The prevention of Domestic Violence Act and implementation problems

චූලනී කොඩිකාර

කාන්තා සංවිධානවල දීර්ඝ කාලීන හඬ නැගීම්වල ප‍්‍රතිඵලයක් ලෙස ශ‍්‍රී ලංකා රජය විසින් 2005 දී ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පනවන ලදී. එය විවිධ අංශයන්ගෙන් කාන්තා සංවිධාන අපේක්‍ෂා කළ මට්ටමට වඩා පහළ මට්ටමක පැවතිණි. එසේ වුවත්, එය සමීප සහකරු වෙතින් සිදුවන හිංසනය පිළිබඳ ගැටලූව සමග සටන් කළ කාන්තා ව්‍යාපාරවල ජයග‍්‍රහණයක් මෙන්ම, නීතිය සඳහා වන කාන්තා මැදිහත්වීමේ වැදගත් සන්ධිස්ථානයක් ද වෙයි. ඊට ප‍්‍රථමයෙන් වින්දිත කාන්තාවන් සඳහා පැවති එකම ‘නෛතික’ ප‍්‍රතිකර්මය වූයේ පොලිස් පැමිණිල්ලක් කිරීම වූ අතර, එය කිසිසෙත්ම බරපතල ගණයේ ලා නොසැලකිණි. ඒ සඳහා වූ පොලීසියේ ප‍්‍රතිචාරය වූයේ, එය පවුලේ සාමාජිකයින් අතර පෞද්ගලික ගැටලූවක් ලෙස සලකමින් හිංසකයාට අවවාද කොට මුදා හැරීමයි. එහෙත්, එහි දරුණු ප‍්‍රතිඵලයක් වූයේ වින්දිතයා යළිත් වැඩි වැඩියෙන් අතවරවලට ලක් වීමයි. වින්දිත කාන්තාවන්ගේ පැත්තෙන් බැලූ විට පැමිණිල්ලක් පිළිබඳව අපරාධ නඩු පැවරීම අවසානයක් නොදකින ක‍්‍රියාවලියක් මෙන්ම එමගින් හිංසනය දිගු කාලීනව යටපත් කිරීමට ඇති හැකියාව ද අවම ය. එහෙත්, දිගින් දිගටම පවතින හිංසනය මඳ කාලයකට නතර කිරීමේ උපක‍්‍රමයක් ලෙස මෙය කාන්තාවෝ භාවිත කළහ.

Photo: Beyond Borders blog
Photo: Beyond Borders blog

ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වයට මුහුණ දෙන ‘ ඕනෑම පුද්ගලයකුට’ මහේස්ත‍්‍රාත් අධිකරණයකින් ආරක්‍ෂාව පැතීමේ අවස්ථාව ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත මගින් සලසා දෙයි. දින 14ක් සඳහා වලංගු අතුරු ආරක්‍ෂණ ආඥාවක් නිකුත් කිරීමට අධිකරණයට බලය තිබේ. ඉන්පසුව අධිකරණයට ඉදිරිපත් කරන සාක්‍ෂි මගින් මාස 12ක් දක්වා වලංගු ආරක්‍ෂණ ආඥාවක් ඉල්ලා සිටිය හැකිය. මෙම ආඥාවන් මගින් හිංසකයාගේ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා නැවැත්වීම මෙන්ම වෙනත් ආකාරයේ නියෝග ද කළ හැකිය. පනත පළුමුවෙන්ම ගෘහස්ත හිංසනය අර්ථ දක්වන්නේ දණ්ඩ නීති සංග‍්‍රහයේ XVI පරිච්ජේදයේ සඳහන් වන ‘ශාරීරික හිංසනය’ සම්බන්ධ ක‍්‍රියාවන් ලෙස ය. දෙවනුව එය කෲර, අමානුෂික, අවමන් සහගත හෝ අපහාසාත්මක ක‍්‍රියාවන් ඇතුළත් වන ‘මානසික හිංසනය’ද ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය ලෙස අර්ථ දක්වයි. අතුරු ආරක්‍ෂණ ආඥාවන් සහ ආරක්‍ෂණ ආඥාවන් නිකුත් කිරීමේ දී අධිකරණයට, ඉල්ලූම්කරුගේ හා දරුවන්ගේ (ඔවුන්ගේ වාසස්ථාන ද ඇතුලූව) අවශ්‍යතා සහ හිංසකයාට මුහුණ දීමට සිදුවන ගැටලූ අතර සමතුලනයක් කිරීමට සිදුවේ. සිවිල් ප‍්‍රතිකර්මයන් හරහා ඉල්ලූම්කරුගේ ආරක්‍ෂාව තහවුරු කර ගන්නා අතරම, ඇයට වෙනත් සිවිල් හෝ අපරාධ නඩු කටයුත්තක් ආරම්භ කිරීමට පනත ඉඩ සලසයි. එබඳු ආඥාවකට අවනත නොවීම රුපියල් දස දහසකට නොවැඩි දඩයකින් හෝ වසරකට නොවැඩි සිරදඬුවමක් හෝ ඒ දෙකම හෝ මගින් දඬුවම් ලැබිය හැකි වරදකි. පීඩිත පුද්ගලයාට අමතරව, පොලිස් නිලධාරියකුට ද එකී පුද්ගලයා වෙනුවෙන් ආරක්‍ෂණ ආඥාවක් ඉල්ලා සිටිය හැකිය. දරුවකු සම්බන්ධයෙන් නම්, දෙමව්පියන්ගෙන් කෙනෙකුට, විධිමත් හෝ අවිධිමත් භාරකරුවකුට හෝ ජාතික ළමාරක්‍ෂණ අධිකාරීය මගින් බලය පැවරු අයකුට ආරක්‍ෂණ ආඥාවක් ඉල්ලා සිටිය හැකිය.

මෙම නීති හුදෙක් පැවතීමෙන්ම පමණක්, කාන්තාවන් නීති පද්ධතිය තුළ මුහුණ දෙන ගැටලූ රැසකට පිළිතුරු නොලැබේ. එකී ආරක්‍ෂණ ආඥාවන් ක‍්‍රියාත්මක කිරීම පිළිබඳව පවත්නා ගැටලූ විසින් නීති පද්ධතිය තවදුරටත් දුර්වල කරමින් ආරක්‍ෂණ ආඥාවක් ලබා ගැනීමට බාධා එල්ල කරනු ලැබේ. ශ‍්‍රී ලංකාවේ නීතිය තුළ එසේ සිය අයිතීන් ඉල්ලා සිටීමට ඇති බාධාවන් නම්, නිලධාරි තන්ත‍්‍රයේ ප‍්‍රමාදයන්, ආකාර්යක්‍ෂමතාව වැනි ආයතනික හා ව්‍යුහාත්මක සාධක සහ නීතියේ ආධිපත්‍යය දුර්වල වීම නිසා විනිසුරුවරුන් ඇතුලූ නීතිය ක‍්‍රියාත්මක කරන අධිකාරීන්ගේ ස්වාධීනත්වය නොමැති වීමයි. නීති වෘත්තිය තුළ පවතින පිරිමි වෘත්තිකයන්ගේ ආධිපත්‍යය, හැසිරීමේ රීති පිළිබඳ ව නොදන්නාකම, කාන්තාවන්ට විධිමත් හා අවිධිමත් සබඳතා අඩුවීම, තම පවුල හා සමීප ප‍්‍රජාවෙන් බැහැර සම්බන්ධතා ජාලයක් හා බලය සඳහා ප‍්‍රවේශයක් නොමැතිකම මෙන්ම, බලය ඇති පුරුෂයින් විසින් තවදුරටත් තර්ජනය කිරීම හා පීඩා කිරීම වැනි හේතු නිසා මෙම බාධාවන් තවත් ශක්තිමත් වී තිබේ.

තවදුරටත්, නෛතික තීරණ ගන්නන්ගේ ස්වාධීනත්වය හා ඔවුන්ට ඇති අභිමතයේ පරාසය අඩුවීම නිසා සංස්කෘතික පිළිගැනීම්වලට, තවදුරටත් පැවතීමට මෙන්ම නීතියට අභියෝග කිරීමට ද ඉඩ ප‍්‍රස්ථාව සැලසී තිබේ. එහෙයින් අධිකරණමය ක‍්‍ර‍්‍රියාවලිය තුළ පවුල පිළිබඳ අධිපති මතවාදයන් ප‍්‍රකාශිතව හා අප‍්‍රකාශිතව ගැබ් වේ. මෙම අධ්‍යයනය සඳහා සම්මුඛ සාකච්ඡුාවට බඳුන් කළ බොහෝ නීතිඥවරුන් පැවසුවේ ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ පවරන නඩුවක ප‍්‍රතිඵලය පුර්ව නිගමනය කිරීමට අසීරු වන බවත්, එය නඩුව මෙහෙයවන විනිසුරුවරයා අනුව තීරණය වන බවත් ය. එකී කතාන්තර සියල්ලන්ගේම ගැබ් වූ කරුණ නම් විනිසුරුවරුන් හා පොලිස් නිලධාරීන් තුල ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත පිළිබඳව පසුබටභාවයක් පවතින බවත්, සියලූම විනිසුරුවරුන් එය ධනාත්මක අන්දමින් නොදකින බවත් ය. එසේම, පනතේ අරමුණ පිළිබඳව ද ඔවුන් අතර එකඟතාවයක් නොවීය. නීතියේ වදන් සහ හරයන්ට හානි කරමින්, සිය පෞද්ගලික නැඹුරුවීම්වලට, තීරණ ගැනීමේ දී විනිසුරුවරුන් යටත් වන බව බොහෝ දෙනා ප‍්‍රකාශ කළහ. එනම්, මෙම පනත මගින් විවාහයන් කඩාකප්පල් කොට දික්කසාද වැඩි වන බවට ඇති බිය, ප‍්‍රචණ්ඩත්වය බරපතල ලෙස නොසැලකීම සහ පවුලේ ඒකීය බව විනාශ කරමින් පලිගන්නා කාන්තාවන් සිටින බවට වන විශ්වාසයන් ය. සමහර විනිසුරුවරුන්, කාන්තාවන්ට විවාහයෙන් පරිබාහිර සම්බන්ධතාවක් පවතින විට ස්වාමි පුරුෂයාගෙන් ඉවත්ව නව පෙම්වතා කරා යාමට අවශ්‍ය වූ විට මෙම පනත භාවිත කරන බව ප‍්‍රසිද්ධියේම ප‍්‍රකාශ කොට ඇතැයි නීතිඥවරු පැවසූහ. මෙම අධිකරණමය මතවාදයන් බිහිව ඇත්තේ, පනත කොතරම් දුරට සංස්කෘතියට ගැලපෙන්නේ ද යන්න ප‍්‍රශ්න කරන දේශපාලනික කතිකාව තුළින් විය හැකිය (මේ පිළිබඳ ව මා වෙනත් තැනක ලියා ඇත).

එබැවින්, ගෘහස්ත ප‍්‍රචණ්ඩත්වය වැළැක්වීමේ පනත යටතේ අයිතීන් තීරණය කරන ලද අනන්‍යතාවක් හිමිකර ගැනීමට කාන්තාවට ලැබෙන සහාය අවම වේ. එසේ කිරීමට උත්සාහ දරන කාන්තාවන් නීතිය තුළ දී හඳුනා ගනු ලබන්නේ සංස්කෘතියට අභියෝග කරන, පවුල් කඩාකප්පල් කරන, පවුලට අවමන් කරන හෝ තම ස්වාමි පුරුෂයාගේ දේපල උදුරා ගැනීමට තැත් කරන හා දරුවන්ගෙන් ඈත් කර තැබීමට උත්සාහ කරන, පලිගන්නා සුළු කාන්තාවන් ලෙස ය. එසේ හෙයින්, පනත පැනවීමෙන් වසර 10කට පසුව ද, එය සමීප සහකරු වෙතින් හිංසනයට පත්වන කාන්තාවන්ගේ අවසාන පිළියම බවට පත්ව ඇත. සමාජය තුළ මෙන්ම නීතිය ක‍්‍රියාත්මක කරන ආයතන තුළ ද සවිඥාණිකත්වය ඉහළ නැංවීම සඳහා, රජය මෙන්ම සිවිල් සමාජ සංවිධාන විසින් ද කළ යුතු දේ බොහෝ ය.