සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම, ජාතික ගුවන් විදුලියේ වෙළඳ සේවය ඹස්සේ

සුනිලා අබේසේකර දෙවර්ෂ පූර්ණ සැමරුම

”ආදරයේ ඔබ ඔබමයි
මා ඔබ නොව
ඔබ මා නොව
දවසක්දා……. හ`දුනා ගත්තොත් ඔබ මා…….”

ඒ මියුරු යුග ගීයෙහි නින්නාද දෙන ගැඹුරු, භාවපූර්ණ, ස්ත‍්‍රී හෙ`ඩහි හිමිකාරිය වූ සුනිලා අබේසේකර සොයුරියගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් ඇය විසින් ගායනා කළ මෙරට ගීත රසිකයින් ගේ ආදරයට පාත‍්‍ර වූ ජනප‍්‍රිය චිත‍්‍රපට පසුබිම් ගීත ඇතුළු ගීත කිහිපයකින් ඇය පිළිබද මතකය ආවර්ජනය කරන්නයි අපේ මේ සූදානම.

1952 සැප්තැම්ර් 04 දා කොළඹ දී උපන් සුනිලා ටියුරින් අබේසේකර සහ චාල්ස් අබේසේකර යුවලගේ එකම දියණියයි. කොළඹ බිෂොප් විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඇය, පසුව නෙදර්ලන්තයේ හේග් හි සමාජ අධ්‍යයන ආයතනයෙන් කාන්තාව සහ සංවර්ධනය පිළිබඳව සිය ශාස්ත‍්‍රපති උපාධිය ලබා ගත්තාය.

හෙන්රි ජයසේනයන්ගේ “ජනේලය” සහ “මකරා”, මෙන්ම රංජිත් ධර්මකීර්තිගේ “අංගාරා ගග ගලා බසී” සහ “මෝදර මෝල” යනාදී වේදිකා නාට්‍යයයන්හි මෙන්ම දෙලොවක් අතර, ගොලූ හදවත, පාර දිගේ ඇතුලූ චිත‍්‍රපට කිහිපයකටම සුනිලා රංගනයෙන් දායක වී ඇත. එමෙන්ම හැත්තෑව දශකයේ ආරම්භයේ සිටම ප‍්‍රවීන සංගීතවේදී පේ‍්‍රමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියේ මුල් පෙල ගායිකාවක ලෙස කටයුතු කරමින් කේමදාසයන්ගේ සිනමා වේදිකා නාට්‍ය සංගීතය, ඔපෙරා ඇතුළු මාස්ටර්ගේ සියළුම සංගීත වැඩසටහන් වලට ඇගේ මධුර, මියුරු හඬ එක් කළාය.

1970 දශකයේ සිට අද දක්වා දශක පහකට අයත් මෙරට ගීත රසිකයින් ගේ ආදරයට පාත‍්‍ර වූ “හඳුනා ගත්තොත් ඔබ මා….” සහ “හිමින් සැරේ පියා විදා..” යන චිත‍්‍රපට පසුබිම් ගීත යුගලය ඇය ගායිකාවක ලෙස නිරූපණය කල ප‍්‍රතිභා සම්පන්න සංගීතමය භූමිකාව හදුනා ගැනීමට අපට ප‍්‍රමාණවත්ය.

ඇය ප‍්‍රථමයෙන් ගායනා කල චිත‍්‍රපට පසුබිම් ගීතය වන්නේ ධර්මසේන පතිරාජයන් එක්දහස් නවසීය හැත්ත අටේ අධ්‍යක්ෂණය කළ ‘බඹරු ඇවිත්’ චිත‍්‍රපටයේ ”හ`දුනා ගත්තොත් ඔබ මා…….” ගීතයයි. පද රචනය ඩබ්ලිව් ජයසිරිගෙනි. සංගීත නිර්මාණය පේ‍්‍රමසිරි කේමදාස සුරින්ගෙනි. ගායනය සුනිලා අබේසේකර, ටී.එම්. ජයරත්න සහ අයිවෝ ඩෙනිස්.

උදුම්බරා හිනැහෙනවා (හඳුනා ගත්තොත් ඔබ මා…….) ගීතය

‘හෙමින් සැරේ පියා විදා’ ගීතය එකදහස් නවසීය අසුවේදී ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘හංස විලක්’ චිත‍්‍රපටයේ අතිශය ජනපි‍්‍රය වූ චිත‍්‍රපට පසුබිම් ගීතයකිි. පද රචනය ධර්මසේන පතිරාජගෙන්. සංගීත නිර්මාණය ආචාර්්‍ය පේ‍්‍රමසිරි කේමදාස සුරින්ගෙනි. ගී හඩ සුනිලා අබේසේකර සමග ටී.එම්. ජයරත්න .

‘හෙමින් සැරේ පියා විදා’ ගීතය

සමාජ ප්‍රගතිය වෙනුවෙන් කැපවූ ප්‍රගතිශීලි කලාකරුවන් පිරිසක් නිදි නැති නදියේ නාදය නමින් විචිත්‍ර සංගීතමය වැඩ සටහනක් ලෝක කම්කරු දිනය නිමිති කොට 1986 මැයි දින දා කොළඹ පැවැත් වූවා. නව රඟහලේ පැවති අති විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගී වූ මෙම ප්රපසංගයට අවශ්ය කලාකරුවන් එකතු කරගනිමින් ප්‍රසංගය ප්‍රයෝගිකව මෙන්ම නිර්මාණාත්මකව සකස් කොට සංවිධානය කරන්නට මැදිහත්වූ යේ සුනිලා අබේසේකර සොයුරිය, ආචාර්්‍ය සුනිල් විජේසිරිවර්ධන, රිඩ්ලි සිල්වා, රන්ජිත් පෙරේරා යන ජාතීන් අතර යුක්තිය හා සමානාත්මතාවය සදහා වූ ව්‍යාපාරයේ ක්‍රියාකාරීන්ය.

ආචාර්්‍ය සුනිල් විජේසිරිවර්ධන ‘දෝතට ගනිමූ’ ගීතය ලියා සංගීත සංරචනය කළේ ප්‍රසංගයේ ‘උදෘත’ ගීතය වශයෙනි. මෙම ගීතය සඳහා ඔහු භාවිතා කළේ එක් ගිතාරයක් පමණි. ආචාර්්‍ය සුනිල් විජේසිරිවර්ධන සමග සුනිලා ගැයූ මෙම ගීතය නිදි නැති නදියේ නාදය ප්‍රසාංගික වැඩ සටහනේ ජනප්‍රියම ගීතය බවට පත් විය.

දෝතට ගනිමූ ගීතය

‘සියවස් ගණන් …..’ නැමැති මෙම ගීතය, නෙදර්ලන්ත ජාතික කොර්නේලි ක්විස්ට් සහ මාර්ගා හොයිටින්ක් විසින් ශ‍්‍රී ලංකාවේ, කුරුණෑගල සහ මොනරාගල දිස්ත‍්‍රික්ක දෙක පදනම් කරගෙන ගැමි කාන්තාවන්ගේ ජීවිතය පිළිබඳ 1987…… දී නිර්මාණය කළ වාර්තා චිත‍්‍රපටියක් වූ ‘ලෝක දෙකයි එක ජිවිතයයි’ වෙනුවෙන් සුනිලා අබේසේකර සොයුරිය විසින් පද රචනය කර ගායනා කරන ලද්දකි. සංගීත නිර්මාණය සුනිල් විජේසිරිවර්ධනගෙනි.

සියවස් ගණන් ගීතය පීඩනයට ලක්වෙමින් , අනේක විඳ දුක් පීඩාවන් උසුලමින්, බහුවිධ භූමිකාවන් ඉටුකරමින් වෙහෙසෙන ගැහැණුන් පිළිබඳව ය. කොතරම් වැඩකළත් තමන් සතු නොවූ, යඳමින් බැඳි තම ජීවිතයේ යදම් බිඳ දමා නව හිරුමඬලක් යට නිදහසේ සිහිනය සැබෑකර ගන්නට එකට එක්වන්නැයි සියලූ සහෝදර, සහෝදරියන්ට සුනිලා මේ ගීතයෙන් ඇරයුම් කරයි. ප‍්‍රබල සංගීත සංයෝජනයක් නැතත් සිය භාවපූර්ණ හඬින් එම අඩුව පුරවන්නට සුනිලා අබේසේකර සොයුරිය සමත් වී තිබේ. අසන්න.

”සියවස් ගණන් ” ගීතය

ශී‍්‍ර ලංකාවේ ස්ත‍්‍රී ව්‍යාපාරය ගොඩනැගීමෙහිලා පුරෝගාමී වූ සුනිලා අබේසේකර සොයුරිය ස්ත‍්‍රීවාදී සංකල්පය සමාජගත කිරීමට නායකත්වය ගත් අතර එය ඉහල බුද්ධිමත් තලයෙන් පහල ග‍්‍රාමීය කාන්තාවන් ඇතුලූ වැඩකරන ප‍්‍රජාව වෙත ගෙන යාමේ ශක්තිමත් පාලමක් ද තැනුවාය. ඕනෑම ජන කණ්ඩායමක් සමග වැඩකිරීමේ සුවිශේෂ ජීව ගුණයක් සතු සුනිලාගේ සමාජ ක‍්‍රියාකාරිත්වයේ ප‍්‍රධාන තේමාවන් වන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය, සමානාත්මතාවය සහ ජනවාර්ගික සාමයයි. දේශීය මෙන්ම ජාත්‍යන්තරව කීර්තියට පත් ඇය ස්ත‍්‍රීවාදිනියකි. මානව හිමිකම් ක‍්‍රියාකාරිනියෙකි. දක්ෂ පුහුණු කාරියෙකි. කථිකයෙකි. ලේඛිකාවකි. විචාරකයෙකි. ගායන ශිල්පිනියකි. රංගන ශිල්පිනියකි. නිවේදිකාවකි. සුවිශේෂී වූ ප‍්‍රතිභා සම්පන්න කලාකාරියෙකි.

කාන්තාව හා මාධ්‍ය සාමූහිකය 2002 වසරේ එළි දැක්වූ “නව සහස‍්‍රයේ ඇය” සංගීත තැටියට හෙට දවස ගැන මොරගාන හඩ වු අරාජික ලේ බිදුව “ස්තී‍්‍ර” නමින් සුනිලා ස්තී‍්‍රන් වෙනුවෙන්ම ගායනා කල මේ ගීතයේ පද රචනය ලීනා අයිරින් හපුතන්ති‍්‍රගෙනි. සංගීත නිර්මාණය විශාරද සංගීතවේදිනී නීලා වික‍්‍රමසිංහ ගෙනි.

“ස්තී‍්‍ර” ගීතය

ප‍්‍රතිභාපූර්ණ කලාශිල්පිණියක මෙන්ම ශී‍්‍ර ලංකාවේ ස්ත‍්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් අභිමානවත් හඩක් නැගූ සුනිලා අබේසේකර මානව හිතවාදිනියගේ දෙවර්ෂ පූර්ණ සැමරුම වෙනුවෙන් කාන්තාව හා මාධ්‍ය සාමූහිකය ඇයට උපහාරයක් ලෙස ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවේ වෙළද සේවය ඔස්සේ ගෙන ආ විශේෂ ගුවන් විදුලි වැඩසටහනේ සමාප්තියයි මේ.

ඇයගේ මෙහෙවර ඉදිරියට ගෙනයාමට අපි සැම එක්වෙමු.