පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සඳහා වන ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රකාශය

2022 ජනවාරි
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වසරකින් කල් දැමීම සම්බන්ධව නිකුත් කරන ලද (2022.01.10 වන දිනැති අංක 2262-08 දරන) ගැසට් පත්‍රය පිළිබඳ ප්‍රශ්න කිරීම මහජනතාවගේ වගකීම බව, දේශපාලන සහභාගීත්වය වැඩි කිරීම සඳහා කටයුතු කර ඇති සහ මැතිවරණ ප්‍රතිසංස්කරණ සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වැඩි වශයෙන් ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයක් වශයෙන්, කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය (WMC) විශ්වාස කරයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීම ජනතාවගේ ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමේ පරම අයිතිය උල්ලංඝනය කිරීමක් වන බැවින් එම තීරණය පිළිබඳ WMC සැලකිලිමත් වේ. වැදගත්ම දෙය නම් මෙය දිගින් දිගටම පළාත් සභා ඡන්ද විමසීම් නොපැවැත්වීම තුළින් ඇති වූ අවුල් සහගත ප්‍රවණතාවකි. පළාත් පාලන ආයතනවලින් බොහොමයකට තම අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීම, සභාපතිවරුන් තනතුරෙන් ඉල්ලා අස්වීම, තනතුරු ඉවත් කිරීම සහ කාන්තා සභිකයන්ට පිළිකුල්සහගත ලෙස සැලකීම වැනි හේතු මත ඒවායෙහි කටයුතු නිසි පරිදි සිදු කරගෙන යාමට නොහැකි වී ඇත. මැතිවරණය කල් දැමීම සිදුවන්නේ මෙවැනි පසුබිමක් තුළ ය.

ඕනෑම සාධාරණ හේතුවක් මත ඡන්ද විමසීම් වසරකින් කල් දැමීම සඳහා අමාත්‍යවරයාට බලය ලබා දී ඇත. කෙසේ වුවද මෙම තීරණය සඳහා රජය විසින් කිසිදු හේතු දැක්වීමක් සිදු කර නොමැත. එබැවින් අපට ඉතිරිව ඇත්තේ රජය ජනතාවගේ ජනවරමට බිය වන බව අනුමාන කිරීම යි. ඒ අනුව ඡන්ද විමසීම් කල් දැමීම යනු ජනතාව අත ඇති ඕනෑම තීරණයක් අමු අමුවේ යටපත් කිරීමක් වන්නේ ය.

එබැවින්, මෙම ගැසට් පත්‍රය අවලංගු කර පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එහි නියමිත කාලයේ දී පවත්වන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නෙමු.

මෙතැනින් බාගන්න