Samabima Supplement: දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්

පල්ලි හදන්න කලින් මිනිස්සුන්ගේ ජීවිත හදන්න

මුලාශ්‍රය : සමබිම ඉරිදා

■ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු
කන්‍යා සොහොයුරිය, කාන්තා සම්බන්ධීකාරක- ශ්‍රමාභිමානි කේන්ද්‍රය                                       
පාස්කු ඉරිදාවේ ඉඳන් මේ වන තෙක් සිදුවූ සියල්ල අහඹුවක් නොවෙන බව පැහැදිලියි. මේ ත්‍රස්ත ප්‍රහාරයට පෙර පාප් වහන්සේ ලෝකයා වෙත ගෙන ආ පණිවිඩය හරිම සුවිශේෂියි. උන්වහන්සේ ලෝක බලවතුන් ඉදිරියේ දනින් වැටිලා ඉල්ලා සිටියා යුද්ධ නවත්තලා සමාව දීලා සංහිඳියාවට එන්න කියල. නමුත් කතෝලික ජනතාව පවා එය බාර ගත්තේ අපේ තිබෙන බෙදීම් සමඟ. මේ ප්‍රහාරයෙන් පසුව සාමාන්‍ය ජනතාව විශාල වශයෙන් වින්දිත ජනතාවට සහය දැක්වූවා. නමුත් අපි කාටවත් මේ සඳහා දේශපාලන විසඳුමක් දෙන්න බැහැ. එය කළ යුතු වන්නේ මේ රටේ පාලකයෝ. මේ ප්‍රහාරයෙන් පසුව මම වින්දිත ජනතාව හමුවෙමින් ඔවුන් වෙනුවෙන් යාඥා කරමින් රෝහල්වල ගත කරේ. නමුත් මේ සඳහා වගකිව යුතු දේශපාලකයන් කිසිකෙනෙක් ඒ ජනතාව බලන්න ආවේ නැහැ. මට කලකිරීමක් තිබෙනවා මේ සා සිදුවීමක් වන තුරුත් ඊට පසුවත් සාමාන්‍ය ජනතාවට එරෙහිව මැර ප්‍රහාරයක් දියත් වන තුරුත් ආණ්ඩුව මේ දෙස බලා සිටීම පිළිබඳ. පාස්කු ප්‍රහාරයෙන් විනාශ වූ පල්ලි නැවත පිළිසරක කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වුණා. පල්ලි නෙවෙයි නැතිවුණ, විනාශ වුණ ජීවිත නැවත හදල දෙන්න කවුද ඉදිරිපත් වෙන්නේ? හැමදෙනාම මේ පවතින තත්ත්වය ආගම්වාදය මත පදනම්ව අර්ථදක්වන්න උත්සාහ කරනවා. මට පේන විදියට කාදිනල්තුමා පවා කාගේ හෝ ඡන්ද පදනමක් සකස්කිරීමකට ගොදුරු වෙලා තිබෙනවා. ආගමික නායකයෝ තමන්ගේ මුඛය මෙවැනි වෙලාවක විවෘත කරන්නේ යම් දේශපාලන පාක්ෂිකත්වයක් මත වන බව සාමාන්‍ය ජනතාව දන්නවා. නමුත් ඇත්තටම ආගමික නායකයන්ට එකට එකතු වෙලා මේ සිදුවෙමින් පවතින විනාශයට එරෙහිව යම් බලපෑමක් කළ හැකිව තිබෙනවා. ■

ආගමික නායකයෝ කරන්නෙත් තව කාට හරි ඇඟිල්ල දික් කරන එක විතරයි
■ ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය
පසුගිය 13 වැනිදාවේ වයඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්හි සිදුවූ සිදුවීම්, පාස්කු ඉරිදාවේ සිදුවූ  අවාසනාවන්ත සිදුවීමට ඉතාම මිලේච්ඡ අන්දමෙන් ප්‍රතිචාර දැක්වීමක්. පාස්කු ඉරිදාවේ ඇති වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පසුගිය කාල පරාසය පුරා ඇති වූ දේශපාලන සාකච්ඡාවන්හිදී වැඩි වශයෙන් කතා බහට ලක් වුණේ දඬුවම් දීම සහ මෙහි වගකීම දැරිය යුත්තේ කවුද වැනි දේ පිළිබඳව. මේ සාකච්ඡාවට බොහෝ අඩු වැඩිය ආගමික නායකයන්ගේ මට්ටමින් එකතු වුණා. ඒ නිසාම මම හිතන්නේ පසුගිය 13 වැනිදා සිදුවූ සිදුවීම එතරම් පුදුම විය යුතු දෙයක් නෙවෙයි. එවැන්නක් සඳහා අවශ්‍ය පරිසරය පසුගිය සති කිහිපය පුරාම රට තුළ නිර්මාණය කෙරෙමින් තිබුනා. මුස්ලිම් ආගමික නායකයන් 2012 වගේ ඉඳලා මේ ත්‍රස්තවාදී ක්‍රියාවට සම්බන්ධ අයගේ සංවිධාන පිළිබඳ දැනුවත් කර තිබුණා. මේ අන්තවාදීන්ව මුස්ලිම් සමාජය තුළින් පැහැදිලි ලෙසම ප්‍රතික්ෂේප වී තිබුණා. නමුත් වගකිව යුතු කිසිම කෙනෙක් අවශ්‍ය කාලේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළේ නැහැ. හැමදේම වුණාට පස්සේ අරයට මෙයාට ඇඟිල්ල දික්කරනවා. දේශපාලන නායකයෝ වගේම ආගමික නායකයොත් කළේ ඒ දේමයි. ඒ අය මේ තත්ත්වය අර්ථ ගන්වන්න උත්සාහ කළේ අපේ ජාතිය විනාශ කරන්න කළ වැඩක් විදියට. මෙවැනි දේ හරහා 13 වැනිදාවේ සිදුවූ සිදුවීමට පිරිස්වලට ඒකරාශී වෙන්න ආගමික නායකයින්ගෙත් දේශපාලකයන්ගේත් සහය ලැබුණා. අහිංසක මිනිස්සුන්ට පහර දීලා ඇවිත් ෆේස් බුක් එකේ වීරයෝ වෙන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙන බවක් අපි දුටුවේ නැති වුනත් එක වාක්‍යයක වැරද්දට මුස්ලිම් තරුණයෙක් අත්අඩංගුවට ගත්තා. මොවුන් මේ මොකක්ද කරමින් ඉන්නේ කියන දේ ගැන පුරවැසියන් ලෙස අපි අවදියෙන් සිටිය යුතුයි. ■

දේශපාලකයන්ට බොර දියේ මාළු බාන්න ඉඩ නොදීම පුරවැසියන්ගේ වගකීමක්
■ කුමුදුනී සැමුවෙල්
කාන්තාව හා මාධ්‍ය සාමූහිකය
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ හැම කෙනෙක්ම හිටියේ විශාල කම්පනයක් බියක් එක්ක. ඒ මෙහොතෙ රටේ තිබුණ අනාරක්ෂිත බව පහ කරන්න ක්‍රියාමාර්ග ගැනීම සමඟ කෙමෙන් කෙමෙන් දරුවන් පාසල් යන්න, මිනිස්සුන්ට රැකියාවලට යන්න අනිකුත් දෛනික කටයුතුවල යෙදෙන්න ඉඩක් හැදෙමින් තිබුණා. නමුත් ඒ හා සමගාමීව යම් පිරිසක් මුස්ලිම් ප්‍රජාවට එරෙහිව විරෝධයක්ද හදමින් තිබුණා. ඔවුන්ගේ වෙළෙඳ ව්‍යාපාර, ආගමික ස්ථාන නැති කළ යුතු බවට අදහස් පළවෙමින් තිබුණා. පසුගිය 13 වැනිදා මුස්ලිම් ප්‍රජාවට එරෙහි ප්‍රචණ්ඩත්වය දියත් වෙන්නේ එවැනි පසුබිමක. මේ ප්‍රචණ්ඩත්වය දේශපාලන උවමනාවකට හසුරුවපු බව ඉතාම පැහැදිලියි වගේම මේ සිදුවීම සමඟ රට අස්ථාවර කිරීමත් ඔවුන්ගේ අභිප්‍රාය වී තිබෙනවා. ගම්පහ සහ වයඹ ඇති වූ මේ ගැටුම්වලට මුලිකත්වය ගත් පිරිස් අත්අඩංගුවට ගත්තම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා ඇවිත් මේ අයව නිදහස් කරගෙන යනවා. නීතියේ ආධිපත්‍යට ඉහළින් දේශපාලන කරපෙවීම්, මැදහත් වීම් ඉතාම නරක විදියට මේ මුළු ක්‍රියාවලිය තුළම පෙනෙන්න තිබෙනවා. මෙතනදි මහජනතාව විදියට අපිටත් වගකීමක් තිබෙනවා. අපි පන්සල් පල්ලි ගිහින් බුදුසරණයි ජේසු පිහිටයි කියල ඇවිත් එළියේ ඉන්න මුස්ලිම් මිනිහට ගහනවා නම් අපි මිනිස්සු වෙන්නේ කොහොමද? අන්තර් ආගමික සහජීවනයක් ඇති කර ගැනීමේ වගකීම හැම පුරවැසියෙකුටම තිබෙනවා. දේශපාලකයන්ට බොරදියේ මාළු බාන්න ඉඩ නොදෙන්න ඕන පුරවැසියෝ. අපි අමතක නොකළයුතුයි පසුගිය කාලය පුරාම මේ සංවිධානවලට සම්බන්ධව ත්‍රස්ත ක්‍රියාවල යෙදෙන පුද්ගලයන් පිළිබඳ තොරතුරු ආරක්ෂක අංශවලට ලබා දුන්නේ අපේම මුස්ලිම් සහෝදරවරු. පැවති අනාරක්ෂිත තත්ත්වයෙන් මඳක් හෝ මිදෙන්න අපිට අවස්ථාව ලැබුණේ ඔවුන් නිසා. නමුත් අපි කෙළෙහිගුණ නොදන්න බවයි මේ පෙන්වමින් ඉන්නේ.■
සමබිම 517 වන ඉරිදා අතිරේකයට ජයනි අබේසේකර විසින් සකස් කරන ලදී.

Article Link