මූලාශ්‍රය: සමබිම
සිවිල් සමාජ ක්‍රියාධරනියක් හැටියට සන්ධානගත දේශපාලනය ඔබ තේරුම් ගන්නේ කොහොමද?
සන්ධානගත දේශපාලනය කියන්නේ මේ මහපොළොවේ යථාර්ථයක් බව අපි මුලින්ම පිළිගත යුතුයි. 2015 දී අපි නිශ්චිත වැඩපිළිවෙළක් සහිත න්‍යාය පත්‍රයක් එක්ක වැඩ කළා. එතනදි බලයට පත් කණ්ඩායම වගේම සිවිල් සමාජය හැටියට අපෙත් යම් සන්ධානගත වීමක් තිබුණා. යහපාලනය, ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාවට අදාළ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළක් එක්කයි සිවිල් සමාජය එහිදී පෙනී සිටියේ. නමුත් අද සිවිල් සමාජයේත් ඒ සන්ධානය ඒ ආකාරයෙන්ම නැහැ. 2015 අපි ඉදිරිපත් කළ වැඩපිළිවෙළින් කොටසක් මිස එය සම්පූර්ණයෙන්ම ඉෂ්ට කර ගැනීමට අපි අසමත් වූණා. විශේෂයෙන්ම 19 වන ව්‍යවස්ථා සංශෝධනය නිසා පාර්ලිමේන්තු බලතල ශක්තිමත් වීම, ස්වාධීන කොමිෂන් සභාවන්හි සක්‍රීය ක්‍රියාකාරීත්වය වගේ යහපත් දේවල් සිදුවුනත් ඔක්තෝබර් 26 දේශපාලන කුමන්ත්‍රණය තුළ තිබුණේ මේ දිනාගත් දේවල් ආපස්සට හැරවීමේ උත්සාහයක්. ඒ ව්‍යවස්ථා විරෝධී, ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවට විරෝධය පළ කරමින් සුළු ජන පක්ෂ රාශියක් ආණ්ඩු පක්ෂය සමඟ සන්ධානගත වනු අපි දුටුවා. ඒ කුමන්ත්‍රණය සඳහා මූලිකත්වය ගත් ප්‍රධාන දේශපාලන පක්ෂයක් වන පොදු ජන පෙරමුණෙන් මේ වන විට නිල වශයෙන් ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් යෝජනා වී තිබෙනවා.
කෙසේ නමුත් සිවිල් සමාජය හැටියට මේ සන්ධානගත වීම් අපට වැදගත් වෙන්නේ මානව හිමිකම්, සහජීවනය, විවිධත්වය. අයිතිවාසිකම් ආරක්ෂා කර ගැනීම වෙනුවෙනුයි. නමුත් දේශපාලන තලයේ අපි අත්දකිමින් ඉන්නේ ඡන්ද වෙනුවෙන් වන සන්ධානගත වීම්. එතනදි සිංහල බෞද්ධ ජාතිකවාදය, ආධිපත්‍යයික නායකත්වයන් මත පදනම්ව සාමාන්‍ය ජනතාව ඒ වටා ඒකරාශි වීමට පෙළෙඹෙනවා. නමුත් එවැනි පාලනයක ප්‍රතිවිපාක අපි 2005 සිට 2015 දක්වා අත්වින්දා. ඒ නිසා මේ සන්ධානගත දේශපාලන වටපිටාවේ අපි ඉතාම අවදියෙන් සිටිය යුතුයි, ප්‍රධාන දේශපාලන පක්ෂ කවුරුන් සමඟද සන්ධානගත වෙන්නේ? කුමක් අරඹයාද සන්ධාන ගත වෙන්නේ? ඔවුන්ගේ වැඩපිළිවෙළ කුමක්ද සහ ඒ අපේක්ෂකයා කෙතෙක්දුරට මහජන අභිලාෂයන් සාක්ෂාත් කිරීම වෙනුවෙන් පෙනී සිටිනවද කියල.
ජනාධිපතිවරණ අපේක්ෂකත්වය වෙනුවෙන් යෝජනා වූ වගේම ඒ සඳහා නම් කියවෙන බොහෝ අපේක්ෂකයන් ආගම්වාදය, ජාතිවාදය පදනම් කරගත් මැතිවරණ ප්‍රචාරයකයි නිරත වෙන්නේ. මේ ප්‍රවණතාවය ඔබ දකින්නේ කොහොමද?
මෙතන තිබෙන මූලිකම ප්‍රශ්නය අපේ ඡන්ද ක්‍රමය. අපේ දීර්ඝ කාලීන අත්දැකීම තමයි ඡන්දයෙන් ඡන්දයට එක කණ්ඩායමක් තව කණ්ඩායමක් පෙරළගෙන බලයට පත්වෙනවා. එතනදි අනෙකා පෙරළා ඉදිරියට ඒම වෙනුවෙන් ජාතිය, ආගම, කුලය, පන්තිය වගේ සාධක බරපතළ විදියට අපේ දේශපාලනය තුළ යොදාගන්නවා. මේ අයගේ දේශපාලන ක්‍රියාකාරීත්වය, ඔවුන්ගේ අරමුණු, ඔවුන් මොනවද කියන්නේ මේ කිසිවක් සොයා බැලීමකින් තොරව එක් එක් කණ්ඩායම් ජයග්‍රහණය කරවීම වෙනුවෙන් තමයි මහජනතාව වැඩ කරන්නේ. පසුගිය ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය සමඟ මුදලට පිල් මාරු වෙන, තමන්ට ඡන්දය දුන් මහජනතාවගේ අභිලාෂයන්වලට පයින් ගහන පාර්ලිමේන්තුවක් අපි දැක්කේ. දේශපාලන පක්ෂ, දේශපාලකයන් තමන්ගේ කාර්ය භාරය පැත්තකින් තියල ඡන්දය වෙනුවෙන් මෙවැනි මාතෘකා තෝරා ගැනීමට පෙළඹීමට නිසි පිළිතුරු දිය යුත්තේ මේ රටේ ජනතාව. මන්ද යත් දේශපාලකයාගේ වගවීම ප්‍රශ්න කරන මහජනතාවක් අවශ්‍යයි සහ ඒ හැකියාව මහජනතාවට තිබෙනවා. ඒ නිසාම තමයි කාන්තා ව්‍යාපාරය හැටියට අපි උද්ඝෝෂණය කළේ සාදාචාරාත්මක දේශපාලනයක අවශ්‍යතාව අවධාරණය කරමින්. අද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයක් ඇත්තටම තහවුරු කර ගන්නේ කොහොමද කියන ප්‍රශ්නය අපි ඉදිරියේ බරපතළව තිබෙනවා.
ජනප්‍රියවාදී නායකත්වයන් ඉස්මතු වීමක් පෙනෙන්න තිබෙනවා. නමුත් මේ ජනප්‍රියවාදය ජනතාවගේ ඇත්ත ප්‍රශ්න කොයිතාක් දුරට නියෝජනය කරන්න සමත් කියල ඔබ හිතනවද?
ජනප්‍රියවාදී නායකයන් බිහිවීම ලෝක ප්‍රවණතාවයක්. නමුත් අපි මේ දේශපාලනය තේරුම් ගන්න ඕන අපේ භූමිය තුළ ඉඳිමින්. ජනප්‍රිය වෙන්න මොනවද මේ අය කරන්නේ කියන දේ ගැන අපි පුරවැසියෝ විදියට අවධානයෙන් සිටිය යුතුයි. ගෙවල් කීයක් හදනවද? ඉඩම් කොච්චරක් දෙනවද? කියන පොරොන්දු දේශපාලනයක් එක්ක මිස මේ රටේ උතුරේ දකුණේ මිනිස්සු මුහුණ දෙන ඇත්ත ප්‍රශ්න ආමන්ත්‍රණය කරල නෙවෙයි මේ අය ජනප්‍රියවෙලා තියෙන්නෙ. ඇත්ත ප්‍රශ්න ජනප්‍රිය නැහැනේ. එහෙම නම් අපේ ඡන්දය ඩැහැ ගැනීම වෙනුවෙන් ඔවුන් වඩාත් ජනප්‍රිය දේවල් කරමින් ඉන්නවා. ආගම්වාදය ජාතිවාදය එක්කයි මේ ජනප්‍රියවාදය අත්‍යන්තයෙන්ම ගැටගැහිලා තියෙන්නෙ. මැතිවරණ සමයක ඉදිරියට එන මේ ජනප්‍රියවාදය අපේ වගේ රටක ඉතාම භයානක වෙන්නේ ඒ නිසා. දැන් මාධ්‍ය විසින් මේ මොහොතේ ප්‍රචාරය කරමින් ඉන්නෙ කුමක්ද? අසත්‍ය ප්‍රවෘත්ති දිගින් දිගටම වාර්තා කරමින් මාධ්‍ය ජනතාවගේ මනසට කාවද්දනවා ඒවා සත්‍ය බව. වෛද්‍ය ෂාෆිගේ කතාව තමයි මේකට හොඳම උදාහරණය. අධිකරණයෙන් ඔහු ඇප ලබා නිදහස් වෙනකොටත් අපේ මාධ්‍ය නැවත නැවත එකම ආකාරයට ඔහුට චෝදනා කරමින් සිටිනවා. ඉතින් අපි පුරවැසියෝ විදියට මේ ජනප්‍රියවාදී නායකත්වයේ හැසිරීම්, ප්‍රකාශ, පොරොන්දු පිළිබඳව සවිඥානික විය යුතුයි. ඇත්තෙන්ම හුදු ජනප්‍රියවාදයට නෙවෙයි අපේ ඡන්දය අපි පාවිච්චි කළ යුත්තේ.
සිවිල් සමාජය හැටියට දැනට ජනාධිපතිවරණයට නම් කර තිබෙන සහ නම් කිරීමට නියමිත අපේක්ෂකත්වය තුළින් මොනවද අපේක්ෂා කරන්නේ?
පොදුජන පෙරමුණෙන් මේ වන විට තමන්ගේ අපේක්ෂකයා කවුද කියල ප්‍රකාශ කරල තිබෙනවා. නමුත් මේ නම් වෙලා තිබෙන්නේ පවුල් බලයක් හරහා ඉදිරිපත් කරන අපේක්ෂකයෙක්. ඒ පක්ෂය තුළ එක පවුලක් කේන්ද්‍රකර ගත් බලයක් නියෝජනය වෙන්නේ. ඒ අපේක්ෂකයා පොදු මහජන අභිලාෂයන් වෙනුවෙන් පෙනී ඉඳීමකට වඩා පවුලේ අපේක්ෂාවන් වෙනුවෙන් පෙනී සිටීමකුයි පෙනෙන්න තිබෙන්නෙ. මේ අපේක්ෂකයා ප්‍රජාතන්ත්‍රවාදය, පාර්ලිමේන්තු බලතල ශක්තිමත් කිරීම, මානව හිමිකම් රැකීම ගැන, දෙමළ ජනයාගේ ප්‍රශ්නය ගැන කතා කරන්නේ නැහැ. අනෙක් පැත්තෙන් එක්සත් ජාතික පෙරමුණ තමන්ගේ අපේක්ෂයා කවුරු විය යුතුද කියල එක්සත් ජාතික පෙරමුණ විදියට තීරණය කළ යුතුයි. ඒ වගේම එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සුළු ජාතික පක්ෂවල අභිලාෂයන් ද නියෝජනය වන අපේක්ෂකයෙක් නම් කළ යුතුයි. සිවිල් සමාජය පෙනී ඉන්නේ පොදු අරමුණක් වෙනුවෙන්. 2015 ඉදිරිපත් කළ ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙළ ඇතුළත් න්‍යාය පත්‍රයේ තව බොහෝ දේවල් කිරීමට තිබෙනවා. සිවිල් සමාජයට එය ඉටු කරවා ගැනීම වෙනුවෙන් තවදුරටත් කේවල් කර ගැනීමට සිදුවේවි. ඒ සඳහා පක්ෂය හෝ අපේක්ෂකයා කවුරු වුවත් ප්‍රජාතන්ත්‍රීය මූලධර්මවලට ගරු කරන අපේක්ෂකත්වයක් පමණයි අපි බලාපොරොත්තු වෙන්නෙ.
මෙවර සමබිමක ඇය සංවාදය වෙනුවෙන් එක්වන්නේ සිවිල් සමාජ ක්‍රියාධරනි කුමුදුනී සැමුවෙල්ය.මෙහි පළවන්නේ ඇය සමඟින් ජයනි අබේසේකර කළ සංවාදයේ සංක්ෂිප්ත සටහනකි.