‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නොවෙයි’’

‘‘මගේ අදහස්, ස්ත‍්‍රී විමුක්තිය යනු සමාජ, ආර්ථික දේශපාලන අරගලයෙන් වියෝවූවක් නෙවෙයි’’ – මාලා දසනායක (1947-2017)
දශක පහකට වඩා සමාජ කි‍්‍රයාකාරිනියක් සහ ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියක්ව කටයුතු කළ මාලා දසනායක සහෝදරිය 2017 සැප්තැම්බර් 25 දින උදෑසන සිය දිවියෙන් සමුගත්තාය. සිය ක‍්‍රියාකාරී ජීවිතයේ වැඩිමනත් ‘කාන්තා හඬ’ සංවිධානය වෙනුවෙන් කැප කළ ඇය ශ‍්‍රී ලංකා ස්ත‍්‍රී ව්‍යාපාරයටත්, සමාජ අරගලවලටත් ඉමහත් දායකත්වයක් ලබාදුන් සහෝදරියකි. 
සිය ජීවිතයේ වාමාංශික දේශපාලන නැඹුරුව ආරම්භ වීමට පදනම වැටුනු ස්ථානය තමන් ඉගෙන ගත් පාසල එනම් පානදුරේ ගොරකපොළ රතුවත්ත රාජකීය දියමන්ති ජුබිලි පාසැල බවත් සිය ගුරුවරියක වන විමලාවතී වික‍්‍රමරත්න ගුරුතුමියගේ ධෛර්යසම්පන්න යොමුකිරීම හරහා ලැජ්ජා බය වෙනුවට යුක්ති සහගතව සාධාරණත්වය වෙනුවෙන් වැඩකිරීමටත් යහපත් පුරවැසියන් වීමටත් ගුරුහරුකම් ලැබිමට මාලා දසනායක සහෝදරිය හුරු වූවාය. පාසැල් කාලයෙන් පසු තරුණ කි‍්‍රස්තියානි ව්‍යාපාරයට එක්වූ ඇය ශාන්ති ද සිල්වා, කුමාරි ජයවර්ධන, මොණිකා රුවන්පතිරණ, බර්නඞීන් සිල්වා, විවියන් ගුණවර්ධන ඇතුළු තවත් විද්වතුන් සහ ස්ත‍්‍රී කි‍්‍රයාකාරිනියන් සමඟ ක්‍රියාකාරී ජීවිතය  අරම්භ කළාය.
1968 වර්ෂයේ මෝල්ඞ් ඩෙක්ස් කර්මාන්ත ශාලාවක කම්කරුවෙකු ලෙස ද සේවය කළ ඇය, දිනක් කර්මාන්ත ශාලාවේ ආරක්ෂක අංශය විසින් කම්කරුවෙකුට කළ පහරදීමක් නිසා වෘත්තීය සමිතියක්වත් නොමැති තත්ත්වයක් තුළ දියත් වූ වැඩ වර්ජනය සඳහා උරදුන්නාය. පසුව එය වෘත්තීය සමිතියක් ලෙස පිහිිටුවා ගැනීමත් සමගම එහි කි‍්‍රකාකාරී සාමාජිකාවක් (කාරක සභික) ලෙස කටයුතු කිරීම තුළින් කි‍්‍රයාකාරී දේශපාලන දිවියට ඇය පිවිසුනේ ඉබේමය. කම්කරුවෙතු ලෙස කටුක වෘත්තීමය තත්ත්වයන් තුළ වැඩ කරමින් ලද පීඩනයට එරෙහිව සටන් කිරීමෙන් ලද පන්නරය, ප‍්‍රශ්නවලට මුහුණදීමටත් අභියෝග ජයගැනීමටත් ලංකා සම සමාජ පක්ෂයෙන් ලද දේශපාලන දැනුම සහ අවබෝධය ඉවහල් කර ගත්තාය. එ් කාලවකවානුව තුළම ලංකා සමසමාජ පක්‍ෂයේ කාන්තා සම්මේලනය නියෝජනය කළ ඇය වෘත්තීය අරගලයට කම්කරුවෙකු ලෙස දායක වූවාය.
කාර්මාන්ත ශාලාවෙන් ඉවත් වූ ඇය, 1981 වසරේ දී ‘කාන්තා හඬ’ සංවිධානයේ පූර්ණාකාලීනව සේවය කළාය. එවකට ඇය රාජ්‍ය නොවෙන ක්‍ෂේත‍්‍රය තෝරාගැනීමට විශේෂ හේතුවක්ව තිබුණේ වෘත්තීය සමිතිය තුළ දේශපාලන පක්‍ෂවලට සීමාවුණු තත්ත්වයක් තුළ කාන්තා හඬ සංවිධානය පුළුල් දේශපාලන අරමුණක් ඇතිව වැඩ කළ බව ඇය දුටු නිසාය; එය හොඳ ස්ත‍්‍රීවාදී වේදිකාවක් වූ නිසාය. ලංකාවේ ස්තී‍්‍ර ව්‍යාපාරය ගොඩනැගෙමින් පැවති එම වකවානුව තුළ ස්ත‍්‍රී ප‍්‍රශ්නය ප‍්‍රශ්නයක් ලෙස දකින පිරිසක් මේ රටේ සිටින බව හඳුනාගනිමින් එය පංති තත්ත්වයන්ගෙන් පසෙකලා ඉතාම පුළුල් මානුෂික දැක්මක් මත වැඩකරන පිරිසක් සමග නිවැරදි දර්ශනයක් මත ප‍්‍රබල ස්ත‍්‍රී ව්‍යාපාරයක් ගොඩනැගීමට සිය ජීවිතයෙන් වැඩිමනත් කැප කළ ඇයගේ දැවැන්ත ආත්මයට අපගේ ගෞරවය පුදකරමු.
මාලා දසනායක සහෝදරිය වෙනුවෙන් අවසන් ගෞරවය දැක්වීම පිණිස ඇගේ දේහය 2017 සැප්තැම්බර් 27 වන බදාදා දින අංක 43/1, පුන්සරාවත්ත, බෙක්කේගම, වලාන, පානදුර දහවල් 2.00 දක්වා තැන්පත් කර ඇත. අවසන් කටයුතු සවස 3.00 මිනුවම්පිටිය පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.
කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය