මාධ්‍ය නිවේදනය: මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි

මාධ්‍ය නිවේදනය

මැතිවරණ කොමිසමේ සභාපතිතුමා, දේශපාලන පක්ෂ නායකයින් සහ පාර්ලිමේන්තුවේ කතානායකතුමා වෙත ඉදිරිපත් කරන ලිඛිත නිවේදනයයි.

නීත්‍යානුකූලව පිළිගනු ලැබූ කාන්තාවන් සඳහා වූ 25% කෝටාව ක්‍රියාත්මක කිරීම පැහැර නොහරින්න.

2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධිත) පනතට අනුව, කාන්තාවන් සඳහා වූ 25% කෝටාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කරන ලෙස කාන්තා කණ්ඩායම් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඇතුළු පහත අත්සන් කරන ලද සිවිල් සමාජ සංවිධාන විසින් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සහ එහි සාමාජිකයින්ගෙන් මෙසේ ලිඛිතව ඉල්ලා සිටිමු.

දැනටමත් නීතිමය වශයෙන් ස්ථාපිත කර ඇති කාන්තාවන් සඳහා වූ කෝටාව සම්පූර්ණ කිරීම තමන් වෙත පැවරී ඇති අසාධාරණ බරක් ය යන හැඟීම ඇතැම් දේශපාලන පක්ෂ තුළ ඇති බව පෙබරවාරී මස 10 වන දින පවත්වන ලද මැතිවරණයෙන් පසු පළවූ මාධ්‍ය වාර්තා සහ අනෙකුත් මූලාශ්‍ර තුළින් අපි අවබෝධ කර ගතිමු. මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ සහ නීතිපති දෙපාර්තුමේන්තුවේ උපදෙස් මත, දේශපාලන පක්ෂ විසින් නීති සංශෝධනයක් පිළිබඳව සලකා බලන බව අපට පෙනී ගොස් ඇති අතර, මෙම තත්ත්වය සම්බන්ධයෙන් අපි අතිශයින්ම සැලකිලිමත් වන්නෙමු. ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ කාන්තාවන්ට එරෙහිව සිදුකරන ලද වෙනස් කොට සැලකීම් වලට විසඳුමක් ලෙස ගෙන ආ මෙම නීතිය සැලකිය යුතු ජයග්‍රහණයක් ලෙස අප පිළිගත් අතර, 25% කෝටාවේ හරයට ගරු කරන ලෙස සහ දැනට එකඟ වී ඇති කාන්තා නියෝජන ප්‍රතිශතයේ කිසිදු අඩු කිරීමක් නොකරන ලෙස, දේශපාලන පක්ෂවලින් මෙන්ම මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් අපි දැඩිව ඉල්ලා සිටිමු.

කාන්තාව සඳහා වූ 25% කෝටාවට ව්‍යාතිරේක ඇති බව අපි පිළිගන්නෙමු. දේශපාලන පක්ෂවලින් තේරී පත්වූ සාමාජික සංඛ්‍යාව වැඩි අගයක් ගන්නේ නම් සහ එමගින්, සමාජිකයින් ලෙස තේරී පත්වීමට නියමිත සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇත්නම්, එවැනි සමාජික සංඛ්‍යාවට කාන්තා සමාජිකයින් ඇතුළත් නොවේ නම්, නීතියට අනුව කෝටාව ඉටුකිරීමට දේශපාලන පක්ෂ බැඳී නැත. එසේම, දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන ආයතන බලප්‍රදේශය තුළ 20% කට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගෙන ඇත්නම් සහ සමාජිකයින් 3 කට අඩු සංඛ්‍යාවකට හිමිකම් කියයි නම්, ඔවුන් ද, 25% ක් වු කාන්තා නියෝජනයේ අවශ්‍යතාවෙන් නිදහස් වේ.

මෙහි සාධාරණ බවක් ඇතැයි යන්න පෙනෙන්නට නොතිබුණද, කොට්ඨාශවලින් අවම වශයෙන් කාන්තාවන් 10% කට පමණක් තරඟ කිරීමට අවස්ථාව ලබාදෙන සන්දර්භය තුළ එය සාකච්ඡා කරන ලද අතර, එයද සාධාරණ විධිවිධානයක් නොවේ. එබැවින් මෙය පාර්ලිමේන්තුව තුළ සියලූම දේශපාලන පක්ෂ විසින් සාකච්ඡා කොට, ඒ පිළිබඳ විවාද කොට අවසානයේ එකඟතාවයකට පැමිණ, නීතියක් ලෙස සම්මත කරගන්නා ලද සූත්‍රයක් විය. මෙම ව්‍යාතිරේඛ දෙක පමණක් නීතියට ඇතුළත් කර තිබේ. 2017 අංක 16 දරන පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධිත) ආඥපනතේ 25 වන වගන්තියේ සඳහන් පරිදි සියලූම කොට්ඨාශ සඳහා ඕනෑම දේශපාලන පක්ෂයකින් හෝ ස්වාධීන කණ්ඩායමකින් කාන්තා නියෝජිතයන් තෝරා පත් කරන විට, එකී සංඛ්‍යාව 25% කට වඩා අඩුනම්, “එකී අඩුව පළමුවන නාමයෝජනා පත්‍රයෙන් හෝ අතිරේක නාමයෝජනා පත්‍රයෙන්, කාන්තා අපේක්ෂකයන් අතරින් තෝරාපත් කරනු ලැබේ”.

නව සංශෝධනය යටතේ පවත්වන ලද නිදහස් හා සාධාරණ මැතිවරණයකින් පසු, මැතිවරණ කොමිසමේ සභාපතිතුමා හෝ පක්ෂ ලේකම්වරුන්ගේ නියෝගය මත, මේ වන විට කෝටාව අඩුකිරීමට දරණ උත්සාහය අප දකින්නේ ඉතාමත් අසාධාරණ, නීති විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධි මෙන්ම ස්ත්‍රී විරෝධී වෑයමක් ලෙසය.

අවුරුදු 20 කට ආසන්න කාලයක් මුළුල්ලේ කාන්තා සංවිධාන සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් විසින් සිදුකරන ලද අති දුෂ්කර අරගලයක ප්‍රතිපලයක් ලෙස කාන්තාවන් සඳහා වූ 25% කෝටාව දැක්විය හැකිය. ප්‍රාදේශීය පාලනය තුළ අතිශයින්ම අඩුවක්ව පැවති කාන්තා නියෝජනයට පිළියම් සෙවිමට එමගින් බලාපොරොත්තු විය. මෙම කෝටාවට පෙර ප්‍රාදේශීය පාලනය තුළ කාන්තා නියෝජනය කිසිවිටකත් 2% කට වඩා වැඩි අගයක් නොගත්තේය. දේශපාලන ආයතනවල කාන්තාවන් සඳහා ගන්නා ධනාත්මක ක්‍රියාමාර්ගවල සමස්ථ අරමුණ වන්නේ එම ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරිමයි. එවන් විශේෂ විධි විධාන සැලැස්වීමෙදී, වසර ගණනාවක් මුළුල්ලේ පුරුෂයන් අත්පත් කරගෙන සිටි ආසන ප්‍රජාතන්ත්‍රවාදී ලෙස නැවත බෙදා දීමක් සිදු වේ. එහිදී පුරුෂයන් පීඩාවට පත් වීමට ඉඩ ඇති අතර, පුරුෂයන් වීම නිසාම ඔවුන් භුක්ති විඳින මූලික වරප්‍රසාදය දිගින් දිගටම භුක්ති විඳීමට ඉඩ ලබා දීමට නොහැකි බව පිළිගැනීමට ඔවුන්ට බල කර කිරීමක් සිදු වේ. කෝටාවට මූලික වන මූලධර්මය මෙයයි.

නීතියෙන් නියම කරන ලද කෝටාව ක්‍රියාත්මක කිරීම පැහැර හැරීමට මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට නොහැකිය. නීතියෙන් කියවෙන්නේ, (27F (1) වන ඡේදයට අනුව) සෑම ප්‍රාදේශීය ආයතනයකම 25% ක කාන්තා නියෝජනයක් තිබිය යුතුය යන්න ය. කාන්තා නියෝජනයෙන් විශාල ප්‍රමාණයක් දැරීමට ප්‍රධාන පක්ෂවලට සිදු වීම අසාධාරණ යැයි පැවසීම සැබවින්ම කාන්තාවන්ට එරෙහිව සිදුකරන වෙනස් කොට සැලකීමකි. ඔවුන් සමාන අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කළ පසු, කාන්තාවන් ද පිරිමින් ද යන්න සහ පත් කරන්නේ කවුරුන් ද යන්න ගැටළුවක් කර නොගත යුතු අතර, මැතිවරණයකදී සෑම අපේක්ෂකයකුටම එක හා සමාන තත්ත්වයක් ඇත. සමහර දේශපාලන පක්ෂ විසින් කාන්තා අපේක්ෂකයින් අවතක්සේරුවට ලක් කිරීම සහ ඔවුන්ට පිරිමින්ට හා සමානව නොසැලකීම පිළිබඳව අපි අතිශයින්ම කනස්සල්ලට පත්ව සිටිමු. සමහර පක්ෂ විසින් අතිරේක පුද්ගල ලැයිස්තුවෙන් කාන්තාවන් වැඩි ප්‍රමාණයක් පත් කිරීමට තීරණය කිරීම අසාධාරණ නොවන අතර පිරිමින්ට වඩා සංඛ්‍යාවක් කාන්තාවන් පත් කළ නොහැකි යැයි ඇතැම් පක්ෂ විශ්වාස කිරීම සධාරණ නොවේ.

දේශපාලන ආයතනවල කාන්තා කෝටාවේ සහ වෙනත් ධනාත්මක ක්‍රියාමාර්ග වල අරමුණ වන්නේ තෝරාපත් කරගත් නායකයන් ලෙස කාන්තාවන්ට තනතුරු දැරීමට හැකි අවස්ථා වර්ධනය කිරීමයි. සාමාජීය සහ සංස්කෘතික බාධකයන් පවතින, එසේත් නොමැතිනම්, ආසනයක් සඳහා තරඟ කිරීමට හෝ එය දිනා ගැනීමට කාන්තාවන් ඉදිරිපත්වීම අසාධාරණ අයුරින් වළක්වන පරිසරයක මෙය ඉතා වැදගත් වේ. කෝටාව අනුව කටයුතු කිරීම පිරිමි නායකයින්ට තමන්ගේ ආසන අත්හැරීමට බලකර සිටීමක් ය යන වැරදි අවබෝධය ඇතැම් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් අතර ඇත. යථාර්තය නම්, පසුගිය මැතිවරණය සඳහා ප්‍රාදේශීය වශයෙන් තේරී පත් වන නියෝජිතයින් සංඛ්‍යාව විශාල ලෙස ඉහල නැංවූ අතර කාන්තා අපේක්ෂකයන්ට මෙම ආසනවලට හිමිකමක් ඇත. තනතුරු දරන කාන්තාවන් සංඛ්‍යාව ඉහළ නැංවීම සහ ශ්‍රී ලංකාවේ නායකත්වය තුළ විවිධත්වය වැඩි කිරීම කාන්තාවන්ට පමණක් යහපතක් උදාකරන කරන දෙයක් නොවන අතර, එය ශ්‍රී ලංකාවේ ප්‍රාජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය සඳහා තීරණාත්මක සාධකයක් වේ.

තවද, මෙම රටේ ඡන්ද දායකයින්ගෙන් බහුතරය කාන්තාවන් වන බවත්, නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ දී එම කාන්තාවන්ගේ ඡන්ද අදාළ වන බවත්, සියළු ජනතා නියෝජිතයින්ට, විශේෂයෙන්ම නීති සම්පාදනය කරන ව්‍යවස්ථා දායකයට, අප මෙයින් මතක් කර සිටින අතර, අප තව දුරටත් කියා සිටින්නේ මෙවන් දැඩි ස්ත්‍රී විරෝධී ක්‍රියාවන් සහ වෙනස්කොට සැලකීම් අප නොඉවසන බවයි.

කාන්තාවන් සඳහා වූ කෝටාව සම්බන්ධයෙන් ඇති නීතීය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කරන ලෙස අපි මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිමු. සමානාත්මතාවය සහ වෙනස්කොට සැලකීමෙන් වැළකී සිටීම සඳහා තමා සතු වගකීමට ගරු කරන මෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී ඇති සියලූම නියෝජිතයන්ගෙන් අපි ඉල්ලා සිටිමු. එමෙන්ම, කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ගරුකිරීම, ඒවා ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම හෝ ඉටුකිරීම වෙනුවට, ඒවා තවදුරටත් උල්ලංඝනය කිරීම සඳහා විධිවිධාන හෝ නිති සංශෝධන රැගෙන නොඑන ලෙස ද, අපි සියලූම නියෝජිතයන්ගෙන් ඉල්ලා සිටිමු.

එබැවින්, මෙහි අත්සන් තබන අපි, පහත සඳහන් කාරණා ඉටුකරන ලෙස මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිමු.

  1. දේශපාලන පක්ෂ නීතිමය විධිවිධානයන්ට අනුකූලව කටයුතු කරන බවට සහතික කිරීම

    සහ

  2. කෝටාව සඳහා ව්‍යාතිරේකයන් තිබුනද, ජනතා නියෝජනය තුල විවධත්වය පුළුල් කිරීම සඳහා අවම අවශ්‍යතාවය ඉක්මවා කාන්තාවන් ඇතුලත් කිරීමට දේශපාලන පක්ෂ උනන්දු කරවීම සහ 25% ක කෝටාවේ හරයට සම්පූර්ණයෙන් ගරු කිරීම.

කාන්තා කණ්ඩායම් සහ කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින ක්‍රියාකාරීන් ඇතුළු සිවිල් සමාජ සංවිධාන

2018 පෙබරවාරී 15