සමබිම: ආණ්ඩුවේ බෙදීම් රට පසුගාමීත්වයකට අරන් යනවා

මූලාශ්‍රය: සමබිම

කම්කරු ප්‍රජාවන් එක්ක දීර්ඝ කාලයක් වැඩ කරල තිබෙන ඔබේ අත්දැකීම අනුව මේ අයගේ ප්‍රශ්න සම්බන්ධයෙන් දේශපාලනික මැදිහත් වීම කෙබඳුද?

මගේ අදහස නම් හැම ආණ්ඩුවක්ම කම්කරුවෝ පාවිච්චි කළා. 1978 යූඑන්පී ආණ්ඩුව නිදහස් වෙළෙඳ කලාප ඇති කරන්නෙම වෘත්තිය සමිති තහනම් කිරීමත් එක්ක. ඒ නිසාම වෘත්තීය සමිති අයිතිවාසිකම තහවුරු කර ගන්න කම්කරු ප්‍රජාවට තවත් කාලයක් ගියා. මහින්ද රාජපක්ෂ කම්කරු ඇමති විදියට වැඩකරද්දි අපි හිතුවේ කම්කරු ප්‍රඥාප්තියක් ගෙන ඒවී කියල. නමුත් ඒවා සිද්ධ වුණේ නැහැ. අදටත් හැම ආණ්ඩුවකින්ම එක එක නීති ගෙනත් කම්කරුවන්ව මර්දනයට ලක් කරනවා. රාජ්‍ය සේවයට අදාළවත් නම්‍යශීලි වැඩ පැය සම්බන්ධයෙනුත් නව පනත් එනවා. නමුත් මේවා කොයිතරම් කම්කරුවා ගැන සංවේදීද කියන ප්‍රශ්නය අපට තිබෙනවා. කම්කරු නීතියේ තියෙන්නෙ පැය අටක සේවා කාලයක්. අතිකාල කැමත්ත අනුව කළ හැකියි. නමුත් කම්කරුවන් කැමැත්තෙන් අතිකාල කරනවට වඩා බලහාත්කාරයෙන් කරවීමකුයි තියෙන්නෙ. ඔවුන්ගේ සේවා පැය 12- 15ක් පමණ දිගුයි. මේ කම්කරුවන් වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වුණ අය. ඒ නිසාම මොවුන්ට සැඟවුණ වියදම් තිබෙනවා. ගමට යන්න, දෙමව්පියන් දරුවා බිරිඳ බලන්න, මරණයකට මඟු‍ලකට යන්න මේ අය වියදමක් දැරිය යුතුයි. අවුරුදු ගණනන් වෙනත් ප්‍රදේශවලින් සංක්‍රමණය වෙලා හිටියත් මොවුන් ඒ ප්‍රදේශයේ ලියාපංදිංචි කරගෙන නැහැ. ඒ නිසා පළාතේ සිදුවන මොනයම් හෝ උවදුරකදී හිමිවිය යුතු කිසිවක් මේ අයට ලැබෙන්නෙ නැහැ. කාලපය ඇතුලේ විශාල අර්බුදවලට, රෝගවලට, ලිංගික සූරා කෑමට මොවුන් ලක්වෙනවා. නමුත් මේ රටේ අපනයන ආදායම උපයන ප්‍රධාන පිරිසක් වුන කම්කරුවාගේ අයිතිවාසිකම් තහවුරු කරන්න කිසිම ආණ්ඩුවක් ප්‍රමාණවත් අවධානයක් යොමු කරල නැහැ.

උතුරේත් දකුණේත් කම්කරු ප්‍රජාවන් අතර බහුතරයක් යුද වින්දිතයින්. මේ අයගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න ලංකවේ දැනට ක්‍රියාත්මක සංහිඳියා වැඩපිළිවෙළ කොයිතරම් දුරට සමත් වෙලා තිබෙනවද?

සංහිඳියා කාර්ය සාධක බලකායේ හිටපු සාමාජිකාවක් විදියටත් ඒ ක්‍රියාත්මක වුණ වැඩපිළිවෙළ ඇතුලේ අපේ අවධානය බරපතළව යොමු වුණා උතුරේ යුද වැන්දඹු කම්කරු කාන්තාවන් වගේම දකුණට සංක්‍රමණය වුණ යුද වින්දිත කම්කරුවන් පිළිබඳවත්. අපි සතුටු වෙනවා අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාල මේ වන විට ස්ථාපිත කර තිබීම ගැන. නමුත් ප්‍රායෝගිකව මේවා ක්‍රියාත්මක වීමේ ගැටලු‍ තිබෙනවා. අපි දන්නවා වරදකරුවන්ට දඬුවම් දීමේ ක්‍රමවේදයක් තවම ස්ථාපිත වෙලා නැහැ. වින්දිතයින්ට වහ වහා වන්දි ලබා දිය යුතුයි. නමුත් හානිපුරණ කාර්යාලයට තවමත් ඒ සඳහා කටයුතු කරන්න බැරිවෙලා තිබෙනවා. මේ ආණ්ඩුවේ තිබෙන පරස්පරතාවයන් තමයි මම දකින විදියට මේ පසුගාමීත්වයට හේතුව. මේ වින්දිතයින්ගේ මුලිකම කාරණයක් භාෂා ප්‍රශ්නයට විසඳුමක් දෙන එක. මේ භාෂා ප්‍රශ්නය නිසා විශාල ප්‍රශ්නවලට මුහුණ දුන්න ළමයි මේ කලාපයේ ඉන්නවා. උතුරේ කම්කරුවන්ට අවම වැටුපවත් හිමිවෙන්නෙ නැහැ. විශේෂයෙන්ම උතුරේ ඇතැම් ෆැක්ටරිවල කාන්තාවන්ගේ මාසික ඔසප් වීම ප්‍රමාද කරන්න පෙති ලබා දීම් සිදුවෙනවා. සිංහල ළමයින්ට වඩා බරපතළ ටාර්ගට් දෙමළ ළමයින්ට දෙන අවස්ථා මේ ෆැක්ටරිවල තිබෙනවා. මුස්ලිම් අන්තවාදී ක්‍රියාකලාපය එක්ක කලාපයේ වැඩකරපු මුස්ලිම් ළමයින්ට යන එනමං නැති වුණා. එතනින් එළියේ ඉඳන් අපි සංහිඳියාව ගැන කතාකරනවා. ඒ නිසා මේ සිදුවන සංහිඳියා ක්‍රියාදාමයේ පසුවිපරමක් අවශ්‍ය බවයි මගේ නම් අදහස.

රටේ සංහිඳියාවට සහ ආර්ථීක සංවර්ධනයට වෙන වෙනම වැඩසටහන් ක්‍රියාත්මක වුනත් සංහිඳියවෙන් තොර ආර්ථීක සංවර්ධනයක් අත්පත් කර ගන්න පුළුවන්ද?

සංහිඳියා කාර්ය සාධක බලකාය, එල්එල්ආර්සී වාර්තාව වගේ වරින් වර පත් කරපු කොමිෂන් සභාවල වාර්තා අරන් බැලු‍වොත් පේනවා මේ දෙක එකට ගමන් කළ යුත්තේ ඇයි කියල. මේවා ඇතුලේ තියෙන්නේ මේ රටේ ආර්ථීක සංවර්ධනට අදාළ කලාපයන්. සංහිඳියාව ස්ථාපිත කිරීමට අපි හරියට වැඩකළා නම් ආර්ථීක සංවර්ධනය නිකන්ම දිනාගන්නවා. කලාපයේ අද ඉන්න තරුණ තරුණියෝ තව අවුරුදු කීපෙකින් ගමට ගියාම ඔවුන්ට මොනවද කරන්න පුළුවන්? දන්නේ කොලර් එකක් බටන් එකක් අල්ලන්න විතරයි. සම්පූර්ණ ඇඟලු‍මක් කරන්න ඔවුන් ඉගෙන ගෙන නැහැ. එහෙම වෙලා ගමට යද්දි ගමේ කෘෂි කර්මාන්තෙත් කඩන් වැටිල නම් අපිට හිතන්න වෙනවා අපි මේ වැඩපිළිවෙළවල් හරහා කරමින් ඉන්නේ මොකක්ද කියල.

ජාතික ජනබලවේගය වේදිකාවට ගොඩවෙන්න හිතුවේ ඇයි?

මම හිතුවා ජවිපෙ එක්ක සදාකාලික වෛරයක් ජනතාවට තියෙන්න ඕනද කියල. අපි ලක්බිමේ මව්වරු කියල සංවිධානයක් කාලයකදී හදාගත්තා. ඊටත් පස්සේ නිදහසේ වේදිකාව හදාගත්තා. නමුත් මේ තැන්වල තිබුණ ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවර සම්බන්ධව අපිට යම් යම් ගැටලු‍ තිබුණා. මිනිස්සුන්ට කතාකරන්න, නිදහසේ එළියට බහින්න මේ ආණ්ඩුව ඇතුලේ අපිට අවස්ථාව ලැබුණ බව ඇත්තක්. මේ වන තෙක් මේ හැර වෙනත් විකල්පයක් අපිට දකින්න නැති බවත් ඇත්තක්. නමුත් එක එක තීරණාත්මක අවස්ථාවල දේශපාලනික වශයෙන් අපි දරපු ආස්ථානයන් පොදු සමාජීය අරමුණු සමඟ වෙනස් වුණා. ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ වෙනුවෙන් වන අපේ පෙනී සිටීම ඒ කිසිම අයුරකින් වෙනස් වෙලා නැහැ. මේ සියලු‍ තත්ත්වයන් එක්ක මම හිතුවා ඔවුන්ගේ නව දේශපාලන ප්‍රවේශය පිළිබඳවත් අවබෝධයකින් කටයුතු කිරීම සුදුසු බව. විශේෂයෙන්ම ජවිපෙ, රාජ්‍ය නොවන සංවිධානවල කණ්ඩායම් සමඟ එක්ව වැඩකරන්න පෙළඹීම දෙසම අපි සුබවාදීව බැලිය යුතුයි.
සංවාද සටහන – ජයනි අබේසේකර