Sumabima Supplement : අසන්ධිට වඩා පීඩා විඳින කාන්තාවෝ ඉන්නවා

මූලාශ්‍රය: සමබිම 

සියලු දේශපාලනික අර්බුද, ත්‍රස්ත ප්‍රහාර කෙළවර කිසිදු බේදයකින් තොරව කාන්තාව පීඩාවට පත්ව ඇති බව මෙම සමාජ දේහය මැනවින් නීරික්ෂය කරන්නෙකුට පෙනී යයි. මෙවර සමබිමක ඇය තුළින් ‘ඇය’ ගැන කතා කිරීමට රංගනී ශිල්පිණි නිල්මිණි සිගේරා සමබිම හා එක්වුවාය. 

නිල්මිණි සිගේරා, රංගන ශිල්පිණී

අසන්ධිමිත්තා කියන්නේ සංකීර්ණ වගේම සුවිශේෂි චරිතයක්. චිත්‍රපටය සමඟ රට වටා සංචාරය කිරීමේදී ප්‍රේක්ෂකයා අසන්ධි තේරුම් ගැනීම සම්බන්ධ ඔබේ අත්දැකීම කුමනාකාරද?
වේදිකාවේ නාට්‍ය එක්ක කාලයක් වැඩ කරල තිබුණත් සිනමාව එක්ක මට ගනුදෙනුවක් තිබුණේ චිත්‍රපට නරඹන්න තිබෙන තද කැමැත්ත එක්ක විතරයි. නමුත් හඳගම අසන්ධිමිත්තා වගේ චරිතයක් මට යෝජනා කරද්දි ඒක සුවිශේෂි වුණා. මම මට හැකි උපරිමයෙන් අසන්ධිව තේරුම්ගත්තා. අසන්ධි කියන්නේ චිත්‍රපට හතර පහක රඟපෑවා වගේ වැඩක්. මොකද ඒ චරිතය ඇතුලේ එච්චරටම කරන්න වැඩ තිබුණා. මම නොවී වෙන කෙනෙක් අසන්ධි කළා නම් ඒත් ඒක වෙන විදියකට කරන්න ඉඩ තිබුණ බවයි මගේ අදහස. කොහොම නමුත් නරඹපු අය බොහෝ දෙනෙක් අසන්ධිව විවිධ විදියට තේරුම් ගෙන තිබුණ වගේම හරියටම ඒක ග්‍රහණය කර නොගත්ත අයත් හිටියා. නමුත් චිත්‍රපටය නරඹපු හැමදෙනාගෙන්ම වගේ ඉතාම හොඳ ප්‍රතිචාර අසන්ධිටත් අසන්ධිමිත්තා චිත්‍රපටයටත් ලැබුණා.

අසන්ධි කියන්නේ ශරීරයේ විශාලත්වය නිසා පීඩාවට පත්වුණ ගැහැනියක්. ශරීරය, වර්ණය, ඇඳුම, ආගම, ජාතිය කියන ඕනෑම බෙදීමක අවසානයේ විශේෂයෙන්ම සමාජ යටි පෙළේ ගැහැනුන් මතට විශාල පීඩනයක් යෙදෙනවා.

ඔව්, විශාල ස්ථුල ශරීරයක් ඇති ගැහැනියක් විදියට අසන්ධි දිහා සමාජය බලන විදියක් තියෙනවා. ඒ හරහා ඇය අත්විඳින පීඩනයක් තිබෙනවා. මම හිතන්නේ අසන්ධි විතරක් නෙවෙයි අපේ රටේ බහුතරයක් කාන්තාවන් ඔබ කිව්ව පීඩනයේ ගොදුරක්. ඒ පීඩනය අපි එක එක්කෙනා විවිධ මට්ටමින් දරාගෙන ඉන්නවා කියලයි මම හිතන්නේ. ගැහැනුන්ට සම තැන හෝ නිසි තැන ඉල්ලලා කෑ ගැසීමෙන් පමණක් මේ පීඩනයෙන් මිදෙන්න හැකියාවක් නැහැ. සමහර වෙලාවට කෑ නොගසත් අපිට පුළුවන් ගැහැනු විදියට අපේ අයිතිවාසිකම් දිනාගත හැකි ක්‍රියාමාර්ගයන්ට එළැඹෙන්න. දැන් මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුම සම්බන්ධයෙන් විශාල කතා බහක් සහ නීති ගෙන ඒමක් සිදුවුණා. අපිට උපසංස්කෘති තියෙන්න පුළුවන් නමුත් රටකට තියෙන්නෙ එක නීතියයි. අපි හැමෝම පාලනය වෙන්න අවශ්‍ය ඒ නීතියෙන්. සිංහල වුනත් දෙමළ වුනත් මුස්ලිම් වුනත් කාන්තාවක් වුනත් නැතත් ඒ නීතිය අපි හැමෝටම පොදුයි. මුස්ලිම් කාන්තාවන්ගේ ඇඳුමට අදාළව ගෙනාපු නීතියට පිටින් ඒ අයට වගේම සිංහල අයට වැඩ කරන්නත් බැහැ. ඔසරිය ඇඳලා සාරි පොටින් ඔළුව වහන්න කියල ඒ අයට කියන එක වැරදියි. අපේ ආගමික ඇඳහිලි විශ්වාස අනුව නෙවෙයි රටක් තුළ පාලන කටයුතු සිදුවෙන්නෙ. ඇඳුමෙන් තමන්ගේ වාර්ගික අනන්‍යතාවය පෙන්වීම වරදක් නෙවෙයි, හැබැයි එයින් රටේ පොදු නීතිය ඉක්මවන්න බැහැ. ඒ වගේම අනිත් අය තුළ විශ්වාසය ඇති කරන්නත් අනෙකාට ගරු කරන්නත් සෑම කෙනෙක්ටම වගකීමක් තිබෙනවා. මුළු ශරීරයම වැහෙන්න ඇඳුමක් ඇන්දම කොහොමද තමන් ඉදිරියේ ඉන්න කෙනා තුළ විශ්වාසයක් ඇති කරවන්නේ? ඒ නිසා මෙවැනි දේවල් හරහා ගැහැනුන් මතට යොදන පීඩනයෙන් මිදෙන්න සෑම ගැහැනියකටම අයිතියක් වගේම හැකියාවක් තිබෙන බවයි මම විශ්වාස කරන්නෙ.

පාස්කු ඉරිදා ප්‍රහාරයත් සමඟ සංහිඳියාව කොහෙද කියල ඇතැම් අය අහන්න ගත්තා. ඇත්තටම ඒ සංහිඳියා වැඩපිළිවෙළ ඔබට දැනෙන විදියට අසාර්ථකයිද?
සංහිඳියාව වගේ බරපතළ වචන පාවිච්චි කළාට සංහිඳියාව හදන්න පටන් ගන්න ඕන මිනිස්සුන්ගේ හිතත් එක්ක බවයි මේ සිදුවීමෙන් පෙන්නුම් කළේ. පසුගිය කාලයේ රටේ ක්‍රියාත්මක වූණ සංහිඳියා වැඩපිළිවෙළ නිසා සමහරු අකමැත්තෙන් වුනත් නිශ්ශබ්දව ඉඳලා තියෙනවා. මෙවැනි බෝම්බ ප්‍රහාරයකටත් ඉන් පසුවත් මතු පිටට එන්නේ අර හිතේ යටපත් කරගෙන තිබ්බ අකමැත්ත. ඒ නිසා මම හිතන්නේ අපිට සංහිඳියාව කියන වචනය ඉස්සරහට දාලා එක එක වැඩ කරාට වැඩක් නැහැ. තවදුරටත් ඒක මේ සමාජයට වලංගු වෙන්නෙ නැහැ. අපි හැම කෙනෙක්ම තනි තනිවත් සාමූහිකවත් අනෙකා කෙරෙහි ගෞරවයෙන් බලන, අනෙකා කෙරෙහි විශ්වාසයෙන් බලන, අනෙකාව පිළිගන්න පුළුවන් තැනකට මේ රට තල්ලු කළ යුතුයි. වෙන කවුරු හරි කියනවට අපි සාමය හදාගන්න ගියාම අපේ බයට හංග ගත්ත සුපුරුදු ගති එළියට එනවා. ඇත්ත වශයෙන්ම දේශපාලකයන් මේකට අවංක නැහැ. අපි ඉපදුණාට පස්සෙයි මේ ආගම, ජාතිය, කුලය ඔක්කොම අපේ වටේට එකතු කරගන්නේ. දේශපාලකයා හැම විටම වගේ කරන්නේ මේවා තමන්ගේ ප්‍රයෝජනය සඳහා පාවිච්චි කරමින් තමන්ගේ බලය පවත්වා ගන්න එක. ඉතින් මම හිතන්නෙ දේශපාලනයෙන් නෙවෙයි අපේ හිතත් එකක් කරන අවංක ගනුදෙනුවකින් තමයි සංහිඳියාව හැදෙන්නෙ.

පාස්කු ප්‍රහාරයෙන් පසුව ජනමාධ්‍යයේ හැසිරීම සම්බන්ධයෙන් ගත්තම මාධ්‍ය එක්ක ගනුදෙනුවක් ඇති ඔබ එය කියවා ගන්නේ කොහොමද?
මම හිතන්නේ අපි මෙහෙම කතා කරන එක පවා මේ වගේ කාලයක අනවශ්‍යයි කියල. මොකද කතා කරන්න අදහස් පළ කරන්න අයිතිය තිබුණ පළියට හැමෝම කතා කළාම වෙන්නෙ තියෙන ප්‍රශ්න තව වැඩි වෙන එක. දැන් වෙලා තියෙන්නෙත් ඒක. පාලකයන්ගේ වැඬේ මාධ්‍ය කරන්න හදන්නවා. එතකොට මාධ්‍යයට අයිති වැඬේ කරන්නෙ කවුද? මාධ්‍යට තමන් කරන කියන දේ සම්බන්ධයෙන් හොඳ ශික්ෂණයක් වගේම සීමාවක් තියෙන්න ඕන. ඒ සීමාව මොකක්ද කියන එක මාධ්‍යටම හදාගන්න පුළුවන්. නමුත් එහෙම දෙයක් පෙනෙන්න නැතිකම ඇත්තටම කණගාටුවක්.

Share the Post:

Related Posts