ආර්ථික අවපාතය හමුවේ පීඩාවට පත්ව ඇති සංක්‍රමණික සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කරමුු.

2022 දෙසැම්බර් 18 දිනට යෙදෙන ජාත්‍යන්තර සංක්‍රමණික දිනය අපි මෙසේ සමරමු.

මේ අප සමරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2000 වසරේදී නම් කරන ලද සංක්‍රමණික සේවකයින්ගේ විසි තුන්වන ජාත්‍යන්තර සංක්‍රමණික දිනයයි. රටේ ආර්ථික සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙන සංක්‍රමණික සේවකයින් අගයමින් අප සෑම වසරකම ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරන්නෙමු. සංක්‍රමණික සේවකයින්ගේ අයිතිවාසිකම්, මානව හිමිකම් වශයෙන් සැලකිය යුතු බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කර ඇතග එම අවධාරණය පිළිගනු ලැබූ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන් විසින් සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ අයිතිවාසිකම් පිළිබද ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර ජාත්‍යන්තර වශයෙන් බලාත්මක කර ඇතග ශ්‍රී ලංකාව ද මෙම ජාත්‍යන්තර සම්මුතියට අත්සන් කර ඇති අතර එමගින් එම සම්මුතිය යටතේ පිළිගෙන ඇති සංක්‍රමණික ශ්‍රමික අයිතිවාසිකම් දේශීය වශයෙන් ද පිළිගන්නා බව තහවුරු කර ඇතග එසේ වූවත් එකී සම්මුතිය මගින් පිළිගෙන ඇති සියළු අයිතිවාසිකම් දේශීය වශයෙන් බලාත්මක කර නැති බව මෙන්ම එකි ඇති යම් යම් ප්‍රතිපාදන ශ්‍රී ලාංකික සංක්‍රමණික ශ්‍රමිකයන් වෙත ආදේශ කරලීමට අදාල නීතිමය ප්‍රතිපාදන ද තවමත් සකසා නැති බව ද අවධාරණය කළ යුතුයග එසේම අයිතිවාසිකම් හා බැදුනු වගකීම් ද පුරවැසියන් වන සියළු දෙනා වෙත ඇති බව ද අපි අවධාරණය කරන නමුත් පුරවැසි අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමකින් තොරව පුරවැසි වගකීම් ඉටු කිරීමට පුරවැසියන්ට ශක්තිය සහ විශ්වාසය ගොඩනැගෙන්නේ නැති බව පෙන්වා දිය යුතුය.

ශ්‍රී ලංකාවේ ආර්ථිකය සංවර්ධනයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙනු ලබන්නේ සංක්‍රමණික සේවකයින් ගේ ඉපැයීම් වලින් ලැබෙන විදේශ විනිමයෙනි. එය පසුගිය වර්ෂ වල දී ඇමරිකන් ඩොලර් බිලියන 7කට ආසන්න විය. කොවිඩ්-19 වසංගතයේ බලපෑමෙන් ද ඉන් පසුව ඇති ව පවත්නා ආර්ථික පරිහානියෙන් ද ඉතාම අහිතකර බලපෑමකට ලක් වූ ආර්ථික අංශයක් වන්නේ විදේශ සේවා නියුක්ති අංශයයිග ශ්‍රී ලංකා ආර්ථිකයට සේවා අංශයෙන් ඉහලම දායකත්වයක් ලබාදුන් විදේශ සේවා නියුක්ති අංශයේ නියැලි සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සේවා නියුක්ති ඉඩ ප්‍රස්ථා ක්ෂණිකව හෝ ඉතා සුළු කාල පරාසයක් තුල දී අහිමිව ගිය අතර එහි බලපෑමෙන් සංක්‍රමණික ශ්‍රමිකයන් ද ඔවුනගේ පවුල්වල සාමාජිකයන් ද ඉතා අසරණභාවයට පත් වූහග වර්තමානයේ දී රටේ බිද වැටී ඇති ආර්ථිකය හමුවේ ඔවුන්ගේ වෘත්තීන් හී නිශ්චිතභාවයක් සහ සුරක්ෂිතභාවයක් නොමැත. එම නිසාම අප සංක්‍රමණික සේවකයින්ගේ වෘත්තීය සුරක්ෂිතභාවය තහවුරු කර ගැනීමට කටයුතු කිරිම මේ අවස්ථාවේ ප්‍රමුඛතාවය දිය යුතු අවශ්‍යතාවයක් වන අතර එය බිදවැටුන ආර්ථිකය නැවත පණ ගැන්වීමට ද ඉමහත් දායකත්වයක් දක්වනු ඇත.

2020/2021 වසරේ දී මෙන්ම 2022 වසරේදී ද සංක්‍රමණික සේවක දිනය සමරන්නට සිදුව ඇත්තේ රටේ ආර්ථිකය බිද වැටීම තුළ ඔවුන්ගේ ජීවිත පීඩාවට පත්ව ඇති වාතාවරණයක් හමුවේය. ශ්‍රී ලංකාවේ ආර්ථිකය බිදවැටී ඇති කාලයක විදේශීය සේවයේ නියුක්ත සේවකයින්ට රැකියා අවස්ථා නොමැතිවීම ඔවුනට ද රටට ද දරාගත නොහැකිය.

අද වන විට විදේශගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් නැවත විදේශ රැකියා සදහා යැවීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකා රජය මේ වන විටත් සාකච්ජා කරමින් සිටී. ඒ වගේම ඔවුන්ගේ වෘත්තීය කුසලතා වැඩි කරමින්, වෘත්තීය සදහා සුදුසුකම් කුසලතා සහතික ලබා ගැනීමට සුදුසු ක්‍රම සකස් කරමින් වඩා හොද රැකියා අවස්ථා සදහා ඔවුන්ව යොමු කිරීම රජයේ වගකීමක් බව අපි අවධාරණය කරන්නෙමු.

විශේෂයෙන්ම සංක්‍රමණික කාන්තාවන් සහ තරුණ කොටස් visit visa (කෙටි කාලින සංක්‍රමන විසා බලපත්‍ර) වලින් විදේශ ගත වී තිබුණේ ඔවුන් පෙළෙන ආර්ථික දරිද්‍රතාවයට යම් පිළිසරණක් සොයා ගැනීමේ බලාපොරොත්තුවෙන් ය. නමුත් ඔවුන්ගේ බලාපොරොත්තු කඩ වෙමින්, ඔවුන්ට විවිධ වු අකරතැබ්බයන්ට මුහුණ දෙමින් ලිංගික හිංසනයට පවා ලක්වීමට සිදු වූ සිද්ධීන් පසුගිය මාස කීපය තුළ මාධ්‍යවල වාර්තා විය. මෙම සිද්ධීන් ඛේදනීය බවට පත්වන්නේ දිනෙන් දින ඉහළ යන ජීවන වියදම යම්තමින් හෝ පියවා ගත හැකි ආර්ථික ශක්තියක් ගොඩනගා ගැනීම සිහිනයක් පමණක් වන බැවිනි.

සංක්‍රමණික සේවය සදහා නිත්‍යයානුකූලභාවහකින් තොරව හෝ විදේශ ගතවුවද, ඔවුන් ශ්‍රී ලාංකික පුරවැසියන් වන නිසා ඔවුන්ගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කිරීම රාජ්‍යයක වගකීමක් බව අප පසක් කර සිටිමු. ඔවුන් විදේශ ගතවු රටේ දී ද ඔවුන්ගේ ආරක්ෂාව පිලිබද වගවීමට යාන්ත්‍රණයක් සකස් විය යුතුය. තවද ඔවුන් උපයන ධනය ලැබෙන්නේ අපේ රටටමය.

එමෙන්ම සංක්‍රමණික සේවකයින් සදහා වඩා හොද රැකියා ලබාදීමට රජය පුළුල් ලෙස වැඩපිළිවෙලක් දියත් කළයුතුව ඇත. එමෙන්ම රටට විදේශ විනිමය උපයා දෙන මෙම සංක්‍රමණික සේවකයින්ට විශාම වැටුපක් හෝ සමාජ ආරක්ෂණ ක්‍රමයක් ස්ථාපිත කිරීම රජයේ ප්‍රධාන වගකීමක් බව අප අවධාරණය කරමු. එමෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ අනාගතය සුරක්ෂිත කිරීම සදහා තවමත් යොමු වී නොමැති වීම කණගාටුවට කරුණකි.

ආර්ථික අපහසුතා හමුවේ පීඩාකාරී තත්වයන්ට මුහුණ දී තවමත් විදේශ රටවල දුක් විඳින සංක්‍රමණික සේවකයින්ට විඳීමට සිදුව ඇති පීඩාකාරී තත්ත්වයෙන් ඔවුන් මුදවා ගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් සුරක්‍ෂිත කරමින්, ඔවුන් බලාපොරොත්තු වෙන වෘත්තිය කරගෙන යාමට අවශ්‍යය යාන්ත්‍රණයන් සහ පසුබිමක් සකස් කිරීම රජයේ මෙන්ම අප සියලු දෙනාගේම වගකීමකි. ජාත්‍යන්තර සංක්‍රමණික දිනය සමරන මෙම මොහොතේ පහත සඳහන් කර ඇති නිර්දේශ වලට අවධානය යොමු කරමින්, ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා ලෙස රජයේ අදාළ බලධාරීන්ට අපි අවධාරණය කර සිටිමු.

1 විදේශ රැකියා ක්‍ෂේත්‍රයට අදාළ සියලුම අමාත්‍යාංශ වල සහ දෙපාර්තමේන්තු ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය තුළ වගකිව යුතු ඉහළ නිලධාරීන්ගෙන් සමන්විත ජාතික උපදේශන කමිටුවක් පත්කර සංක්‍රමණික සේවකයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල වත්මන් තත්ත්වය අධීක්‍ෂණය කළයුතුය.

2 මේ වන විටත් විදේශයන්හි අතරමං වී සිටින ශ්‍රමිකයන් පිළිබදව වැඩි අවධානයක් යොමු කරමින් ඔවුන්ව නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සදහා යම් ක්‍රමවේදයක් සැකසිය යුතුය.

3 ඔවුන්ගේ වෘත්තීය සුදුසුකම් වැඩි දියුණුකර ඒ අනුව නව නිශ්චිත වූ රැකියා ලබා දීම සදහා අදාළ රටවල් සමග නීත්‍යයානුකූල ද්විපාශ්ෂික ගිවිසුම් ඇති කර ගත යුතුය.

4 නැවත විදේශගත වීමට නොහැකිව අසරණව සිටින කාන්තා ශ්‍රමිකයින් නැවත සමාජගත කරමින්, ඔවුන්ගේ ශාරීරික සහ මානසික තත්ත්වය නඟා සිටුවීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් වහා ක්‍රියාත්මක කළ යුතුය.

5 2020 අයවැය යෝජනාවකින් සම්මත වූ විදේශ ශ්‍රමිකයින් සඳහා වන විශ්‍රාම වැටුප් යෝජනාව කඩිනමින් ක්‍රියාත්මක කළයුතුය.

6 සංක්‍රමණික සේවකයින් සඳහා බලාත්මක කර ඇති සම්මුතීන් වලින් ලබා දී ඇති අයිතිවාසිකම් දේශීය නීති මගින් බල ගැන්වීම සදහා අවශ්‍ය නීති ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය කල යුතුය.

7 සංක්‍රමන සේවය සදහා ඩිජිටල් වේදිකාව නිර්මාණය සහ භාවිතය කඩිනම් කිරීම මෙන්ම එහි ඇති දත්ත වල සුරක්ෂිතතාවය තහවුරු කිරීමට ක්‍රම සැකසීමග

8 ව්‍යවසායකත්ව සංවර්ධනයන් සදහා අත්වැලක් නිර්මාණය කිරීමග

9 සංක්‍රමණික සේවකයින්ගේ සහ ඔවුන්ගේ දූ දරුවන්ගේ අනාගතය සුරක්‍ෂිත කරනු පිණිස බිම් මට්ටමේ සිට රාජ්‍ය නිළධාරීන්ගේ ද නියෝජනයක් සහිතව ස්වේච්ජා සංවිධාන, සිවිල් සංවිධාන, ස්ත්‍රී සංවිධාන, මානව හිමිකම් සංවිධාන, වෘත්තීය සමිති සහ සංක්‍රමණික සේවකයින් ද ඇතුළත් වන කමිටු ජාතික සහ ප්‍රාදේශීයව වහා ස්ථාපිත කළ යුතුය. සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයනගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමෙහි ලා පවතින රාජ්‍ය ප්‍රතිපත්තීන් ද නීතිමය විධිවිධානයන් ද ආයතනික ක්‍රියාදාමයන් ද නිසි පරිදී ක්‍රියාත්මක වන බව අධීක්ෂණය කිරීම සහ සහතික කරලීමේ සදහා එකී කමිටුවල සෘජු දායකත්වය ලබා ගත යුතුය

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (Women and Media Collective)
ලෝයර්ස් බියොන්ඩ් බෝඩර්ස් – ශ්‍රී ලංකා (Lawyers beyond borders Sri Lanka)
ජාතික කම්කරු සංගමය (National Workers Congress)
සංක්‍රමණික සේවා මධ්‍යස්ථානය (Migrant Service Center)
සංක්‍රමණික සේවකයින් සඳහා වන ක්‍රියාකාරී ජාලය (ACTFORM)

මෙතනින් බාගන්න