Samabima supplement: මේ අර්බුදය ජයගත හැකියි

මේ අර්බුදය ජයගත හැකියි
ස්ත්‍රී සම්පත් මධ්‍යස්ථානයේ සුමිකා පෙරේරා සමග සාකච්ඡා කර 500 වන සමබිම ඉරිදා අතිරේකයට  ජයනි අබේසේකර විසින් සකස් කරන ලද ලිපියකි.
Source: www.samabima.com

මේ මොහොතේ ලංකාවේ දේශපාලන අර්බුදය, කාන්තා ක්‍රියාකාරිනියක් ලෙස ඔබට දැනෙන්නේ කොහොමද?

මෙය රට තුළ තිබෙන අවිනිශ්චිත මොහොතක්. පුරවැසියෙක් ලෙසත් කාන්තාවක් ලෙසත් මම දකින්නේ මෙය අතිශයින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධි තත්ත්වයක් ලෙස. ආණ්ඩුවක් වෙනස් කිරීමට තිබෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයන් අභිභවා ගොස් සිදුකළ ක්‍රියාවලියක ප්‍රතිඵලය, රටක් ලෙස මේ මොහොතේ අපි භූක්ති විඳමින් ඉන්නවා. මේ තත්ත්වය දිගින් දිගටම පවත්වා ගන්නවා නම් රටක් වශයෙන් අපි ගමන්කරමින් තිබෙන්නේ අස්ථාවර, අරාජික තත්ත්වයකට. මම හිතනවා රටක පුරවැසියන් ශක්තිමත් නොවීමත් මෙවන් තත්ත්වයකට රටක් ඇඳ වැටීමට හේතුවක් වූ බව. මොකද දේශපාලඥනයන් තම හිතුමතේ කටයුතු කරද්දී ඔවුන් අභිභවා පුරවැසියන් ඉස්මතු වෙනවා නම් මේ අභියෝගය ජයගන්න පුළුවන් බවයි මගේ අදහස. ඇතැම් අය ඉන්නවා අපිට මේ දේශපාලනය අවශ්‍ය නැහැ අපි හම්බකරගෙන අපි කනවා කියල හිතන. තවත් කොටසක් දේශපාලන පක්ෂ විදියට බෙදිලා කටයුතු කරනවා. කාන්තාවන් පවා තම සිතැඟි පරිදි දේශපාලන පක්ෂවලට බෙදිලා ඒ අනුවයි මේ දිහා බලමින් ඉන්නේ. තමන්ගේ දේශපාලන පක්ෂවල නායකයන් යමක් කියනවා නම් එය හරි හෝ වැරදි ඔවුන් පිළිගන්නවා. දේශපාලන පක්ෂවලට බැඳුණම තවදුරටත් ස්වාධීන මිනිස්සු අහිමි වී තිබෙනවා. එහි විපාකයි අපි මේ මොහොතේ අත්විඳිමින් තිබෙන්නේ. 

පවත්නා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලියට එරෙහි අරගලය තුළ කාන්තාවගේ භූමිකාව ඔබ දකින්නේ කොහොමද? 

දේශපාලන පක්ෂ නියෝජනය කරන බිම් මට්ටමේ කාන්තාවන් යම් සවිඥානික බවකින් සෙනඟ රැස් කිරීම වගේ කාර්යයන්වලට දායක වෙන බවක් පෙනෙන්නට තිබෙනවා. නමුත් එදා වේල සොයාගන්න මහන්සි වෙන සාමාන්‍ය කාන්තාවට මේ ගැන එතරම් අවබෝධයක් නැහැ. ඇතැම් අයට මේ ව්‍යවස්ථා අර්බුදය ගැන අවබෝධයක් නැහැ. අපේ රටේ නිසි ප්‍රජා අධ්‍යාපනයක් නොමැතිකම නිසාම ව්‍යවස්ථාව අපට අදාළ නැහැ කියන තත්ත්වයට ඔවුන් පත්වෙලා. මේ ගැන අවබෝධයක් තිබෙන අය පවා ඒ වෙනුවෙන් යමක් කළ යුතු යයි කල්පනා කරන්නේ නැහැ. ඒ වගේම මතවාදීමය මට්ටමේ දේවල්වලට කාන්තාවගේ සක්‍රීය දායකත්වය අඩුයි. හිරුනිකා ප්‍රේමචන්ද්‍ර වගේ දේශපාලන චරිත හැරුණු විට වෙනත් කිසිම කාන්තාවක් ප්‍රසිද්ධ මාධ්‍යයේ පවතින දේශපාලන අර්බුදය පිළිබඳව අදහස් දක්වනවා මම දුටුවේ නැහැ. එයින් වැටහෙන්නේ පීතෘ මූලික දේශපාලනය තුළ කාන්තාවන්ගේ අදහස්වලට වටිනාකමක් නොමැති බවයි. කුමන දේශපාලන පක්ෂයක් බලය ලබාගත්තත් ඒවායේ අවකාශය කාන්තාවන්ට ලැබෙන්නේ ඉතාම අඩුවෙන්. කාන්තාවන් ප්‍රමාණාත්මකව වැඩි විය යුතු වුනත් ප්‍රමාණය පමණක් ප්‍රමාණවත් නොවන බවයි මගේ අදහස. කාන්තා හඬවල් අපි විරෝධතා ව්‍යාපාරවල දකිනවා. නමුත් ඇත්ත තත්ත්වය නම්, කාන්තාව තවමත් යමින් සිටින්නේ පුරුෂ දේශපාලනය පසුපසයි.

දේශපාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම සිදුවුනත් මේ කාන්තාවන් අද පක්ෂ දේශපාලනයට ලඝු වී තිබීම ඔබ දකින්නේ කොහොමද? 

ඔව් අද සිදුව තිබෙන්නේ එයයි. අපි හැදිය යුත්තේ ස්වාධීනව කල්පනා කළ හැකි මහජන නියෝජිතවරියන්. නමුත් ඔවුන් දේශපාලනයට පිවිසෙන්නේ කුමක් හෝ පක්ෂයක මතවාදයක් සමගයි. ඒ නිසා කාන්තාවන්ගේ ප්‍රමාණය වැඩි වුනත් ඔවුන් අර දේශපාලන පක්ෂ මතවාදවල ගොදුරු පමණයි. ඔවුන්ගේ ගුණාත්මක තත්ත්වය දියුණු කළ යුතුයි. අපි බුද්ධිමතුන් යැයි සලකන කාන්තාවන් පවා ගුණාත්මක බවක් නොමැතිව මේ ජරාජීර්ණ දේශපාලනයට ගොදුරු වී තිබෙන ආකාරය පසුගිය දිනවල දුටුවා. දේශපාලන සදාචාරයක් ඇති කිරීම වෙනුවෙන් කාන්තාවන්ගේ නියෝජනය වැඩි කිරීම වැදගත් යැයි අපි කල්පනා කළත් වෛද්‍යවරියක් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පාර්ලිමේන්තුවේදී කතානායකගේ පුටුව තල්ලු කරගෙන යන අයුරු අපි දුටුවා. ඒ නිසා කාන්තාවෝ දේශපාලනයේ හිටියත් බුද්ධිමය කතිකාව තුළ ඔවුන් නොමැති නම් එයින් සමාජයට ඵලක් නොමැති බවයි මගේ අදහස.

2015ට පෙර සිදුවූ බොහෝ සිදුවීම්වල වින්දිතයින් වුණේ කාන්තාවන්. පසුගිය වකවානුවේ ඔවුන් යුක්තිය වෙනුවෙන් යම් අරගලයක නිරත වුණා. අද පවතින දේශපාලන වතාවරණය මේ කාන්තාවන්ට බලපාන්නේ කොහොමද? 

පසුගිය කාලයේ අපි යම් නිදහසකින් අපේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටියා. නමුත් එයින් අදහස් වෙන්නේ නැහැ පසුගිය සමයේ අපිට ප්‍රශ්න නොතිබුණ බවක්. මේ ආණ්ඩුව යටතේ නොවිසිඳුණු ප්‍රශ්න රාශියක් තිබුණා. නමුත් දැන් ඒ පැවති නිදහස පවා නැතිවෙයි කියන බය කාන්තාවන්ට තිබෙනවා. අතුරුදන්වූවන් පිළිබඳව ඉදිරියට ඇවිත් කතා කළේ බහුතරයක් කාන්තාවෝ. ඒ අය තොරතුරු දැනගැනීමේ පනත යටතේ පෙත්සම් ගොනු කරමින් සත්‍ය දැනගැනීම වෙනුවෙන් විශාල අරගලයක නිරත වුණා. නමුත් මේ දේශපාලන අර්බුදය සමඟ ඔවුන් තිගැස්මකට ලක්ව තිබෙනවා. රාජපක්ෂ පාලනයක කුණාටුව සමඟ නැවතත් මූලධර්මවාදය ඉස්මතුවේද යන බය ඇතිව තිබෙනවා. මොකද පසුගිය සමයේ ආගමික නායකයන් කාන්තාවන්ගේ ප්‍රජනන අයිතිය පවා පාලනය කළා. එවැනි සමාජයකිනුයි අපි ඈත් වෙමින් හිටියේ. නමුත් නැවතත් මෙය ආපස්සට යාවිද කියන බය, සැකය කාන්තාවන් වශයෙන් අප තුළ ඇතිව තිබෙනවා.■