වයස අවුරුදු 5 ට අඩු දරුවන් ඇති මව්වරුන් විදේශ රැකියාවලට යෑම අත්සිටුවීමට සදහා අමාත්‍ය මණ්ඩල විසින් දී ඇති අනුමැතිය සම්බන්ධවයි.
මැදපෙරදිග රැකියා සඳහා යන අපේ කාන්තාවන්ට ”අවුරුදු 5 ට අඩු දරුවන් සිටීනම් රැකියාවක් සඳහා විදේශගත වීමට නොහැකි බවට දී ඇති අමාත්‍ය මණ්ඩල අනුමැතියට අනුව කාන්තාවක් විදේශගත වන්නේනම් එම කාන්තාවගේ පවුල් පසුබිම් වාර්තාවක් නිකුත් කළ යුතු බවටත්, එම වාර්තාව අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පත්ව ඇති කමිටුව මඟින් පරික්ෂා කර බැලිය යුතු බවටත්, ගෙන ඇති තීන්දුව පිළිබදව අපගේ බලවත් විරෝධය මෙයින් පළ කර සිටිමු.
මෙය කාන්තාවන්ට ලැබෙන විශාල සහනයක් සහ වරප්‍රසාදයක් ලෙස බොහෝ දෙනා පිළිගත්ත ද, මේ මගින් තමන් කැමැති තැනක තමන් කැමති රැකියාවක් කිරීමට කාන්තාවන්ට ඇති අයිතියට වැට බැදී ඇත. මෙලෙස කාන්තාවන් තම වයස අවුරුදු 5 ට අඩු දරුවන් හෝ අවුරුදු 5 ට වැඩි දරුවන් පියාගේ හෝ වෙනත් භාරකාරීත්වයක් යටතේ රඳවා විදේශ ගත වන්නේ පවුල තුළ පවත්නා විශාල දරිද්‍රතාවයට මුහුණ දීමට ඇති නොහැකියාවත්, අපේ රටේ පිරිමින්ට වඩා ගැහැණුන්ට ගෘහ සේවිකාවක් ලෙස විදේශ ගත වීමට ඇති ඉඩ ප්‍රස්ථාව වැඩිකමත් නිසා බව මෙම ප්‍රතිපත්ති සහ නීති සම්පාදනය කරන්නන්ට අමතක වීම කණගාටුවට කරුණකි.
ලංකාවට වැඩිම විදේශ විනිමයක් ගෙනෙන ද්‍රරිද්‍රතාවයෙන් පෙළෙන කාන්තාවන්ගේ දරුවන් රැකබලා ගැනීම සඳහා රජය විසින් සුරැකුම් මධ්‍යස්ථානයන් ඇති කර ඔවුන්ගේ පවුල්වලට දියුණුව සලසා ගැනීමට මෙන්ම, ඔවුන් දරිද්‍රතාවයෙන් මුදවා ගැනීමට පියවර ගත යුතුව ඇතත් ඒ වෙනුවට මෙවැනි වූ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝණය කෙරෙන තීරණ ගැනීම යුක්ති සහගත නැත.
පවුලක දරුවන් රැකබලා ගැනීමේ වගකීම මවට පමණක් නොවන අතර, පියාටද දරුවන් රැකබලා ගැනීමේ වගකීමක් ඇති බව මතක් කළ යුතුය.
තවද, මව්වරු විදේශ රැකියා සඳහා ගිය පසු දරුවන් හොඳින් රැකබලා ගනිමින්, දරු පවුල් ගොඩනගා ගත් වගකීමෙන් කටයුතු කරන යහපත් පියවරුන් ද සිටින බව අප අමතක නොකළ යුතුය.
මව්වරු විදේශ රැකියා සඳහා යන කාරණාවේ දී, පවුල තුළ ඇති එවැනි ධනාත්මක කාරණා පිළිබඳව සමාජයේ කතිකාවක් ඇති නොවීම ද තවත් කණගාටුදායක තත්ත්වයකිි.
මෙවැනි තීරණ මඟින් මූලික මානව හිමිකම් කඩවීමක් සිදුවන අතරම, කාන්තාවන්ට එරෙහිව සියළු වෙනස්කම් පිටුදැකීමේ ජාත්‍යන්තර ප්රඥප්තියෙන් ද, සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම පිළිබඳ වූ ජාත්‍යන්තර සම්මුතියෙන් ද ආරක්ෂාවන හිමිකම් ද විශේෂයෙන් තමන්ට කැමති රැකියාවක් කිරීමට ඇති හිමිකම උල්ලංඝණය වීමක් සිදුවේ. දරුවකුගේ ආරක්ෂාව රැකවරණය පැත්තෙන් බැලූවද, මෙම නීතිය කිසිම අයුරකින් සාධාරණ හෝ යුක්ති සහගත නොවන්නේය. ප්‍රායෝගිකව ගත් කළ දරුවකු රැකබලා ගැනීමේ වගකීම දරුවෙකුට වයස අවුරුදු 5 වූ පමණින් අවසන් වන්නේ නැත. ඇතැම්විට දරුවන් නිසි අධ්‍යාපනයට යොමු කිරීම, අපචාරවලින් සහ අපයෝජන වලින් ආරක්ෂා කර ගැනීම යනාදී කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුවන්නේ වැඩි වශයෙන් දරුවන්ගේ ළදරු අවස්ථාවෙන් පසුවය.
එසේනම් මෙම නීතියට අනුව ප්‍රකාශ වන්නේ අවුරුදු 5 ට පසුව දරුවන් ආරක්ෂා කිරීම, පෝෂණය කිරීම, රැකබලා ගැනීම එතරම් අවශ්‍ය නොවන බවද. කාන්තාවන් ලෙස අපගේ අදහස නම් අවුරුදු 18 ට අඩු සෑම දරුවෙක්ම නිසි පරිදි රැකබලා ගැනීම දෙමාපියන්ගේ මෙන්ම රජයක, සමාජයක වගකීමක් බවයි.
මේ නිසා අදාල නීතිය කිසිසේත්ම යථාර්ථවාදී නොවන අතර කළ යුත්තේ ”පය බරවායට පිටිකර බෙහෙත් බඳින” මෙවැනි නීති රීතිවලට වඩා ගැටළුවේ සැබෑ තත්ත්වය තේරුම් ගෙන විදේශ රැකියා සදහා යන මව්වරුන්ගේ දරුවන්ගේ ආරක්ෂාව සහතික කෙරෙන ළමා ආරක්ෂක සේවාවක් කඩිනමින් ආරම්භ කිරීමයි. රටට වැඩිම විදේශ විනිමය උපයා දෙන මෙම කාන්තාවන් වෙනුවෙන් ඔවුන්ගේ දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් පාසල් අධ්‍යාපන නොකඩවා ඉදිරියට යාම සහතික කෙරෙන ළමා සුරක්ෂිත වැඩපිළිවෙලක් සඳහා ප්‍රතිපාදන වෙන් කොට රාජය සහ රාජ්‍ය නොවන සංවිධාන වලද සහය ඇතිව ගම් මට්ටමෙන් එවැනි වැඩ සටහන් කඩිනමින් ආරම්භ කිරීමයි.
අවුරුදු 5 ට අඩු දරුවන් රටේ එක් කෙලවරක ජීවත් වෙද්දී, රෙටි අනෙක් කෙළවරේ මානසිකව පීඩා විඳිමින් රාජ්‍ය සේවයේ යෙදෙන මව්වරුන් ඕනෑ තරම් රට තුළ ම සේවය කරනු ලබයි. එවැනි කාන්තාවන්ට තම දරුවා රැකබලා ගතහැකි ස්ථානයකට මාරුවක් ලබා ගැනීමට පවා ඇතැම්විට දුෂ්කර වී ඇත. එසේනම් විදේශ ගත සේවයේ නියුතුවීමට යන කාන්තාවන්ට පමණක් මෙලෙස නීති පැනවීම සාධාරණ නොවේ. ගරු ඇමතිතුමිය ඇතුළු ඔබ සියලූ දෙනාගේම අවධානය මේ සඳහා යොමුවිය යුතුව තිබේ.
හොඳ වැඩක් කිරීමේ චේතනාවෙන් වුවද, ස්ත්‍රී-පුරුෂ සමාජභාවයට හෝ කාන්තාවන්ගේ හිමිකම් වලට සංවේදී නොවී ගනු ලබන මෙවැනි තීරණ නිසා කාන්තාවන්ට හිමි අයිතිවාසිකම් වලට වැට බැඳෙන බවත්, දරුවන් රැකබලා ගැනීමේ මුළු මහත් බරම මව මත පටවන සම්ප්‍රධායික වැඩ කොටස, තව දුරටත් තහවුරු කෙරෙන බවත් සඳහත් කළ යුතුව තිබේ.
මේ රටේ දරුවන්ට අපරාධ, හිංසන, අපචාර සිදු කරන අයට නිදැල්ලේ හැසිරෙන්නට ඉඩ තබා මෙලෙස මව්වරුන්ට පමණක් වක්‍රව දඬුවම් ලබාදීම, නීතිරීති ගෙන ඒමත්, ඒවා ක්‍රියාත්මක කිරීමට පත් කරන ලද කමිටු තුළ කාන්තාවන්ගේ නියෝජනය අඩු බවත්, කාන්තාවන්ගේ ප්‍රශ්නවලට සංවේදී නොවුණු පුරුෂ පාර්ශවයක් පත් කිරීම අප තරයේ හෙළා දකිමු. මෙලෙස නීතිරීති ගෙන ඒම තුළ පසුගිය කාලයේ සහ වර්ථමානයේදීත් කාන්තාවන්ගේ අදාළ පළාතෙන් පවුල් වර්තාව ගැනීමට නොහැකි නම්, වෙනත් පළාතකින් හෝ එම වාර්තා ලබා ගෙන විදේශගත වන බවත්, Visit Visa ලබා ගෙනවිදේශ ගත වන බවද අප හොඳාකාරවම දනිමු. ඒ තුළ ඔවුනට විවිධාකාර කරදරවලට මුහුණ දීමට සිදුවන බවද බොහෝමයක් අපට ලැබෙන පැමිණිලි වල සඳහන් වී ඇත. එය අප හොඳින් දන්නා පැහැදිලි කාරණාවකි. මේ වන විටත් මෙවැනි සිද්ධීන් පිළිබඳව අප අදාළ ආයතන වලට දැනුම් දී ඇත.
මෙය තව දුරටත් න්‍රියාත්මක නොකර මේ පිළිබඳව වැඩි දුර සාකච්ඡුා කිරීමට, සංක්‍රමණික සේවය පිළිබඳ උනන්දුවක් දක්වන සංවිධාන, විදේශ සේවයේ යෙදුනු සහ සේවයේ නියුතුවීමට බලාපොරොත්තුවන කාන්තාවන් සමග සාකච්ඡුා කිරීමට සහ ඔවුන්ගේ අදහස් විමසීමට අවස්ථාවක් සලසා දෙන්නේ නම් එය වඩාත් සුදුසු බව අප මේ පිළිබඳ වගකිව යුතු සියලූ දෙනාට දන්වා සිටිනු කැමැත්තෙමු.
මේ පිළිබඳ අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේත්, ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේත්, හිටපු ජනාධිපතිනි ගරු චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියගේත්, අධිකරණ අමාත්‍ය සහ විදේශ රැකියා අමාත්‍ය ගරු තලතා අතුකෝරාළ අමාත්‍යතුමියගේත්, කාන්තා අභිවෘද්ධි ඇමතිනී ගරු චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේත්, කම්කරු අමාත්‍ය ගරු W. D. J සෙනවිරත්න ඇමතිතුමාගේත්, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සියලූ බලධාරීන්ගේත් අවධානය මෙයට යොමු කරනු ඇතැයි අප විශ්වාස කරමු.
වයලා පෙරේරා
සම්බන්ධීකාරිණී,
සංක්‍රමණික සේවකයින් සඳහා වන කි‍්‍රයාකාරී ජාලය