාවකි. 

 දේශපාලනයේ දැන් පවතින ව්‍යාකූලභාවය කාන්තා ක්‍රියාකාරිනියක් විදියට ඔබට ග්‍රහණය වෙන්නේ කොහොමද?

අපි මේ පවතින තත්ත්වය නිත්‍යනුකූල නැහැ ප්‍රජාතන්ත්‍රවාදී නැහැ කිව්වත් සාමාන්‍ය ජනතාවට මෙය සාමාන්‍යකරණය වෙලා. මේ පවතින දේශපාලනය තුළ ව්‍යස්ථාවේ හරය ගිලිහී ගිහින්. මට දැනෙන්නෙ මෙය පුරුෂාධිපත්‍ය මුල් වුණ දේශපාලනයක් බව. කෙසේ නමුත් මේ සිදුව තිබෙන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාව අපි තරයේ හෙළා දකිනවා. මෙය ව්‍යවස්ථාවටත් එහි හරයන්ටත් වගේම සමස්ත පුරවැසියන්ටම විශාල ප්‍රශ්නයක් ඇති කළ තත්ත්වයක්. පුරවැසියෙක් විදියට කාන්තාවක් විදියට මේ විරෝධතාවයට එක්වීම මගේ යුතුකමක් බවයි මම කල්පනා කළේ. 

මේ මොහොතේ කාන්තා දේශපාලනයේ මැදිහත්වීම ප්‍රමාණවත්ද? 

මේ පවතින තත්ත්වයට විරෝධය පාන්න කාන්තාවන් පෙරමුණ ගත්තා. මේ මොහොතේ විරෝධතා ව්‍යාපාරවල වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. නමුත් කාන්තා දේශපාලනය දෙස බැලුවොත් දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩිකිරීම වෙනුවෙන් කෝටාවක් ලැබුණා. එහි අරමුණ වුණේ කාන්තාවන් ඒ දේශපාලනයට යොමු වීම වැඩිකිරීම විතරක්ම නොවෙයි කියන එකයි මගේ අදහස. මේ සිදුව තිබෙන දේ ව්‍යවස්ථා විරෝධි වුනත් දේශපාලනිකව මිනිස්සු පක්ෂ අනුව බෙදිලා. තමන්ගේ හෘද සාක්ෂියට එකඟව කරන දේශපාලනයක් අපේ දේශපාලන සංස්කෘතියේ නැහැ. ප්‍රාදේශිය සභාවලට ගිය කාන්තාවන්ගෙන් අපි බලාපොරොත්තු විය යුත්තේ පුරුෂ දේශපාලනයට යම් අභියෝගයක් කිරීම. නමුත් දේශපාලන පක්ෂවල කාන්තාවන් අද ස්වාධීනව හිතනවට වඩා ඒ ඒ පක්ෂවල මතය අනුව කටයුතු කරන බවක් පෙනෙනවා. 

 මේ දේශපාලන වතාවරණය තුළ දකින්න ලැබෙන සාධනීය දෙයක් තනි පුද්ගලයන් වශයෙන්, විශේෂයෙන්ම කාන්තාවන් ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පාරට බැසීම. 

ඔව්, මෙය හොඳ ප්‍රවනතාවයක්. මෙතෙක් සංවිධිත දේශපාලන ක්‍රියාකාරීත්වයකට හෝ දේශපාලන විරෝධතාවලට සම්බන්ධ නොවුණු දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සමඟ අනන්‍ය නොවුණු ස්වාධීන තරුණ පිරිස් මේ ක්‍රියාවලියට තනි පුද්ගලයන් වශයෙන් හෝ කණ්ඩායම් වශයෙන් සම්බන්ධ වෙනවා. අපිට හැඟෙනවා මේ සිදුවූ දෙයින් අපේ පරමාධිපත්‍ය අභියෝගයට ලක්ව ඇති බව, රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශයට ඇඳ දමා ඇති බව. අපේ අයිතිවාසිකම් අභියෝගයට ලක්වන බව වගේම ව්‍යස්ථාවේ හරයන්ට වටිනකම්වලට හානි කර ඇති බව. ඒ නිසයි අපි අද මෙතනට එකතුවුණේ. නමුත් මම හිතනවා තවදුරටත් රටේ පවතින දේශපාලනය සහ සිදුවෙමින් තිබෙන දේවල් පිළිබඳ තරුණ පරපුර තවදුරටත් සවිඥානික විය යුතු බව. 

 පවත්නා දේශපාලනය, කාන්තා ක්‍රියාකාරීත්වයට මොන වගේ අභියෝගයකද?

ලංකාවේ කාන්තා ව්‍යාපාර තිබෙනවා වුනත් ඒවා තවදුරටත් ඉදිරියට සක්‍රීයව ඉදිරියට පැමිණිය යුතුයි. මහින්ද රාජපක්ෂ පාලනයක් යටතේ මේ රටේ කාන්තාවන් විශාල අර්බුදවලට මුහුණ දුන්නා. උදාහරණයක් ලෙස ගත්තොත් අතුරුදන් කිරීම් පිළිබඳ ප්‍රශ්නයෙන් අපි දන්නා පරිදි වැඩියෙන්ම පීඩාවට පත් වුණේ කාන්තාවන්. ඒ කාන්තාවන්ට මොකක්ද අද මේ දේශපාලන තත්ත්වය තුළ තිබෙන රැකවරණය? ලංකාවේ ස්ත්‍රී ව්‍යාපාරයන් ස්ත්‍රී ක්‍රියාකාරීත්වයන් විශේෂයෙන් මේ පිළිබඳ සැලිකිමත් විය යුතුයි. ■

497 වන සමබිම ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් සාකච්ඡා කර සකස් කරන ලද ලිපියකි.