කාන්තාවන්ගේ පරමාධිපත්‍ය බලය සාමය සහ සංහිඳියාව වෙනුවෙන්

මූලාශ්‍රය: ලංකාදීප
‘‘එළුවා තෙමෙනවා කියා කොටියා අඬනවා වගේ’’ කියා කියමනක් තිබේ. 2019 නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ශී‍්‍ර ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා/වරිය තෝරා ගැනීමේ ජනාධිපතිවරණ ප‍්‍රචාරක රැස්වීම් වේදිකාවලින් සහ ජනමාධ්‍යවලින් ඇසෙන, පෙනෙන කතා අසන මේ රටේ ජනතාවට එසේ සිතෙන්නට ද බැරි නැත. එහෙත් මේ රටේ ජනතාව එළුවන් වී සිටීමට සූදානම්ද?
මැතිවරණ කොමිසම සහ එහි සභාපතිවරයාගේ ඇස්තමේන්තු අනුව මෙවර සිදු වන්නේ ඉතිහාසයේ විශාලම ධනස්කන්දය වියදම් කරන්නට සිදුවන මැතිවරණයයි. එක් අපේක්ෂිකාවක් ද සමඟ ඉදිරිපත් වී ඇති මුලූ අපේක්ෂක සංඛ්‍යාව 35කි. එයින් තම තමන්ගේ ප‍්‍රචාරක ව්‍යාපාර, රැලි ආදිය වෙනුවෙන් ඒ ඒ අපේක්‍ෂකයන් වියදම් කරන ධනස්කන්දය ගණන් ගැනෙන්නේ කොතැනකින්ද?

ගතානුගතික අර්ථනිරූපණයන් මගින් ස්ති‍්‍රය සහ පුරුෂයා වෙත ලබා දී ඇති හැඩය හෙවත් ස්තී‍්‍ර පුරුෂ සමාජභාවය නිසා ඓතිහාසිකව අයිතිවාසිකම් සීමා කිරීම්වලට ලක්වූ, වෙනස් සැලකීම්වලට ලක්වූ ස්තී‍්‍රන් මේ අවස්ථාවේ තමාගේ පරමාධිපත්‍ය බලය හෙවත් ඡන්දය පාවිච්චි කළ යුත්තේ කෙසේද යන්න කල්පනා කිරීමට අවස්ථාවක් උදා වී තිබේ. ගතානුගතික අර්ථනිරූපණ මගින් ස්තී‍්‍ර අයිතිවාසිකම් ඓතිහාසිකව සීමා වී ඇති බවත් හානිකර ස්තී‍්‍ර සහ පුරුෂ එකාකෘති හෙවත් ප‍්‍රතිරූප සමජගතව ඇති බවත් පිළිගන්නා රජයක් ස්ථාපිත කළ හැකි අපේක්‍ෂකයන් කවුරුන්දැයි මේ අවස්ථාවේ විමසිලිමත් විය යුතුය. මේ වෙනස් තත්ත්වය නිසා රටේ තීරණ ගැනීමේ තත්ත්වයේ සිට දේශපාලන, සමාජ, ආර්ථික ජීවිතය තුළ ස්තී‍්‍රන්ට සිදුවී ඇති අසමාන සැලකීම් සියලූ ජාති, ආගම් සීමා අතික‍්‍රමණය කරමින් පවතින බව වටහා ගත යුතුය. සමස්ත රටේ කාන්තාවන් හා ඒ සමාන මනුෂ්‍යත්වය පිළිගන්නා ජනතාවගේ අවධානය යොමු කරවීමටනම් ඒ සඳහා කි‍්‍රයාකාරිත්වයක් ද අවශ්‍යය. සියලූ අපේක්‍ෂක/අපේක්‍ෂිකාවන්ගේ එකඟතාව ලබා ගැනීම සඳහා යෝජනා ඇතුළත්, ‘‘2019/2020 සඳහා කාන්තා මැතිවරණ ප‍්‍රකාශනය’’ කාන්තා සංවිධාන මෙන්ම ස්වාධීන කාන්තා කි‍්‍රයාකාරිනියන්ගේ මැදිහත් වීමෙන් පසුගිය දා එළිදක්වනු ලැබූයේ ඒ අරමුණ ඇතිවය. සමාජ, දේශපාලන, ආර්ථික, නීති සහ ප‍්‍රතිපත්ති ආදී ක්‍ෂේත‍්‍ර තුළ සිදුවිය ප‍්‍රජාතන්ත‍්‍රවාදී සහ අයිතිවාසිකම් කේන්දී‍්‍රය වෙනස්කම් රාශියක් කෙරෙහි එහිදී අවධානය යොමු කර ඇත. එම ක්‍ෂේත‍්‍ර සියල්ලටම අඩු වැඩි වශයෙන් අදාල වන සාමය සහ සංහිඳියාව හා ප‍්‍රතිසන්ධානය ඇති කිරීමේ වැදගත්කම සම්බන්ධයෙන් මේ රටේ ස්තී‍්‍රන් වඩාත් සැලකිලිමත් වීමේ අවශ්‍යතාව මේ ලිපියෙන් අවධානය යොමු කරයි.

කිසිදු මනුෂ්‍යයන් දෙදෙනෙකු එක හා සමාන නොවන බව ඕනෑ ම කෙනෙකු දැනගතය යුතුය. අපට අවශ්‍යනම් යාරේ කෝදුවකින් රෙදි ද, සැතපුම්වලින් දුර ද මැනිය හැකිය. එහෙත් රටේ මිනිසුන් එක ගොඩකට එකතු කොට කිසිම නීතියකින් ඔවුන් මනින්නට නොහැකිය. ඒ විවිධත්වය අප තේරුම්ගත යුතුය. වෙනස් භාෂාවක් කතා කරන, වෙනස් ආගමක් අදහන, වෙනස් සංස්කෘතික කි‍්‍රයාකාරකම් සහිත අයට වෙනස්කම් කිරීම ඇරඹෙන්නේ මේ විවිධත්වය තේරුම් නොගැනීම නිසාය. අනවබෝධය ඇති තැන, එය සමාන භාෂාව කතා කරන හෝ සමාන ජාතියේ හෝ සමාන ආගමේ දෙදෙනෙකු හෝ අතර විවිධත්වයට වඩා වෙනස්ය. එක රටක ජීවත් වන ඒ සියලූ දෙනාට මනුෂ්‍යයන් ලෙස සියලූ සමාජ, දේශපාලන, ආර්ථික අයිතිවාසිකම් සමානව තිබිය යුතු බව පිළිනොගත් හෝ නොතකා හැරිය අතීත දේශපාලන ව්‍යුහයන් හා බලධාරීන්ගේ කි‍්‍රයා නිසා ඇති වූ එක් විරසකයක් දැවැන්ත මිනිස් සංහාරයක් සිදු වූ යුද්ධයකින් කෙළවර විය. නමුත් ඒ නිසා සියලූ පාර්ශ්වවලට, එයට ගොදුරුව බොහෝ අහිමිවීම් හිමි කරගත් ජනතාවට සිදු වූ හිත් රිදීම්වලට, අහිමිවීම්වලට යුක්තිය ඉටුවීම ඉක්මන් කළ යුතුව ඇත. එයින් වඩාත් පීඩාවට පත් දෙමළ ජනතාව වෙනුවෙන් සංක‍්‍රාන්ති යුක්තිය ඉටුවීම වේගවත් කළ යුතුව ඇත. නීතිය, ප‍්‍රතිපත්ති තලයේ මෙන්ම සමාජ, දේශපාලන, ආර්ථික තලයේ වෙනස්කම් සිදු කිරීමට ඇත. උතුරු, නැගෙනහිර සහ යුද තර්ජිත ගම්මානවල මෙන්ම අනෙකුත් විවිධ පාර්ශ්වවල වින්දිත පුද්ගලයන් හා පවුල්වලට ඔවුන්ගේ අහිමිවීම් සඳහා මෙන්ම වින්දිත ජන කොට්ධාශ ලෙස යුක්තිය, සාධාරණය ඉටු කළ හැක්කේ රටේ නායකයාගේ සිට එම අවශ්‍යතාව පිළිගතහොත් පමණි.

බලපෑමට ලක්වූ ජනතාව අතර යුක්තිය සහ විශ්වාසය ගොඩනැගීමටනම් සංක‍්‍රාන්ති යුක්තිය පසිඳලීමේ යාන්ත‍්‍රණය ප‍්‍රමාදයකින් තොරව බලගැන්වීම කළ යුතුව තිබේ. සංහිඳියා යාන්ත‍්‍රණ පිහිටුවීම සඳහා මනෝරි මුත්තෙට්ටුවගම මහත්මියගේ නායකත්වයෙන් මහජන අදහස් හා යෝජනා ලබා ගැනීම සඳහා කාර්යසාධක බලකායක් කි‍්‍රයාත්මක විය. එම බලකාය සහ උපදේශන කමිටුව 2017 වසරේදී ඉදිරිපත් කළ නිර්දේශ ප‍්‍රගිතිශීලී ආකාරයෙන් කි‍්‍රයාත්මක කිරීමට කැපවීමක් අවශ්‍යය. සත්‍යය, සාධාරණත්වය, ප‍්‍රතිසන්ධානය සහ නැවත සිදු නොවීම සඳහා වන කොමිසම ස්ථාපිත කළ යුතුව ඇත. රාජ්‍ය භාෂා ප‍්‍රතිපත්තිය පූර්ණව කි‍්‍රයාත්මක කිරීම මෙහිදී ඉතා වැදගත් අංගයකි. උපාය මාර්ග සහ සංස්කෘතිය පිළිබඳ නව ජාතික ප‍්‍රතිපත්ති මඟින් ද, අධ්‍යාපනය සහ භාවිතාවන් හරහා ජාතික ඒකාබද්ධතාව ප‍්‍රවර්ධනය කිරීම පිණිස සංස්කෘතික බහුත්වවාදය වඩාත් වැඩියෙන් අගය කිරීම කළ යුතුව ඇත. සාමය, සංහිඳියාව සහිත ජීවිතයක් පිළිබඳ අපේක්‍ෂාව ජීවිතයේ ප‍්‍රමුඛ අවශ්‍යතාව සේ සලකන මේ රටේ ජනගහනයෙන් අඩකටත් වඩා වැඩි ස්තී‍්‍රන් මෙන්ම මානව ගුණයෙන් පිරිපුන් සියලූ දෙනා, දැවැන්ත අහිමිවීම් සමුදායක් සහිතව ජීවත්වන බහුතරයක් ස්තී‍්‍රන්ද වූ ජනතාවට යුක්තිය ඉටු කිරීමටත් ජන කොට්ඨාශයන් අතර ප‍්‍රතිසන්ධානය ඇති කොට රටේ සාමය ඇති කිරීමටත් සහතික වන ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන්දැයි වටහාගත යුතුය. ඔහු හෝ ඇය නියෝජනය කරන දේශපාලන බලවේගයේ කැපවීම වටහාගත යුතුය. ඒ අනුව මේ රටේ සියලූ ජනතාව අතර සංහිඳියාව සහ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් කැපවන පුද්ගලයාට, මේ තීරණාත්මක අවස්ථාවේ අපගේ පරමාධිපත්‍ය බලය හෙවත් ඡන්දය භාවිතා කළ යුතුය.