Statement: KAYTS RAPE CASE

කයිට්ස් පුන්ගුඩතිව් ගමේ දී සමූහ දූෂණයට ලක්වී කෲරලෙස ඝාතනය කරන ලද්දාවූ වින්ධ්‍යා සිවයෝගනාදන් දැරියගේ පවුලේ ඥාතීන්ට මෙම ප‍්‍රකාශයට අත්සන් තබන අපි අපගේ සාතිශය සංවේගය පළකරන්නෙමු. එසේම මෙම සිද්ධියට සම්බන්ධවූවන් ට එරෙහිව කඩිනමින් නීතිය ක‍්‍රියාත්මක කරමින් මෙම අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකරගැනීමටත් ඔවුන්ට නිසි දඩුවම් ලබාදීමටත් බලධාරීන් පෙළඹවීමට කටයුතු කරන ප‍්‍රජාව සමග අපිද ශෝක වන්නෙමු.

නියමිත ක‍්‍රියාමාර්ග වලින් බැහැරව සිදුවන යුක්තිය පසිඳලීම සහ අධිකරණයට සහ නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන වලට එරෙහිව ප‍්‍රචණ්ඩකාරීලෙස ක‍්‍රියාකිරීම කිසිසේත් අනුමත කළ නොහැකිය. කෙසේ වෙතත් මෙම ආයතන ජනතාව ප‍්‍රචණ්ඩකාරි අපරාධවලට ගොදුරුවීමෙන් ආරක්ෂා කිරීමට සහ අපරාධකරුවන් අනවශ්‍ය ප‍්‍රමාදයකින් තොරව නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් කිරීමටත් මහත් වගකීමෙන් යුක්තව කටයුතු කළ යුතුවේ.

නිරන්තරයෙන් මාධ්‍ය වල පළවන තොරතුරු සිදුවීම් මගින් රටපුරා නීතිය හා සාමය බිඳවැටිමත් කාන්තාවන්ට සහ ළමුන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් ඵලදායී අන්දමින් ක‍්‍රියාමාර්ග ගැනීමට බලධාරීන් අපෙහොසත් ඇති බව මනාව පැහැදිලිවේ. 18 හැවිරිදි පාසැල් සිසුවියක් වන වින්ධ්‍යා විවිධ වයස් වලට අයත් පිරිමින් කණ්ඩායමක් විසින් පළිගැනීමේ ස්වරුපයෙන් සිදුකරන ලද කෲර සමූහ දුෂණයක ගොදුරක් බවට පත්වූ බව පෙනී යයි. මෙමගින් මනාව පෙනී යන්නේ පිරිමින් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව කිසිදු බාධාවකින් තොරව ප‍්‍රචණ්ඩකාරීව හැසිරෙන ආකාරයයි.

මත්පැන් සමහ මත්ද්‍රව්‍ය භාවිතා කර සිටින අවස්ථාවන්හිදී මෙම කෲර හැසිරීම් සමාජය විසින් ඉවසීමත් එපමණක් නොව සමහර අවස්ථාව වලදී එසේ සිදුවීම අනුමත කිරීමත් දක්නට හැකිය. වින්ධ්‍යා අතරුදහන්ව ඇති බවට ඇයගේ පවුලේ අය විසින් මුලින්ම පොලීසියට පැමිණිළි කළ අවස්ථාෙවීදී පොලීසිය විසින් දැක්වූ ප‍්‍රතිචාරය වන ඇය ඇගේ පෙම්වතා සමග පළා යන්නට ඇතැයි යන චෝදනාව අප මහත් කම්පනයට ලක් කරයි. කෙසේ වෙතත් කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක කරන බලධාරීන්ගේ සහය පතන අවස්ථාවන්හිදී ඔවුන් විසින් මෙවැනි ප‍්‍රතිචාරයන් දැක්වීම රටේ අනෙකුත් ප‍්‍රදේශ වලින් ද වාර්තා වේ. මෙැවනි බලවත් අපරාධ සිදුකරන පිරිමින් මෙම අපරාධ සඳහා ඔවුන් වගකිවයුතු නැතිබවටත් දඩුවම් ලැබිමෙන් තොරව කටයුතු කළ හැකිබවටත් යන හැගීමෙන් පසුවෙති.

මෙයට ගොදුරුවූ පුද්ගලයාට සහ ඇයගේ පවුලේ අයට සහ ප‍්‍රජාවට සිදුවූ කණගාටුදායක සිද්ධිය නොසලකා හරිමින් කටයුතු කරමින් උතුරු පළාත් සිදුවූ මෙම සිද්ධි ජාතික ආරක්ෂාවට එරෙහිව සිදුවන කුමන්ත‍්‍රණයක් හා තර්ජනයක් බවට චෝදනා කරමින් දේශපාලන වාසි ලබාගැනීමට ක‍්‍රියාකරන විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයින් පිලිබඳව අපි මහත් කම්පනයට පත්ව සිටින්නෙමු.
පුන්ගුඩතිවු හි සිදුවූ සමූහ දුෂණය සහ ඝාතනය සම්බන්ධයෙන් තවදුරටත් ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් ඇතිවීම වළක්වාලමින් සාමය කඩවීම නවත්වාලීමට ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් විසින් ගන්නා ලද ක‍්‍රියාමාර්ග අපි අගය කරන්නෙමු.

කෙසේවෙතත් මහජනතාව විසින් සිදුකරනු ලබන පැමිණිළි සම්බන්ධයෙන් හා අපරාධකරුවන් නීතිය ඉදිරියට පමුණුවා දඩුවම් ලබාදීම පිළිබඳව මහජනතාව තුළ විශ්වාසයක් ජනිත කිරීමට නීතිය නිසි අන්දමින් ක‍්‍රියාත්මක කිරීම මෙන්ම හා සම්බන්ධ අනෙකුත් ක‍්‍රියාමාර්ගයන්ද වැදගත්වේ.
රටේ අනෙකුත් ප‍්‍රදේශ වලදී මෙවැනි ක‍්‍රියාවන් සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ඇතිවූ දුර්වලතා කඩිනමින් අවධානයට ගත යුතුවේ. කෙසේවෙතත් මේ සඳහා පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබාදීම් වැනි එම අවස්ථාව ඉලක්ක කරගත් ක්ෂණික පියවර පමණක් නොව කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීම ඉලක්ක කරගත් දිගුුකාලීන ක‍්‍රියාමාර්ගද අවශ්‍ය වේ.

රටේ සියලූම ප‍්‍රදේශවල දක්නට ලැබෙන නීතියේ ආධිපත්‍ය බිඳවැටිම, වරදකරුවන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොවීම, කාන්තාවන්ට සහ ගැහැණු ළමුන්ට එරෙහිව සිදුවන ප‍්‍රචණ්ඩත්වය සාධාරණීකරණය කිරීම යන ප‍්‍රශ්න පිළිබඳව හඳුනාගෙන ඒවාට විසඳුම් ලබාදෙන මෙන් අපි රජයෙන්, විපක්ෂයෙන් සහ අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමු. මේ සඳහා දේශපාලඥයින් අධිකරණයද ඇතුලූව නීතිය ක‍්‍රියාත්මක කරන බලධාරීන් මෙවැනි සිදුවීම් වළක්වා ලීම සඳහා සාමුහිකව ඔවුන්ගේ රාජකාරින් කාර්යක්ෂමව ඉටුකළ යුතුවේ. මෙවැනි ප‍්‍රචණ්ඩකාරී සිදුවීම් වලට කිසිසේත්ම අවකාශය නොලැබෙන වාතාවරණයක් සැකසීමට ඔවුන් මහත් වගකීමෙන් යුතුව ක‍්‍රියාකළ යුතුයි. වින්ධ්‍යා මුහුණුදුන් ආකාරයේ පිරිමින් විසින් සිදුකරනු ලබන්නාවූ මෙවැනි වධහිංසාවලට කාන්තාවන් සහ ගැහැණු ළමුන්ට මුහුණු දීමට සිදුවන වාතාවරණයක් ඇතිවී තිබෙන්නේ නීිතිය ක‍්‍රියාත්මක කිරීමට වගකියන ආයතනවල සහ නීති හා ප‍්‍රතිපත්ති ප‍්‍රතිශෝධනය කිරීමට වගකීම් දරන ආයතන තමන්ගේ වගකීම් නිසිපරිදි ඉටු කිරීමට දිගින් දිගටම අසමත්වීම නිසාය.