සමබිම: ජනතාවගේ ඡන්ද අයිතිය මාධ්‍ය ඩැහැගෙන ඉවරයි

මූලාශ්‍රය: සමබිම

මෙවර ‘සමබිමක ඇය’ සංවාද සටහන වෙනුවෙන් එක්වන්නේ කැලණිය විශ්වවිද්‍යාලයේ, ජන සන්නිවේදන අධ්‍යන අංශයේ, ජ්‍යෙෂ්ඨ කතිකාචාරිනි සමන්තිකා ප්‍රියදර්ශනීය. මෙහි පළ වන්නේ ‘දේශපාලනය සහ මාධ්‍ය හැසිරීම’ පිළිබඳ ඇය සමඟින් සමබිම කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනකි.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවේ මාධ්‍ය හැසිරීම, මාධ්‍ය සමඟ ගනුදෙනුවක් ඇති ඔබට ග්‍රහණය වෙන්නේ කොහොමද?

පාස්කු ප්‍රහාරය ලංකාවේ මාධ්‍ය ආයතන අල්ල ගත්තේ තමන් කැමති කොන්වලින්. හැබැයි ඒ බොහෝ කොන්වල තිබුණේ ජාතිකවාදය, ආගම්වාදය. පාස්කු ප්‍රහාරය වගේම යුද්ධයෙන් පසුවත් පෙනෙන්න තිබුණ දේ තමයි, මාධ්‍ය කියන්නේ ගැටුමක පාර්ශ්වකරුවන් නෙවෙයි කියන එක ලංකාවේ මාධ්‍ය අමතක කර තිබීම. එවැනි ගැටුමකින් පසුව මාධ්‍යයේ කාර්ය භාරය වෙන්නේ මැදහත්ව තොරතුරු වාර්තා කිරීම. නමුත් අපි දැක්කා මුස්ලිම් වෛද්‍යවරයාගේ සිදුවීම. ඒ වගේම පාස්කු ප්‍රහාරය සමඟ ස්ත්‍රිය කියන සාධකය සම්බන්ධයෙන් මාධ්‍ය කටයුතු කළේ කොහොමද කියල බැලු‍වොත් ජාතික ආරක්ෂාව වෙනුවෙන් බව කියමින් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමට එරෙහිව විශාල විරෝධයක් ඉදිරියට අරන් ආවා. අපි දන්නවා අද වෙනකොට මාධ්‍ය කියන්නේ ප්‍රාග්ධනය මූලික කරගත්තක්. ලාභ උපයන්න පුළුවන් ප්‍රවෘත්ති මොනවද කියල තමයි ඔවුන් බලන්නේ. පාස්කු ප්‍රහාරය දිහාත් මාධ්‍ය බැලු‍වේ ඒ සිදුවීමෙන් බලපෑමට පත් වුණ සියලු‍ පාර්ශ්වයන් පිළිබඳ සංවේදීත්වයකින් නෙවෙයි, සමස්ත සිදුවීමෙන් තමන්ට ලාභ උපයන්න පුළුවන් කොටස ගැන පමණයි ඔවුන්ගේ අවධානය යොමුවුණේ. මෙවැනි සිදුවීමකින් පසුව අනෙකා කෙරෙහි සහවේදනයක් ඇති කරන්න, අනෙකා දෙස යොමු කරන අපේ ඇස, මනස පුළුල් කරන යමක් කිරීමට ලංකාවේ මාධ්‍ය අසමත් වෙලා තිබෙනවා. ඇත්ත වශයෙන්ම පාස්කු ප්‍රහාරයෙන් පසුව ලංකාවේ බොහෝ මාධ්‍ය වගකීම් විරහිත මාධ්‍ය භාවිතයකුයි පෙන්නුම් කර තිබෙන්නෙ.

අද මාධ්‍ය සිදුකරමින් ඉන්නේ ජනතාවාදී කාර්ය භාරයක්ද කියන එක ප්‍රශ්නයක්. මාධ්‍ය තමන්ට රිසි පරිදි ජනතාව හසුරවමින් ඇති බවකුයි පෙනෙන්න තිබෙන්නෙ.

ඔව්. ලංකාවේ මාධ්‍ය කියන්නේ තවදුරටත් ජනතාවගේ මාධ්‍යක් නොවෙයි. ලංකාවේ මාධ්‍ය කියන්නෙත් කර්මාන්තයක්. එහි යටි අදහස තමයි ලාභ ලැබීම ඔවුන්ගේ ප්‍රධාන අභිප්‍රායක්. එහෙම නම් ඔවුන්ට ජනතාව වෙනුවෙන් නෙවෙයි තමන් වෙනුවෙන් න්‍යාය පත්‍රයක් තිබෙනවා. ඒ න්‍යාය පත්‍රය අනුවයි ඔවුන් වැඩ කරමින් ඉන්නේ. එකම ප්‍රවෘත්තියක් නාලිකාවෙන් නාලිකාවට වෙනස් වෙන්නෙ කොහොමද? මොකද මාධ්‍ය ප්‍රවෘත්ති වාර්තා කරන්නේ තමන්ගේම දෘෂ්ටිකෝණයකින් මිසක් ජනතා දෘෂ්ටිකෝණයකින් නෙවෙයි. මෙහි ප්‍රධානම ගැටලු‍ව තමයි ලංකාවේ මාධ්‍යට අදාළ ජාතික ප්‍රතිපත්තියක්, ආචාර ධර්ම පද්ධතියක් නැතිකම. ලංකාවේ මාධ්‍ය මිනිස්සුන්ගේ කඳුළු, දුක, ලේ, නිරුවත, බිය තමන්ගේ මාධ්‍ය ව්‍යාපෘතිය වෙනුවෙන් පාවිච්චි කරමින් ඉන්නවා. ඔවුන් ලාභ ලබන්නේ මේවා විකුණලා. අංක එකේ නාලිකාව වෙන්නේ මේ විකිණීමේ දක්ෂතාවය අනුව මිසක් ජනතාවට සිදුවීමක් ඒ හැටියෙන්ම වාර්තා කිරීමෙන් නෙවෙයි. අද වෙනකොට ජාතිවාදය, ආගම්වාදය වැපිරීම මහා පරිමාණයේ මාධ්‍ය ව්‍යාපෘති වෙලා. මෙතනදි ජනතාව සබුද්ධික වීම වැදගත්. තමන් කියවන, බලන, අහන පුවත්පතේ, රූපවාහිනියේ ගුවන්විදුලියේ මොනවද ඔවුන් ඇත්තටම කියමින් ඉන්නේ? මොනවද ඔවුන්ගේ දේශපාලන අභිප්‍රායන්? මොකක්ද ඔවුන්ගේ න්‍යාය පත්‍රය? එය වැඩකරන්නේ ජනතාව වෙනුවෙන්ද? ඔවුන් වෙනුවෙන්මද? කියන දේ අවබෝධ කරගන්න පුළුවන් වෙන්නෙ අපි සවිඥානික වුනොත් විතරයි. ඔවුන් පෙන්නන දේම බලනවද ඔවුන්ගේ මතයම බාරගන්නවද කියන එක අද මාධ්‍ය එක්ක ගනුදෙනු කරන ජනතාවට පැවරෙන අමතර කාර්යක්. මොකද දැන් තොරතුරු විතරක් නෙවෙයි බොහෝ මාධ්‍ය ආයතනවල ඇතැම් මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික මතයත් මේ තොරතුරු එක්ක මුසුවෙලා තමයි අපිට ලැබෙන්නෙ.

ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවෙමින් සිටින ඇතැම් අපේක්ෂකයන්ගේ ජනප්‍රියත්වය ගොඩනැගීම ඇතැම් මාධ්‍යවල ව්‍යාපෘතියක් බව පෙනෙන්න තිබෙනවා. මාධ්‍ය විසින් ඉස්මතු කරන ජනප්‍රියවාදී නායකයෝ නියෝජනය කරමින් ඉන්නේ මහජනතාවගේ ඇත්ත ප්‍රශ්නද?

මම කලින් කිව්ව විදියටමත් ජනතාව කියන එක මාධ්‍යට අමතක වෙලා ඉවරයි. තවදුරටත් මහජනතාව වෙනුවෙන් නෙවෙයි මාධ්‍ය වැඩකරන්නේ. අද මාධ්‍යය, ජනතාව වෙත අරන් එන අදහස තමයි ජනතාව නියෝජනය කළ යුතු කියන තැනට මාධ්‍ය තමන්ගේ කාර්ය භාරය ලඝු කරගෙන තිබෙනවා. මේ මොහොතේ මේ රට හසුරුවන සුක්කානම බාර ගත යුතු කවුද කියන එක යම් ආකාරයකට මාධ්‍ය විසින් තීන්දු කරල ඒ වෙනුවෙන් ඇතැම් නායකයන්ව උලු‍ප්පමින් තිබෙනවා. ඒ අනුව ජනතාව දේශපාලන නායකයන්ගේ හුදු ජනප්‍රියත්වය මත පදනම්ව තීන්දු තීරණ ගන්න තැනකට පත්වෙලා තිබෙනවා. මාධ්‍ය මහජනතාවගේ ඡන්ද අයිතිය වෙනුවෙන් පෙනී සිටිනවට වඩා මාධ්‍ය විසින්ම ඒ අයිතිය ඩැහැ ගැනීමයි සිද්ධ වෙන්නේ. ජනමාධ්‍ය කාර්ය භාරය විය යුත්තේ මේ රටට අවශ්‍ය කරන යහපත් පාලනයක් නිසි නායකත්වයක් පිළිබඳ ජනතාවට තවදුරටත් හිතන්න යොමු කරන මාවතක් පෙන්වීම. අද ඒ වෙනුවට මාධ්‍ය තමන්ට අවශ්‍ය දේශපාලන නායකයාව තෝරගෙන ඔහුගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. මේවා පිටුපස තිබෙන්නේ, මාධ්‍යයේ හිමිකාරීත්වය, ඒ හිමිකාරීත්වයට බලපාන දේශපාලන සාධකය, මාධ්‍ය බලපත්‍රය, තමන්ගේ මාධ්‍ය සහ තමන්ගේ දේශපාලන අනාගතය කියන යථාර්ථයන්. එහෙම නැතුව මේ රටේ ගොවියන්ගේ ප්‍රශ්න, උතුරේ දකුණේ යුද වැන්දඹුවන්ගේ ප්‍රශ්න, ඉඩම් ප්‍රශ්න වගේ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න නියෝජනය කරන නායකත්වයක් ගැන අදහසක් ඇති කරන්න අවංක උවමනාවක් අපේ රටේ බහුතර මාධ්‍යයන්ට නැහැ.

සංවාද සටහන ජයනි අබේසේකර

Share the Post:

Related Posts