මූලාශ්‍රය: සමබිම
ඔබත් සාමාජිකත්වය දැරූ සංහිඳියාව උදෙසා ප්‍රවිචාරණ කාර්ය සාධක බලකා වාර්තාවේ නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුව මේ වන විට දක්වා තිබෙන ප්‍රගතිය ගැන සෑහීමකට පත් වෙන්න පුළුවන්ද?
සම්පූර්ණයෙන්ම අපිට සෑහීමකට පත්වෙනවා කියන්න බැහැ. මොකද මේ කාර්ය සාධක බලකාය පත් කරන්නේ ආණ්ඩුව විසින්මයි. මේ ක්‍රියාවලිය ඇතුලේ සිවිල් සමාජ නියෝජිතයන් හිටියත් මේ ක්‍රියාවලිය සිදුවෙන්නෙ ආණ්ඩුවේම අවශ්‍යතාවය මත. ඒ වන විට රජය සැලසුම් කළා සතර ආකාරයකින් මේ රටේ සංහිඳියාව ගොඩනගන්න. මීටත් අතිරේකව ජනතා යෝජනාවන් වෙන්නෙ මොනවද කියන දේයි අපි මෙහිදී විමසා බැලුවේ. මේ වන විට එයින් අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය, හානිපූරණ කාර්යාලය ගොඩනගා තිබෙනවා. නමුත් තව බෙහෝ දේවල් සිදුවිය යුතුව තිබෙනවා. මෙහිදී එක දෙයක් කිව යුතුයි. මේ ක්‍රියාවලීන් පසුගාමී කිරීමට පසුගිය කාලයේ සිද්ධ වෙච්ච දේවල් බලපෑවා. ඔක්තෝබර් 26 ආණ්ඩුව මුහුණ දුන්නේ ඉතාම බරපතළ දේශපාලන ගැටලුවකට. ඒ වගේම පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරය කියන්නෙත් රටකට මුහුණ දෙන්න සිද්ධ වුණ බිහිසුණු තත්ත්වයක්. මේ සියලු තත්ත්වයන් පවතින සංදර්භයකයි අපිට මේ සංහිඳියා ක්‍රියාවලියේ ප්‍රගතිය බලන්න වෙන්නෙත්. මේවා මේ රටේ පසුගිය කාලයේ සිද්ධ වුණ යථාර්ථයන්. ඒ සියල්ල එක්ක අපි සංහිඳියා ක්‍රියාවලියේ තව ඉදිරියට යායුතුව තිබෙනවා.
නමුත් සත්‍ය දැනගැනීමට තිබෙන අවශ්‍යතාවය මේ රටේ වින්දිතයින්ගෙන් දශක ගණනක් තිස්සේ ආපු ප්‍රධාන ඉල්ලීමක්.
ඔව් පැහැදිලිවම, වින්දිතයින්ට අවශ්‍ය සත්‍ය. ඇයි අපි ඉරාකයට පසුව වැඩිම අතුරුදන් වීම් සිදුවුණ රට වෙන්නේ? 1971 ඉඳලා මේ අපරාධයට වගකිව යුත්තන්ට ලැබුණ මුක්තිය නිසා. අපේ රටේ පාලකයෝ කිසිම දවසක විවෘතව ප්‍රශ්නයක් ජනතාව එක්ක සන්නිවේදනය කරගෙන නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරය බලන්න, එතන සිද්ධ වුණේ ඒක. අපේ පාලකයෝ අසාධ්‍ය ලෙඩෙක්ට දෙන බෙහෙත තිත්ත වුණාට ඒක දෙන්න බැරි කමට පැණි රස දෙනවා වගේ න්‍යායක් තමයි අනුගමනය කරන්නෙ. දැන් මේ සත්‍ය දැන ගැනීම වෙනුවෙන් මිනිස්සු බලන් ඉන්නේ 1971 ඉඳලා. ඊයේ ප්‍රවෘත්තියක් ගියා පුද්ගලයන් 3 දෙනෙක් අධිකරණයට අරන් ආවා කියල. හේතුව යුද්ධයේ අවසන් කාලයේ එල්ටීටීඊය අත්අඩංගුවේ හිටපු හමුදාවේ සහ නාවික හමුදාවේ දරුවන්ව ඝාතනය කිරීම. දැන් මම අවුරුදු 20කට වැඩි කාලයක් තිස්සේ බලන් ඉන්න අතුරුදන් වුණ රණවිරුවෙකුගේ අම්මා කෙනෙක්. අපිට දැනගන්න අවශ්‍ය නැද්ද කවුද මැරුවේ? කාවද මැරුවේ? කියල. මේ සත්‍යයයි මිනිස්සු සොයන්නේ. මම හිතන්නේ අපිට අවශ්‍ය නම් නීති හදන්න පුළුවන්. නමුත් ඒවා ක්‍රියාත්මක නොවෙනවා නම් වැඩක් නැහැ. ඇත්ත දැන ගැනීමට රටේ මිනිස්සුන්ට අයිතියක් තියෙනවා. ඒ වගේම අපි අමතක කරන්න හොඳ නැහැ රටේ ජනතාව ආරක්ෂා කරන්න රජයක් බැඳී සිටිනවා (Responsibility to Protect). අපි 1971 සිද්ධ වුණේ මොකක්ද කියල හරියට හෙව්ව නම් නීතිය හරියට ක්‍රියාත්මක කරා නම් අවුරුදු තිහක් යුද්ධ කර ගැනීම දක්වා නොඑන්න තිබුණා.
අතුරුදන් ප්‍රශ්නය එක්ක දීර්ඝ කාලයක් හිටපු ඔබ අතුරුදන් තැනැත්තන් පිළිබඳ කාර්යාලය ස්ථාපිත කිරීම සහ එහි ක්‍රියාකාරීත්වය දකින්නේ කොහොමද?
අතුරුදන් වූ රණවිරුවෙක්ගේ අම්මා කෙනෙක් හැටියට මගෙත් මේ රටේ අතුරුදන්වූන දරුවන් දහස් ගණනකගේ මව්වරුන්ගෙත් ඉල්ලීමක් මේ කාර්යාලය. මේ හරහා අපි මොකක්ද ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම අපේ දරුවන්ට සිද්ධ වුණේ මොකක්ද කියන සත්‍ය දැනගැනීම. අපි දන්නවා මේ කාර්යාලයට පැවරෙන බරපතළම සහ දුෂ්කරම වගකීමත් එය බව. කොහොම නමුත් අපිට සන්තෝස වෙන්න පුළුවන් මීට පස්සේ අපේ දරුවෝ අතුරුදන් නොවන අනාගතයක්, සංස්කෘතියක් හදන්න මේ කාර්යලයට හැකිවෙයි කියල. මේ අපරාධයට අදාළ නීතිය අතීතයටත් අනාගතයටත් බලපාන පරිදි සකස් විය යුතුයි. ඒ වෙනුවෙනුත් කළ හැකි මැදිහත් වීම ඔවුන් කරනු ඇතැයි අපේ අපේක්ෂාවයි.
එහෙම නම් මේ යාන්ත්‍රණ හැදෙන්නේ රටේ මිනිස්සුන්ගේ උවමනාවට නෙවෙයි ජාත්‍යන්තරයේ උවමනාවට කියල ඇතැම් අය චෝදනා නගන්නේ ඇයි?
අපි රටක් විදියට වරද්ද ගන්න ලොකුම තැන මෙතන. අපි කන්නේ අපිට බඩගිනි වුණාම. අපි අදින්නේ අපේ නිරුවත වහගන්න. අපි මිනිස්සු විදියට හැදුනොත් ඒක අපිට. අපේ ආරක්ෂාව අපේ අයිතිවාසිකම් මේ රටේ බලයට පත් වෙන ආණ්ඩු ආරක්ෂා කරනවා නම් අපිට ඔළුව කෙලින් තියා ගෙන යන්න පුළුවන්. අපිට මේවා ජාත්‍යන්තරය කියන්න ඕනේ නැහැ කරන්න කියල. නමුත් අපි ශිෂ්ට රටවල් විදියට ජාත්‍යන්තර නීති එක්ක බැඳිලා ඉන්නවා. ඒවා ඉක්මවන්න බැහැ. සංහිඳියාව වෙනුවෙන් මෙහෙම කරමු කියල අපිත් කිව්වා. ඉතින් ඒවා තමයි මේ කරමින් තියෙන්නෙ.