කාන්තාව කිසිම විටෙක අරගලය අත්හැරියේ නැහැ
503 වන සමබිම ඉරිදා අතිරේකයට ප්‍රවීන මාධ්‍ය වේදිනී සීතා රංජනී සමග සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි.
රටේ ඇති වූ දේශපාලන කුමන්ත්‍රණය අද පරාජය වී තිබෙනවා. සමාජ ක්‍රියාකාරිනියක් ලෙස මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොමද?
ඔක්තෝබර් 26 වැනිදා මේ රටේ ඇති වුණේ ප්රජාතන්ත්රවාදී හරයන් අගයන, එයට ගරු කරපු පුරවැසියන් කිසිවෙකුට දරාගත හැකි දෙයක් නොවෙයි. මීට පෙර හිටපු ජනාධිපතිවරුන්/වරියන් ඒකාධිපති ලෙස කටයුතු කර තිබුණත් මෙවන් කුමන්ත්‍රණයක් මා දන්නා දේශපාලන ඉතිහාසය තුළ සිදුවී නැහැ. මීට පෙර හිටපු ජනාධිපතිවරු ව්‍යස්ථානුකූලව තමන්ට ලැබී තිබූ බලයයි අයුතු ලෙස යොදා ගත්තේ. නමුත් මෙවර එය සිදුවෙන්නේ ජනාධිපතිවරයාට ව්‍යවස්ථානූකූලව නොතිබූ බලයක් යොදා ගනිමින්. ඔක්තෝබර් 26 සිට ගෙවී ගිය දින 50ක කාලය තුළ රටේ ප්රජාතන්ත්රවාදය බරපතළ ලෙස උල්ලංඝනය වූවා පමණක් නොවෙයි, මේ රටේ සෑම සියලු ක්ෂේත්රයක් කෙරෙහිම ඒ දේශපාලන කුමන්ත්‍රණය බලපෑ බවයි මගේ අදහස. ආර්ථීක වශයෙන් සිදුවූ බලපෑම මේ රටේ සාමාන්‍ය මිනිසුන්ගේ ජන ජීවිතයට බලපෑවා. විදෙස් ආයෝජනවලට වගේම සංචාරක කාර්මාන්තයටත් මේ තත්ත්වය බලපෑවා. ජාත්‍යන්තර වශයෙන් රට අපකීර්තියට පත්වීමට මේ තත්ත්වය හේතු වුණා. මේ සියල්ල සමඟ දින 50ක් වැනි කෙටි කාලයක් තුළ රට ආපස්සට ගෙනයෑමට මේ රටේ පාලකයන් කටයුතු කළා.
ඔක්තෝබර් 26 ඇරඹී ජනතා අරගලයන් අධිකරණ තීින්දුවත් සමඟ යම් ආකාරයකට ලිහිල් වූ බවකුයි පෙනෙන්න තිබෙන්නේ. ඇත්තටම අපිට දැන් අරගලය අතහැරිය හැකිද?
සිවිල් සමාජ සංවිධාන, නොයෙකු ක්ෂේත්රවල වැඩ කරන සිවිල් ක්‍රියාකාරීන්, රටේ අනාගතය පිළිබඳ අවංක කැක්කුමක් තියෙන සිවිල් පුරවැසියන් විශාල වශයෙන් රටේ ඇති කළ මේ තත්ත්වයට එරෙහිව ප්‍රබල මැදිහත් වීමක් කිරීමට ඔක්තෝබර් 26 සිට එකතු වුණා. අන් කවර කලෙකවත් අපට හමුනොවුන තරම් සමාජ කොටස් මේ ඇති වූ තත්ත්වය තුළ අරගල භූමියට එකතු වුණා. කෙසේ නමුත් මෙහි ප්රජාතන්ත්ර විරෝධීව හැසිරුණ පාර්ශ්වය අධිකරණ තීන්දුව පිළිගෙන ඒ ආකාරයෙන් වැඩකරන බවක් අද අපට පෙනෙන්නට නැහැ. රටේ ප්‍රධාන නියමුවාගෙන් වගේම තීන්දු තීරණ ගන්න ඇතැම් පාලකයන් වෙතින් දකින්න ලැබෙන්නේ අත්තනෝමතික හිතුවක්කාර හැසිරීමක්. රටක දේශපාලනික ප්‍රධානීන්ගෙන් අපට ඇසෙන්නේ කිසිසේත් අපේක්ෂා නොකළ අන්දමේ බොළඳ අදහස් දැක්වීම්. ඒ නිසාම ජනතාව විදියට පුරවැසි සංවිධාන සහ ක්රියාකාරීත්වයන් විදියට අපේ එකතුව ශක්තිමත් විය යුතු බවයි මම කල්පනා කරන්නේ. ප්රජාතන්ත්රවාදී වූත් ව්‍යවස්ථානුකූල වූත් ගමනක් යන්න පාලකයන්ට සිදුකරන බලපෑම කිසිසේත් අපි ලිහිල් කළ යුතු නැහැ. අපි ආරම්භ කළ අරගලය තුළ තාවකාලික විසඳුමක් පමණයි ලැබුණේ. ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කර ගැනීම වෙනුවෙන්, ජනතාවාදී ව්‍යවස්ථාවක් වෙනුවෙන්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ගැනීමට වගේම ජනතාවාදී දේශපාලන මාවතක් රටේ ඇති කර ගැනීම වෙනුවෙන් අපේ අරගලය වඩාත් පුළුල් කර ගැනීමත් ශක්තිමත් කර ගැනීමත් අවශ්‍යම මෙහොතකයි අප සිටින්නේ.
ඔබ පෙර කිව්ව ආකාරයටම විවිධ කණ්ඩායම් සිදුවූ ප්රජාතන්ත්ර විරෝධී ක්‍රියාවලියට විරෝධය දක්වමින් ඉදිරියට ආවා. එහි කැපී පෙනෙන පිරිසක් කාන්තාවෝ. මේ සාධනීය මැදිහත්වීම කාන්තාවක් විදියට ඔබ දකින්නේ කොහොමද?
රටේ සිදුවූ දේශපාලන, ආර්ථීක, සමාජීය මෙන්ම සංස්කෘතික අර්බුදවලදී ඉදිරියට ඇවිත් පෙනී සිටි, අඛණ්ඩව අරගල කළ විශාල පිරිසක් හිටියා. නමුත් මෙවර ඒ පිරිසට එහා ගිහින් අලුත් කණ්ඩායම් රාශියක් අරගල බිමට එකතු වුණා. ඒ අතර කැපී පෙනෙන කොටසක් කාන්තාවෝ සහ තරුණ කණ්ඩායම්. ඉතිහාසය පුරා අරගල බිම අත්නොහැර හිටපු කොටසක් කාන්තාවන් කියන්නේ. විශේෂයෙන්ම සිවිල් සමාජ ක්‍රියාකාරිනියන් බොහෝ සමාජ, දේශපාලනික අරගල මෙහෙයවාගෙන කටයුතු කරපු අය. නමුත් මේ අවස්ථාවේදී සිවිල් සමාජ ක්‍රියාකාරිනියන් වගේම කලා, මාධ්‍ය ඇතුළුව විවිධ වෘත්තීයන්හි නියැළි කාන්තාවන් හා කාන්තා කණ්ඩායම් අරගල භූමියට එකතු වීම මේ අරගලය පුළුල් හා වර්ණවත් කිරීමට සමත් වූ බවයි මගේ අදහස. ඒ වගේම මේ අයගේ අරගලය තාවකාලික මැදිහත්වීමකින් එහාට යහපත් දේශපාලන සංස්කෘතියක් රටේ ඇති කර ගැනීම වෙනුවෙන්, සදාචාරවත් දේශපාලනයක් ස්ථාපිත කර ගැනීම වෙනුවෙන් පෙළගැසිය යුතුව තිබෙනවා සහ එවැන්නක් වනු දැකීමයි කාන්තාවක් විදියටත් සමාජ ක්‍රියාකාරිනියක් විදියටත් මගේ ප්‍රාර්ථනාව වෙන්නේ.
මේ දේශපාලනික අර්බුදය සමඟ මාධ්‍යයේ හැසිරීම විශාල වශයෙන් ප්රශ්නකාරී වුණා. ජනමාධ්‍ය තමන්ගේ වගකීමෙන් බැහැර වී කටයුතු කළා. මාධ්‍යවේදිනියක් විදියට ඔබට කොහොමද මෙය දැනෙන්නේ?
රජයේ මාධ්‍ය අන් කිසිම කලකට වඩා පසුගිය ඔක්තෝබර් 26 වැනිදායින් පසුව ඉතාම නරක විදියට, ඒකපාර්ශ්වික හැසිරීමක් පෙන්නුම් කළා. අපි දන්නවා රජයේ මාධ්‍ය හැම විටම ක්‍රියාත්මක වුණේ බලයේ සිටින පිරිසට පාක්ෂිකව තොරතුරු වාර්තා කිරීම. අපිට හැමදාම තිබුණ අභියෝගය කොහොමද රජයේ මාධ්‍ය, මහජන සේවා මාධ්‍ය සම්ප්රදායක් වශයෙන් දියුණු කරගන්නේ කියන දේ. දශක ගණනාවක් අපි ඒ වෙනුවෙන් සටන් කරලත් ප්‍රතිඵලයක් ලැබීල නැහැ. මේ දේශපාලන අර්බුදය තුළත් රජයේ මාධ්‍ය පමණක් නෙවෙයි පෞද්ගලික මාධ්‍ය පවා රජයේ මාධ්‍යයට නොදෙවෙනිව තමන්ගේ දේශපාලන න්‍යාය පත්රයන්ට අනුව සිය හැසිරීම පෙන්නුම් කරමින් සිටියා. ජනතාවට ඇත්ත දැනගැනීමට තිබූ ඉඩකඩ මාධ්‍ය විසින් අහුරනු ලැබුවා. මේ අවස්ථාවේදී ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම පිළිබඳ වන සිවිල් අරගලයට මාධ්‍ය දායක නොවුණු තරම්. ඒ නිසාම අපිට සිදුවෙනවා මාධ්‍ය වගකීම් සහිත නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීම පිළිබඳ වන සටන තවත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයාමට. ■
503 වන සමබිම ඉරිදා අතිරේකයට ප්‍රවීන මාධ්‍ය වේදිනී සීතා රංජනී සමග සාකච්ඡා කර සකස් කලේ ජයනි අබේසේකර විසිනි.