2015 ජූලි 09 දින රිවිර පුවත්පතේ පළ කර තිබු ‘දවසේ ටොක්ක’ කාටූනයට විරෝධය දැක්වීම

2015 ජූලි 09 වන දින රිවිර පුවත්පතේ පළ කර තිබු කැමිලස් විසින් අදින ලද ‘දවසේ ටොක්ක’ කාටූනය පිළිබඳව කාන්තාව හා මාධ්‍ය සාමූහිකයේ අප‍්‍රසාදය හා විරෝධය මෙයින් පළ කරමු.

අපේ රටේ සමස්ත ජනගහනයෙන් 52%ක් වන ස්තී‍්‍රන්, මෙරට ජන්දදායකයින්ගෙන් 56%ක් ද වෙයි. එහෙත් මෙරට, දේශපාලන තීන්දු තීරණ ගන්නා මණ්ඩලවල ස්තී‍්‍රන්ට හිමි වී තිබෙන්නේ ඉතාමත් අඩු ස්ථානයකි. 1931 දී ලාංකිකයන් සර්වජන ජන්ද අයිතිය දිනා ගත් දා සිට අද දක්වා ස්තී‍්‍රන්ගේ දේශපාලන නියෝජනය දෙස බැලූ විට එය පාර්ලිමේන්තුවේ 6% කටත්, පලාත් සභා තුළ 5%කටත් හා පළාත් පාලන ආයතන තුළ 2%කටත් වැනි සුළු ප‍්‍රතිශතයකට සීමා වී ඇත. ස්තී‍්‍රන්ගේ මෙවැනි අඩු නියෝජනයක් පැවතීමට ප‍්‍රධානතම හේතුව ලෙස අප දකිනුයේ ස්තී‍්‍රන් සඳහා ප‍්‍රමානවත් නාම යෝජනා ලබා දීමට දේශපාලන පක්‍ෂවල ඇති පැකිලීමයි.

තීරණ ගන්නා ව්‍යුහයන් තුළ ශක්තිමත් ස්තී‍්‍ර නියෝජනයක් නොමැතිවීම හේතුවෙන් රටේ සාමය හා ආරක්‍ෂාව, ආර්ථික සංවර්ධනය, ප‍්‍රතිසංධානය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතුළු වැදගත් අංශයන්හි ප‍්‍රධාන ප‍්‍රතිපත්ති තීරණ ගැනීමේ දී ස්තී‍්‍ර දෘෂ්ටිකෝණයකින් ප‍්‍රශ්ණ දෙස බැලීමට ඇති ඉඩකඩ සීමා වී ඇත.

cartoon002gossiplankanews

මැතිවරණ උණුසුමක් පවතින අවස්ථාවක ස්තී‍්‍රන්ගේ දේශපාලන නියෝජනය අවමානයට, හාස්‍යයට ලක්වන ආකාරයට හා ලිංගික අරමුණක් ඇතිව ස්තී‍්‍ර රූප යොදාගැනීම පිළිබඳව අපගේ බලවත් අප‍්‍රසාදය ඔබ පුවත්පතට මෙයින් පළ කර සිටින අතර අප ඇතුළු බොහෝ

ස්තී‍්‍ර සංවිධාන දේශපාලන පක්‍ෂවලට දිගින් දිගටම බල කර සිටිනුයේ නාම යෝජනා ලබා
දීමේදී (ස්තී‍්‍ර හා පුරුෂ දෙපකෂයටම) පැරෂුට් හා පවුල් දේශපාලනයෙන් තොරව පක්ෂය තුල කි‍්‍රයාකාරී, පක්ෂය වෙනුවෙන් දරදිය ඇදි, දැනුම හා කුසලතා වලින් පූර්ණ, ජන පදනමක් සහිත අපේක්ෂකයන්ට නාම යෝජනා ලබා දෙන ලෙසයි.

එමෙන්ම රට තුල මැතිවරණ නීති ප‍්‍රතිසංස්කරණ සිදුකිරීම පිළිබඳව සලකා බලන අවස්ථාවේදී දේශපාලනය තුල ස්තී‍්‍ර නියෝජනය වැඩි කිරීමේ අවශ්‍යතාව දැඩිව කථා බහට ලක්වූ අතර ඒ වෙනුවෙන් ගත හැකි නීතිමය හා ප‍්‍රතිපත්තිමය කි‍්‍රයාමාර්ග ගැන දිගින් දිගටම සාකව්ජා විය.

මේ කිසිදු කරුණක් පිළිබඳව අවධානය යොමු නොකරමින් මෙම කාටූනය ස්තී‍්‍රන්ගේ දේශපාලන නියෝජනය හාස්‍යයට ලක්කිරීමටත්, ස්තී‍්‍රන් ලිංගික භාන්ඩ ලෙස හුවා දක්වමින් අපහාස කිරීමටත් යොදාගැනීම තුලින් ඔබ පුවත් පත සමස්ත ස්තී‍්‍ර පරපුරම අවමානයට ලක්කර ඇති බව අපේ හැගීමයි.

වගකිව යුතු ජාතික පුවත් පතක් ලෙස රිවිර පුවත්පත, පුවත්පත් වාර්තාකරණයේදී ස්තී‍්‍රන් පිළිබඳව මෙයට වඩා ගරුත්වයකින් හා ස්තී‍්‍ර ප‍්‍රශ්ණ වලට සංවේදීව ඉදිරියේදී කටයුතු කරනු ඇතැයි අපි බලාපොරොත්තු වන අතර මෙම කාටූනය පලකිරීම පිළිබඳව කණගාටුව ප‍්‍රකාශ කරන ලෙස අපි ඉල්ලා සිටිමු.

ආචාර්ය සේපාලි කෝට්ටේගොඩ
අධ්‍යක්ෂිකා

කුමුදිනී සැමුවෙල්
ජ්‍යෙෂ්ඨ පර්යේෂිකා වැඩසටහන

රසිකා දීපානි
වැඩසටහන් නිළධාරිනී – මාධ්‍ය