මූලාශ්‍රය: සමබිම
ඔබ කාන්තා ක්‍රියාකාරිනියක් විදියට වැඩ කරන්න පටන් ගන්නේ කොහොමද?
මම විවාහ වෙලා ඒකල කාර්මික ජනපදයට ආවා. යූනියන් කාබයිඩ්, පොලිටෙක්ස් ගාමන්ට් වගේ කර්මාන්ත ශාලා තිස් දෙකක් මේ කාර්මික ජනපදයේ තිබුණා. මගේ ස්වාමිපුරුෂයා ඒවයේ වෘත්තිය සමිතිවලට උපදේශකත්වය ලබා දුන්න කෙනෙක් විදියට වැඩ කළා. ඒ කාලේ මට මොනවද මේ කාන්තා අයිතිවාසිකම් කියල කිසිම අදහසක් තිබුණේ නැහැ. මම දරුවෝ හතර දෙනෙකුගේ මවක් විදියට ගෙදර දොරේ කටයුතු බලා කියා ගෙන හිටපු කෙනෙක්. නමුත් ඒ කාලේ වෘත්තිය සමිතිවල වැඩවර්ජන පටන් ගත්තා. මේවාට මගේ මහත්තයා උපදේශකත්වය දුන්නා. නමුත් රැස්වීම් තියන්න, පෝස්ටර් අදින්න, සාකච්ඡා කරන්න මධ්‍යස්ථානයක් තිබුණේ නැහැ. ඒකට පාවිච්චි කළේ අපේ ගෙදර. මේ කර්මාන්තශාලාවල ගැහැනු ළමයි ඒ වන විටත් විවිධ හිරිහැරවලට මුහුණ දුන්නා. මේ තත්ත්වයත් එක්ක ඒ කාලේ විප්ලවීය මාක්ස්වාදි පක්ෂයේ අය කල්පනා කළා පොලිටෙක්ස් අරගලයත් තිබුණ නිසා කාන්තා කමිටුවක් පිහිටුවන්න. ඒ කණ්ඩායම සාකච්ඡා තිබ්බේ අපේ ගෙදර. විශේෂයෙන්ම එතනදි කාන්තා හිංසනය, කාන්තා විමුක්තිය, කාන්තාවට එන පීඩනය වගේ මාතෘකා ගැන සාකච්ඡා කළා. මේවාට සවන් දීලා මට ඒ පිළිබඳ විශාල උනන්දුවක් ඇති වුණා. මම මේවා පිළිබඳව කතා කරන්න පටන් ගත්තා. පසුව අපි පිරිසක් එකතුවෙලා සංවිධානයක් පිහිටුවා ගත්තා ස්ත්‍රී විමුක්ති ව්‍යාපාරය කියල. ඒක බිහි කරන්න මුල්වෙලා කටයුතු කළේ විප්ලවීය මාක්ස්වාදී පක්ෂය. පසුව එහි නම වෙනස් කළා. ඒ වගේම ඊටත් පස්සේ එහි කටයුතුවල පැන නැගුණ දුෂ්කරතා, පුරුෂාධිපත්‍ය ඉස්මතු වීම වගේ ගැටලු ගණනාවක් එක්ක මමත් ඇතුළු කාන්තාවන් පිරිසක් ඉන් ඉවත් වුණා.
එතකොට කොහොමද ඩාබිඳු සාමූහිකය ගොඩනැගෙන්නේ?
විවෘත ආර්ථිකයත් එක්ක 1978 වෙන කොට නිදහස් වෙළෙඳ කලාප ඇති වුණා. මේවායේ වැඩ කරපු කාන්තාවන්ට විශාල වශයෙන් කර්මාන්ත ශාලව තුළත් මඟ තොටේදිත් ප්‍රශ්න ඇති වුණා. මේ ප්‍රශ්න ගැන කටුනායක ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයේ සෙහොයුරියට දැනගන්න ලැබුණා. ඒත් මේ ප්‍රශ්නවලට විසඳුමක් නැති තැන අපි තීරණය කළා මේවා රටට නිරාවරණය කරමු කියල. මොකද කම්කරුවන්ට කිසිම පහසුකමක් නැති වුණත් ආයෝජකයින්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සපයා තිබුණා. ඒ අනුව විවියන් පැවිදි සොයුරිය, මම, කුමුදුනී රෝසා වගේම කලාපයේ ගැහැනු ළමයි කිහිපදෙනෙකුත් එක්ක කමිටුවක් හදා ගත්තා. අපි මේ කමිටුව හරහා තමයි ඩාබිඳු පත්තරේ කළේ. රෝනියෝ කොළවල මුද්‍රණය කරපු කුඩා පුවත්පතක් විදියට කලාපේ සිදුවන හිරිහැර ගැටලු, ප්‍රශ්න පිළිබඳව අපි බරපතළ විදියට මේ හරහා කතා කරන්න ගත්තා. කලාපේ ගොඩක් ළමයි ඩාබිඳු එකට ලියන්න ගත්තා. අපි ඒ ඒ ආයතනවල සිදුවන අකටයුතුකම් පිළිබඳ නම් ගම් එක්ක සිද්ධි වාර්තා කළා. ආයතන පාරිපාලකයන්ට මේක ඒතරම් ඇල්ලුවේ නැහැ. ඩාබිඳු පත්තරේ කඩවල්වලට දාන්න දුන්නේ නැහැ. වෙන විදියකට විකුණන්න දුන්නෙත් නැහැ. හැබැයි අපි පසුබැස්සෙත් නැහැ. කලාපේ සිදුවුන සිදුවීම් එක්ක අපිට තේරුණා මේ ළමයින්ට අයිතිවාසිකම් ගැන කිසිම අදහසක් නැහැ කියල. ඒ නිසා අපි කාන්තා අයිතිවාසිකම්, කම්කරු අයිතිවාසිකම්, ස්ත්‍රී පුරුෂ සමාජභාවය. පවුල් සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමටත් ඩාබිඳු පත්තරේ යොදාගත්තා. ඩාබිඳු තමයි නිදහස් වෙළෙඳ කලාපයේ ඇති වුණ පළවෙනි සංවිධානය.
ඩාබිඳු මුල් සාමාජිකයින් එයින් ඉවත් වෙද්දි වසර තිස්පහක් ඩාබිඳු අරගලයට ඔබ පන පොවන්නෙ කොහොමද ?
ඔව් ඒක ලේසි නැහැ. මොකද මට දරුවෝ හතර දෙනෙක් ඉන්නවා. අපි කරන්නේ රාජද්‍රෝහී වැඩ කියල පෙන්නන්න බොහෝ අය උත්සාහ දැරුවා. සමාජීය කටයුතුවලට සම්බන්ධ වූ නිසා සිස්ටර්ට විදේශගත වෙන්න සිදු වුනා. ඒක විශාල පාඩුවක් වුණා. ඊට පස්සේ කුමුදුනී රෝසාත් ඉවත් වුණා. ඇයට පත්තරේ තවදුරටත් කරගෙන යන්න බැරි වතාවරණයක් ආවා. ඊට පස්සේ සම්පූර්ණ වගකීම මට පැවරුණා. ඩාබිඳු එක්ක සම්බන්ධ වුණ කලාපේ ළමයින්ට හරියට හිරිහැර වුණා. ඔවුන් ගොඩක් අය නිර්ණාමිකව තමයි අපිට ලිව්වේ. පොලිසි ගානේ මට යන්න වුණා. ජීවිතවලට තිබුණ තර්ජන නිසා අපි පවුලේ හයදෙනා තැන් හයක රෑට නිදාගත්ත දවස් තිබුණා. මගේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන හරියට බලන්න බැරුව ගියා. ඒ කාලේ කම්කරු කාන්තාවන්ගේ අයිතිවාසිකම් ගැන කතා කරන්න සංවිධාන තිබුණේ නැහැ. ඩාබිඳු ගොඩනැගෙන්නෙම ඒ වෙනුවෙන්. අපි ඒ කරපු අරගලය ජාත්‍යන්තරට ගෙන ගියා ඒ වෙනුවෙන් සම්මාන ගණනාවක් මට ලැබුණා.
කම්කරු අරගලයේ එදා සහ අද සටන් පාඨවල වෙනසක් තියෙනවද?
ඔව්, යම් වෙනසක් තිබෙනවා. කම්කරුවන් වෙනුවෙන් රජයක් කිසිම දෙයක් දෙන්න උනන්දු වෙලා තිබුණේ නැහැ. නමුත් ඩාබිඳු සමඟ අද ඉන්න සහ නැති බොහෝ දෙනා කරපු අරගලයක ප්‍රතිඵල විදියට අද කම්කරුවන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත වන යම් යම් නීති සැකසිලා තිබෙනවා. එදාට වඩා අද බෝඩින් කාරමවල පහසුකම් ලබා දීලා තිබෙනවා. යම් ආකාරයකට වැටුප් වැඩිවීම් සිදුවෙනවා. හැමදේකටම වඩා අද කලාපයේ කාන්තාවන් තමන්ගේ ප්‍රශ්න අරන් එළියට එන්න පෙළඹිලා තිබෙනවා. තමන්ට වෙන හිංසන ගැන කතා කරන්න පෙළඹිලා තියෙනවා. නමුත් අපිට අදටත් කම්කරු අරගලය තුළ ඔසවගන්න වෙන සටන් පාඨ තිබෙනවා. ඒ වෙනුවෙන් තවදුරටත් අරගලය ඉදිරියට ගෙනියන්න වෙනවා. අවුරුදු 35ක් ඩාබිඳු අරගලය කියන්නේ පහසු ගමනක් නෙවෙයි. නමුත් අද මට එහි ක්‍රියාකාරීත්වය, ගොඩනැගීම දිහා බලලා සතුටු වෙන්න පුළුවන්.
සංවාද සටහන – ජයනි අබේසේකර