Samabima supplement: සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ

සත්‍යග්‍රහය ආරක්ෂා කළේ මම වගේ සාමාන්‍ය කාන්තාවෝ
ජාතික වෘත්තිය සමිති පෙරමුණේ තමරා දයානි හෙට්ටිමුල්ල සමගින් සාකච්ඡාවක්
Source: www.samabima.com

කාන්තා දේශපාලනය කියන දේ ඔබ තේරුම් ගන්නේ කොහොමද?

කාන්තා දේශපාලනය කිසිදු ආකාරයකින් පුරුෂ දේශපාලනයෙන් වෙනස් වෙන්නක් නොවෙයි. නිවසක මූලිකත්වය අරන් වැඩ කරන්නේ නිවසේ සියලු කටයුතු කළමනාකරණය වෙන්නේ ගැහැනිය අතින්. වැඩ බිමේ වැඩිපුරම ඉන්නේ කාන්තාවෝ. ඉතින් ඇගේ දේශපාලනයත් එබඳුයි. එය ඉතාම සාමාන්‍ය වූවක් වගේම ඉතිහාසය පුරා ඇය දේශපාලනික ක්‍රියාවලියේ කොටසක්. කාන්තා දේශපාලනය අද විශේෂයෙන් කතා කරන්න වෙලා තියෙන්නේ රටේ සමස්ත දේශපාලන ක්‍රියාවලිය තුළට ඇය සහභාගී කර ගැනීමේ තිබෙන අඩුකම නිසා මිස දේශපාලනයෙන් ඇය වියුක්ත නිසා නොවෙයි.

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම වෙනුවෙන් කෝටාවක් හිමි වුණා. නමුත් පසුගිය කාලයේ සිදුවූ ප්‍රජාතන්ත්‍ර විරෝධි ක්‍රියාවලියේදී එම කාන්තාවන් පක්ෂ දේශපාලනයේ මතවාදය නියෝජනය කිරීමයි සිදුවුණේ.

  අපි හැම කෙනෙක්ම යම් දේශපාලන පක්ෂයක් නියෝජනය කරන්න පුළුවන්. කැමති දේශපාලන නායකයෙක් අපිට ඉන්න පුළුවන්. මට පවා මම නියෝජනය කරන දේශපාලන පක්ෂයක් තිබෙනවා. නමුත් අපිට බැහැ ඒ දේශපාලන නායකයන් වැරදි තීන්දු තීරණ ගන්න අවස්ථාවලදි නිහඬව ඉන්න හෝ ඒ සියල්ලට කැමැත්ත පළ කරන්න. කැමැති දේශපාලන පක්ෂයක් නියෝජනය කිරීම කියන දේ අදහස වෙන්නේ අදාළ දේශපාලන පක්ෂය හෝ එම පක්ෂයේ පිරිස් විසින් සිදුකරන සියලු වැරදි දේවල් අනුමත කිරීම නෙවෙයි. කාන්තාවන්ට මේ ලැබුණ කෝටාව වඩාත් අර්ථාන්විත වෙන්නේ ඔවුන් මේ සවිඥානිකභාවය එක්ක තීන්දු තීරණ ගැනීමෙන් බවයි මගේ අදහස. දේශපාලන ක්‍රියාවලියට කාන්තාව සහභාගි කරවා ගැනීම වගේම අවශ්‍යයෙන්ම ඇය තවදුරටත් දැනුමෙන් සහ කුසලතාවයෙන් බලගැන්විය යුතුව තිබෙනවා. මොකද පුරුෂ දේශපාලනය විසිනුයි ඔවුන් තවමත් මෙහෙයවමින් සිටින්නේ.

පසුගිය දේශපාලන අර්බුදයට එරෙහිව කාන්තාවන් විශාල වශයෙන් පෙළගැසුණා. ඔබත් ඒ අතරින් කෙනෙක්. මේ කාන්තා මැදිහත්වීම ඔබ දකින්නේ කොහොමද?

ඉතිහාසය පුරාම කාන්තාව කළ මැදිහත් වීම් එතරම් සමාජයේ ඉදිරියට ආවේ නැහැ. ඒවායේ ජයග්‍රහණ තුළ හිටියේ පිරිමි. අපි තවමත් ඉන්නේ පීතෘ මූලික සමාජයක. ඒ නිසාම අපිට බොහෝ විට අරගල කරන්න සිදුව තිබෙන්නෙත් පිරිමි සමාජ සැකැස්මක් තුළ. පසුගිය නොවැම්බර් 26 වැනිදා සිදුවුණෙත් පිරිමින්ගේ දේශපාලන බල පෙරළියක්. නමුත් ඒ සිදුවීම කාන්තාවන්ට වගේම විවිධ කණ්ඩායම්වලට විශාල බලපෑමක් කළා. ගෙවල් ඇතුළේ හිටපු කාන්තාවෝ පවා එළියට ආවේ මේ සිද්ධ වුණ දේ කම්පනය නිසා මිසක් කිසියම් දේශපාලන ගැතිකමක් නිසා නොවෙන බවයි මගේ හැඟීම. මම හැමදාම යම් දේශපාලනික අරගලයක නිරත වුණ කාන්තාවක්. වෘත්තීය සමිති අරගල මට හුරුපුරුදුයි. නමුත් මොන දේශපාලන මත දැරුවත් මොන දේශපාලන පක්ෂයක් නියෝජනය කළත් බොහෝ කාන්තාවන්, තරුණ තරුණියන්, වෙනත් සමාජ කණ්ඩායම් සිදුවුණ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වමින් පාරට ආවා. මොකද හැම කෙනෙක්ටම හොඳින් අවබෝධ වුණා මේ විධායක ජනාධිපති ධුරයක තිබෙන භයානකකම. ඒ නිසාම මම හිතන්නේ ඉතිහාසයේ අන්කවර අරගලයකටත් වඩා මේ අරගලය වර්ණවත් වුණා.

පවැති දේශපාලන ව්‍යාකූලත්වය සමග කොළඹ නගර මධ්‍යයේ දින 24ක් පුරා අඛණ්ඩ සත්‍යග්‍රහයක් පැවැත්වීම ලෙහෙසි පහසු දෙයක් නෙවෙයි. මෙහි විශාල වැඩ කොටසක් ඔබේ අතින් සිදුවුණා.

 මම වසර 20ක් පුරා රාජ්‍ය සේවයේ සිටින කාන්තාවක්. වසර 19ක් තිස්සේ විවිධ සමාජ ක්‍රියාකාරී වැඩවල වෘත්තීය සමිතිවල ක්‍රියාකාරීව සිටි කෙනෙක්. පසුගිය ඔක්තෝබර් 26 වැනිදා සිදුවූ සිදුවීමත් සමඟ වෘත්තීය සමිති ක්‍රියාකාරීකයන් අපි යම් පිරිසක් ඒකරාශී වෙලා තීරණය කළා මීට එරෙහිව යමක් කළ යුතු බව. ඒ අනුව මහජනතාවගේ දෛනික කටයුතුවලට හානියක් නොවන අන්දමින් අපි අපේ විරෝධය දක්වන්නේ කොහොමද කියන කාරණයේදි අඛණ්ඩ සත්‍යග්‍රහයක් පිළිබඳ අදහස මතු වෙන්නේ. මම මෙය ආරම්භයේදී රාජකාරී නිවාඩු අරගෙන එක දිගට දින හයක් නිදි නැතුව වැඩ කළා. ඊට පසුව සත්‍යග්‍රහය ජයග්‍රහණය සමඟ නවත්වන තෙක් අඛණ්ඩව රාජකාරී කටයුතු, සත්‍යග්‍රහයේ කටයුතු වගේම මගේ නිවසේ කටයුතු සියල්ලත් කළමනාකරණය කර ගැනීමට මට සිදුවුණා.

වේදිකාව පිටුපස විශාල රාජකාරීයක් තිබුණා. වේදිකාවේ කටයුතු නිසිලෙස සිදුවෙන්න නම් වේදිකාවේ පිටුපස කටයුතු මැනවින් සිදුවිය යුතුයි. අපිට ලැබුණ ආහාර පානවල තත්ත්වය, විවිධ කඩාකප්පල්කාරී පුද්ගලයන් මේ ස්ථානයට ඇතුල් වීමේ අවධානම, අඛණ්ඩව සත්‍යග්‍රහය පවත්වාගන්න නම් කෑම බීම, මිල මුදල්වල අවශ්‍යතාවය, මාධ්‍යට තොරතුරු සැපයීම පිළිබඳ විශාල වශයෙන් අවධානයක් අපි යොමු කළ යුතුව තිබුණා. මේ සියල්ල සිවිල් සමාජ සංවිධාන, සමාජ ක්‍රියාකාරීන් විසින් බෙදාගෙන ඉටු කළා. මෙහිදී විශාල කාර්යක් මට පැවරුණා. මට සිද්ධ වුණා හැකිතාක් අවධානයෙන් හා සැලකිල්ලෙන් මගේ රාජකාරිය ඉටු කරන්න. වේදිකාව හිස් නොවෙන්න තබා ගනිමින්, එන පිරිසට කෑම බීම වතුර අවශ්‍යතා ගැන අවධානයෙන් ඉන්න, ඒ වගේ ස්ථානයක සිදුවිය හැකි පරිද්දෙන්ම විවිධ ජාවාරම්කරුවන්ගෙන් සත්‍යග්‍රහයේ දේශපාලනික වටිනාකම ආරක්ෂා කර ගන්න අපට සිදුවුණා. බත් පැකට් එක විකිණීමේ ජාවාරම්, වෙනත් ව්‍යාපාරයන් සත්‍යග්‍රහ භූමිය මුල්කොට ගෙන සිදුවීමට නියමිතව තිබුණත් ඒ සියල්ල ඉතාම හොඳින් කළමනාකරණය කර ගෙන සාර්ථකව අඛණ්ඩ සත්‍යග්‍රහය අවසන් කරන්න අපිට හැකි වූණා. ඒ සාර්ථකත්වය පිටුපස මම වගේ ඉතාම සාමාන්‍ය කාන්තාවන් විශාල ප්‍රමාණයක් හිටියා.

මේ දේශපාලන අර්බුදය අවස්ථාවේ වීදියට බැස්ස ඔබත් ඇතුළු කාන්තාවන්ගේ අරගලය අවසන්ව ඇතැයි යමෙකුට හිතෙන්න පුළුවන්. ඇත්තටම අරගලය අවසන්ද?

නැහැ. දැන් තමයි අපේ අරගලය පටන් ගන්නේ. එදා ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මිසක් පාට පක්ෂ වෙනුවෙන් නෙවෙයි අපි කිසිවෙක් පාරට ආවේ. අපි ඒ අවස්ථාවේ රටට පෙන්නුවා අපිට යමක් කළ හැකියි කියල. නමුත් මේ ලැබුණේ තාවකාලික විසඳුමක්. අපිට කිසිසේත් විශ්වාස කරන්න බැහැ මේ පත්වුණ ආණ්ඩුවේ ඇමතිවරු සියයට සියයට හරි දේම කරාවි කියල. ඒ වගේම හැම දේශපාලන නායකයෙක්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම පිළිබඳ සටන් පාඨයක් අරගෙන මැතිවරණ වේදිකාවට ආවට කිසි කෙනෙක් ඒක අහෝසි කරල ජනතා පොරොන්දු ඉෂ්ට කළේ නැහැ. ඒ නිසා අපිට තිබෙනවා පසුවිපරමක නිරත වෙන්න. මේ අය මොනවද කරන්නේ කියල ඇස් ඇරන් බලන් ඉන්න. වරද කරන්නේ කවුරු වුනත් ඊට එරෙහිව අපි කාන්තාවෝ විදියට එළියට බහිනවා. මම අනිත් සියලු කාන්තාවන් වෙනුවෙන් කියන්නේ අපි අපේ දරුවන්ට ආදරෙයි නම් මේ සටන අත්හරින්න අපිට බැහැ. ඒ නිසා අපි පටන් ගත් සටන ඉදිරියට අරගෙන යමු කියල. ■

ජාතික වෘත්තිය සමිති පෙරමුණේ තමරා දයානි හෙට්ටිමුල්ල සමගින් සාකච්ඡා කර සමබිම 504 වන ඉරිදා අතිරේකයට සකස් කලේ ජයනි අබේසේකර විසිනි.