Samabima Supplement: වීරයා වගේම ත්‍රස්තවාදියා හදන්නෙත් අපිමයි

මූලාශ්‍රය: සමබිම

කොයි වගේ ජන කොටස් ද
මේවයින් නැතිවෙන්නේ?
මුස්ලිම් වෙන්න පුළුවන්, ඒ අපේ දරුවෝ.
ඇයි ඒ දරුවෝ නැතිවෙන්නේ? ඒ දරුවෝ නිකන් දරුවෝ ද?
නෑ. හොඳ උගත් දරුවෝ.
ඔවුන් ඇයි මේ වගේ දේවල්වලට එහෙනම් පෙළඹුණේ?
අන්න එතනයි හොයන්න ඕනේ.
එහෙමනම් මෙතන කොහේ හරි වැරැද්දක් තියෙනවා.
ආගමික අන්තවාදී කොටස්වලින් එන දෙයක්.
එහෙනම් තවදුරටත් අපිට මේ ආගම්වාදය,
ජාතිවාදය අවශ්‍ය නෑ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිට මේ දක්වා සිදුවූ සිදුවීම් ඔබ කියවා ගන්නේ කොහොමද?

මේ සිදුවීම අතිශයින් මිලේච්ඡයි. මේ සිදුවීම නිසා ඇති වූ කම්පනයෙන් මිදෙන්න අපි කාටත් තවමත් හැකිවෙලා නැහැ. කිසිම ආගමක කිසිදු ඉගැන්වීමක් නැහැ යමෙකු මරා දැමිය යුතුයි කියල. රාජ්‍ය යාන්ත්‍රණයේ තිබෙන දුර්වලකම් හිඩැස් මේ සිදුවීම සමඟ වඩා විශාලව පෙනෙන්නට පටන්ගෙන තිබෙනවා. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් පාලකයන් තමන්ගේ නිසි අවධානය යොමු නොකිරීමේ පාඩුව වේදනාව අත්වුණේ මේ රටේ අහිංසක මිනිස්සු කොටසකට. මෙවැනි ඛේදජනක සිදුවීමකදී පාලකයන් පෙන්විය යුතු බුද්ධිමත්භාවය වගකීම් සහගතභාවය වෙනුවට ඔවුන්ගෙන් අපිට දකින්න ලැබුණේ වැරද්ද කාට හෝ පටවා ගැනීමට දරන මහන්සියක්. කොහොම නමුත් මේ ව්‍යසනයෙන් රටක් ලෙස අපි එක්සත්ව නැගිටින්න අවශ්‍යයි. නැවත මෙවැන්නක් සිදු නොවීම වෙනුවෙන් සියලු පියවරයන් ගැනීම අත්‍යවශයයි. අපේ මහන්සිය, කාලය, ශ්‍රමය වැය කළ යුත්තේ ඒ වෙනුවෙන්.

පසුගිය දිනෙක ඔබ මේ සිදුවීම අරඹයා කළ ප්‍රකාශයකට සමාජ මාධ්‍ය තුළ විශාල විවේචනයක් එල්ල වුණා.
ඔව්, මට කියන්න තියෙන්නේ අපේ රටේ බහුතරයකට යමකට හොඳින් සවන් දීලා තේරුම් අරන් අදහස් පළ කිරීමේ හැකියාවක් නැහැ. ඕනම දේක තමන් කැමති හෝ අකමැති කොටස විතරයි ගන්නේ. නමුත් මම මේ ප්‍රකාශය කළේ ඉතාම වගකීමෙන් සහ අවබෝධයෙන් යුතුව. මේ රටේ ජීවත් වෙන අපි හැමෝම එක විදියකට නැදෑයෝ. යම් කෙනෙක් ත්‍රස්තවාදියෙක් වෙන්නේ නිකන් නෙවෙයි. යම් කෙනෙක් අරගල කරන්නේ නිකන් නෙවෙයි. කොතැන හෝ වැරදීමක් අපි හැමෝගෙන්ම සිදුවෙලා තිබෙනවා. තමන්ගේම රටේ මිනිස්සුන්ට එරෙහිව වරින් වර අවි ගත්ත මිනිස්සු මේ රටේ හිටියා. ඇයි එහෙම කරන්න ඔවුන්ට සිදුවුණේ කියන ප්‍රශ්නේ අපි නිසි විදියට සාකච්ඡාවට හෝ ගත්තද කියන ප්‍රශ්නෙත් මට තියෙනවා. මේ රටෙන් විශිෂ්ටත්වයට පත් වෙන යම් කෙනෙක් අපේ දරුවෙක් වෙනවා වගේම මේ රටේ යම් කෙනක් ත්‍රස්තවාදියෙක් වුනත් ඒ අපේ දරුවෙක්. ත්‍රස්තවාදියෙක් වුනාට පසුව අපි ඔවුන් ප්‍රතික්ෂේප කරනවා වෙන්න පුළුවන්. මම කියන්න උත්සාහ කළේ මේ ප්‍රතික්ෂේප කිරීම් නෙවෙන්න නම් අපි ආමන්ත්‍රණය කළ යුතු අපිට මඟහැරයා නොහැකි ප්‍රශ්නයක් මෙහි තිබෙන බව. හේතු ඵල දහම ඕනම ධර්මයක තිබෙන දෙයක්. මම කියන්න උත්සාහ කළේ මේ තත්ත්වයට අපේ දරුවන් පත්වෙන්න හේතු වුණේ මොකක්ද කියන දේ හොයන්න අපි මහන්සි වෙන්න ඕන කියල.

මේ ප්‍රකාශයේ අරුත නිවැරදිව කියවා ගන්න නොහැකි වීමේ අසමත්කම ප්‍රකට කරන්නේ ආගමික වාර්ගික බේදීම සම්බන්ධයෙනුත් අපේ තිබෙන ගැටලුව නෙවෙයිද?
පැහැදිලිවම ඔව්. මෙය ත්‍රස්තවාදයක් බව පැහැදිලියි. නමුත් එයට බිලි වුනේ සෑම ආකාරයකින්ම අපේ රටේ දරුවෝ මිනිස්සු. මෙයින් මිදෙන්න අපිට දිගු කලීන වැඩ පිළිවෙළවලක් අවශ්‍ය වෙනවා. ඒ වගේම මේක ඉස්ලාම් දහම අදහන සියල්ලන්ගේ අනුදැනුම ඇතිව සිදුවූවක් නෙවෙයි. ඕනෑම ආගමක අන්තවාදීන් ඉන්නවා. මෙතන සිදුවෙලා තිබෙන්නේ කිසිවක් විචාර බුද්ධියකින් තේරුම් ගැනීමට අපි උත්සාහ නොකිරීම. ඒ ඒ වෙලාවට දේශපාලකයන් මිනිස්සුන්ගේ කටට දාන ලෙසින්ජර සූප්පු කරන්න මිසක් සවිඥානිකව දේශපාලනය හෝ මේ සමාජය හෝ වෙනයම් කිසිවක් හෝ තේරුම් ගැනීමේ අවශ්‍යතාවය රටේ මිනිස්සුන්ගෙන් ගිලිහි ගිහින්. මේ ප්‍රකාශය වැරදි විදියට තේරුම් ගැනීම නිසා අද මට සිද්ධ වෙලා තියෙන්නේ ගෙදරකට කොටු වෙලා ඉන්න. සමාජ හැල හැප්පීම්වල අරගලවල හිටපු නිසා මට මේ තත්ත්වය ටිකක් හරි දරා ගන්න පුළුවන්. ඒත් මට මෙහෙම ඉන්න කොට හිතුනා ත්‍රස්තවාදියාට වෙන්න ඇත්තෙත් මට මේ සිද්ධ වුණා වගේ දෙයක් නේද කියල. මේ සමාජය විසිනුයි මිනිස්සුන්ව එවැනි තත්ත්වයට පත් කරන්නේ. අපි අසමත් වෙලා තිබෙන්නෙ මෙන්න මේ දේ හරියාකාරව තේරුම්ගන්න.

පාස්කු ඉරිදා ප්‍රහාරය මූලික කර ගත් මාධ්‍ය හැසිරීම පිළිබඳ රටක් විදියට අපිට සෑහිමකට පත් විය හැකියිද?
මේ සිදුවීමත් සමඟ ලංකාවේ ජනමාධ්‍ය පෙන්නුම් කරමින් ඉන්නේ ඉතාම පහත් හැසිරීමක්. අපේ රටේ මාධ්‍ය දන්නේ නැහැ තමන්ගේ වගකීම, තමන්ට පැවරෙන සමාජ කාර්ය භාරය. අතිශය පක්ෂග්‍රාහී ලෙස මේ අවස්ථාවේ ඔවුන් තොරතුරු අනාවරණය කරමින් ඉන්නවා. විද්්‍යුත් මාධ්‍යට හෝ සමාජ මාධ්‍යට හෝ වගකීමක් නැහැ තමන් කරමින් ඉන්නේ කුමක්ද කියන දේ ගැන. මගේ ප්‍රකාශය මාධ්‍ය පළ කළ ආකාරය වගේම සමාජය මාධ්‍ය එය යොදාගත් ආකාරය එක්ක අද ගැහැනියක් විදියට මම ඉතාම කටුක අත්දැකීමකට මුහුණ දීලා ඉන්නේ. මාධ්‍ය සතු ආචාරධර්ම පිළිබඳ තැකීමක් අද මේ කිසිම මාධ්‍යකට නැහැ. ජනතාවක් කුපිත කරවන තොරතුරු නෙවෙයි මාධ්‍ය පළ කළ යුත්තේ නමුත් සිදුවෙන්නෙ එය. මිනිස්සුන්ට ඇත්ත ඇති හැටියෙන් නිවැරදි තොරතුරු වාර්තා කිරීමට වඩා අද මාධ්‍ය මහන්සි වෙන්නේ තමන්ගේ මාධ්‍ය ආයතනයේ හිමිකාරීත්වයට අයිති දේශපාලන ඇජෙන්ඩා එකට අනුව තොරතුරු පළ කරන්න. මේ කාටවත් මහජනතාව වෙනුවෙන් ඇජෙන්ඩා එකක් නැහැ. ■

රංගන ශිල්පිණී දීපානි සිල්වා සමග සාකච්ඡා කර 516 වන සමබිම ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.