මූලාශ්‍රය: සමබිම
දැන් ජනාධිපතිවරණ වේදිකාවට ගොඩවෙමින් ඉන්න අපේක්ෂකයන් බොහො දෙනාගේ මැතිවරණ ප්‍රචාරණය ආගම්වාදය, ජාතිවාදය මත පදනම්ව සිදුවන බවකුයි අපිට දකින්න ලැබෙන්නෙ.
ඔව්, නිදහස ලබා ගත්තට පසුව ලංකාවේ දේශපාලන ව්‍යුහය තුළ ඔබ මේ මතු කළ ආගම, භාෂාව, ජාතිය, කුලය පදනම්කරගත් මතවාදයන් යන්තමින් හෝ තිබුණා. නමුත් ඇත්ත වශයෙන්ම අපේ දේශපාලනය එවැනි තැනකට තදින්ම තල්ලු වුණේ 56 පෙරළියෙන් පසුව. ඒ වන තෙක් ලංකාවේ යම් දේශපාලන ස්ථාවරභාවයක් පැවතුනත් අද වගේම සන්ධානගත වීම් හැමවිටම පෙනෙන්න තිබුණා. උදාහරණයක් විදියට ගත්තොත් ඒ කාලේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් සමඟ වාමාංශික දේශපාලන පක්ෂයක් තමයි සන්ධාන ගත වුණේ. නමුත් එතැනදි සන්ධානගත වෙන්නෙ වාමාංශික හා දක්ෂිණාංශික කියන දේශපාලන මතවාදයන් සමඟ.
ඒත් සමානුපාතික නියෝජන ක්‍රමය හඳුන්වල දුන්නට පසුව ලංකාවේ මේ කියන්නා වූ දේශපාලන තත්ත්වය වෙනස් වෙලා ඔබ කියන්නා වූ ආකාරයේ බෙදුම්වාදය මත පදනම් වූ දේශපාලන ක්‍රමයක් දක්වා අපි විතැන් වෙලා තිබෙනවා. ඒත් සමඟ අර දේශපාලන පක්ෂවල තිබුණ වාමාංශික, දක්ෂිණාංශික පදනමත් යම් විදියකට බිඳ වැටී තිබෙනවා. හැබැයි අද වාමාංශික දේශපාලන පක්ෂ සන්ධාන ගත වීම්වලටත් වඩා බලපෑම්කාරී පක්ෂ විදියට ක්‍රියාත්මක වන බවකුයි පෙනෙන්නේ. එනිසාම දේශපාලන පක්ෂ සන්ධාන ගත වීමේදී එදා තිබුණ තත්ත්වයම නෙවෙයි අද තිබෙන්නෙ. කෙසේ නමුත් ප්රජාතන්ත්රවාදයේ ප්‍රධාන ටූල් එකක් විදියටයි දේශපාලන පක්ෂ තියෙන්නෙ. අද පක්ෂයක කාර්ය භාරය, පක්ෂයක් පිහිටුවීමේ මූලික ප්‍රතිපත්තිමය කාරණා ඉක්මවා වෙනත් දේශපාලන කාරණාවන් විසින් පක්ෂ වෙළාගෙන තිබෙනවා. මේ පක්ෂ යටපත් වීමෙන් ජනතාව දේශපාලන පක්ෂයකින් අපේක්ෂා කරන දේවල් බිඳ වැටී තිබෙනවා. මෙය දේශපාලනික වශයෙන් විශාල අර්බුදයක් නිර්මාණය කරපු තත්ත්වයක්. එක අතකින් ප්රජාතන්ත්රවාදය හේතුවෙන් අත්පත් කර ගෙන තිබෙන්නා වූ නිදහස මෙවැනි වූ ආකාරයේ දේශපාලනික තත්ත්වයන් නිර්මාණය කිරීමට බලපා ඇති බවකුයි හැගෙන්නෙ.
මේ මොහොතේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම සන්ධානගත වීමට ආසන්න අවස්ථාවකයි ඉන්නේ. මේ සන්ධාන දේශපාලනය අපි තේරුම්ගත යුත්තේ කොහොමද?
ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ අද තත්ත්වය අපි විමසා බැලුවොත් සමාජ ප්රජාතන්ත්රවාදය අනුගමනය කරන පක්ෂයක් විදියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිංහල බෞද්ධ පදනමකිනුයි ක්‍රියාත්මක වෙන්නෙ. එතකොට සිංහල බෞද්ධ අවශ්‍යතාවයන් අනුව ගොඩනැගුණු අනිකුත් සුළු පක්ෂ මේ වටා රොක් වෙනවා. අනික් පැත්තෙන් ප්‍රතිපත්ති මූලික කරගෙන ඒ ප්‍රතිපත්ති පිළිබඳ යම් එකඟතාවයකට එන සිංහල, දෙමළ, මුස්ලිම් පක්ෂවල ඒකරාශිත්වයෙන් සන්ධාන ගත වීමක් එක්සත් ජාතික පක්ෂය තුළ තිබෙනවා. ඒ වගේම පුද්ගල කේන්ද්‍රීයව සන්ධාන ගත වෙන දේශපාලන පක්ෂත් තිබෙනවා. මේ රටේ සමාජ දේශපාලන පදනම දිහා බැලුවොත් සිංහල බෞද්ධ පදනම මත සිදුවන සන්ධාන ගත වීමකට වඩා මම දකින්නේ විසිරුණු ජන පදනමක් ඒකරාශී කර ගත් සන්ධාන ගත වීම වඩා හොඳ බව. මේ සන්ධාන ගත වීම්වල හොඳ වගේම නරකත් තිබෙනවා. අනිත් හැමදෙනාගේම එකඟතාවයෙන් රාජ්‍ය බලය ලබාගෙන ආණ්ඩුකරණය කිරීම කියන මූලිකාර්ථයෙන් මෙය හොඳයි. නමුත් එහි තිබෙන ප්රශ්නය තමයි එවැනි පක්ෂයක් ජයග්රහණයෙන් පසුව ප්‍රධාන පක්ෂයේ ප්‍රතිපත්තිවලට වඩා ඔවුන් දිනවීම සඳහා පෙනී හිටපු අනිකුත් දේශපාලන පක්ෂවල කේවල් කිරීම්වලට යොමු වීමේ ඉඩකඩක් තිබීම. මොකද මේ ඒකරාශී වෙන පක්ෂ තම තමන්ගේ බෙදුම්වාදී දේශපාලන පදනම් සමඟ මිසක් එය අත්ඇරල ඇවිත් නෙවෙයි සන්ධානගත වෙන්නේ. එතනදී අර ප්‍රධාන පක්ෂයට ජයගැනීමට තිබෙන ප්‍රතිපත්තිමය අභියෝග පසෙකලා තමන්ගේ ආණ්ඩුවේ ස්ථාවරත්වය පවත්වා ගැනීම වෙනුවෙන් මේ අයව සන්තර්පණය කරන්න සිදුවෙනවා. පක්ෂයකින් ජනතාව අපේක්ෂා කරන කාරණා බිඳ වැටිලා වෙන තැනකට දේශපාලන පක්ෂ විතැන් වීමේ ඉඩකඩ මේ තත්ත්වය තුළ හොඳටම තිබෙනවා. දැන් ඉතිහාසය ගත්තොත් යූඑන්පීයට වඩා සන්ධාන ගතවීම්වලට ගියේ ශ්රීලනිපය. නමුත් අද ශ්රීලනිපය දේශපාලනික වශයෙන් ඉන්න තැන අනුවත් එහි දෙකඩ වීම අනුවත් එක පැත්තක් පුද්ගල කේන්ද්රීයවත් අනිත් පැත්ත වාර්ගික බෙදීම් සමඟත් කටයුතු කරනවා. මෙය විශාල දේශපාලනික පසුබෑමක් වගේම අද සන්ධානගත වීමේ තිබෙන ප්‍රබලම අර්බුදයකුත් විදියටයි මම දකින්නෙ.
තවදුරටත් මෙවැනි සන්ධානගත දේශපාලනය ගැන ජනතාව විදියට අපිට විශ්වාසය තැබිය හැකිද?
විශ්වාසය තහවුරු කිරීමේ වගකීම දැරීම ප්‍රධාන දේශපාලන පක්ෂවල කාර්යභාරයක්. මොකද මේ වෙලාවේ ජනතාව කුමන පදනමකින් වුනත් දේශපාලන පක්ෂ බැහැර කරමින් ඉන්න තත්ත්වයකුයි තිබෙන්නෙ. ඇත්ත වශයෙන්ම සියයට තිහක විතර පාවෙන ඡන්ද ප්‍රතිශතයකින් තමයි කවුරු ආවත් ඔවුන්ගේ ජයග්‍රහණය තීරණය කරන්නෙ. 1996 ඉඳලා ගත්තොත් පක්ෂයකට වඩා සිවිල් සමාජය ශක්තිමත් වීම තුළ විශාල දේශපාලන පෙරළියක් කරන්න උත්සාහ ගත්තා. සිවිල් සමාජය යම් පීඩනයක් ප්‍රධාන දේශපාලන පක්ෂ මත යොදන්නෙම මේ මේ දේවල් කරන්න කියල. නමුත් එවැනි මැදිහත්වීම් තුළ ජනතාව ජයග්‍රහණය කරවීමට කටයුතු කළ දේශපාලන පක්ෂවල ක්‍රියාකාරීත්වය බැලුවම ඔවුන් ජනතා අපේක්ෂා නිර්දය ලෙස බිඳ දමා තිබෙනවා. ඒ වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජය පවා පිළිනොගන්න තැනකට ජනතාව අද පත්වෙලා තිබෙනවා.
ඒ වගේම මේ ජනාධිපතිවරණය මූලික කරගෙන ගොඩනැගෙන දේශපාලන සංවාදය නගරයෙන් ඔබ්බට ගිහින් නැහැ. මෙහි සැබෑ තත්ත්වය තථ්‍ය ආකාරයෙන්ම ජනතාවට අවබෝධ කර දීම තුළයි මේ දේශපාලන අර්බුදයේ යම් විසඳුම් ප්රවේශයකට හෝ අපිට එළැඹෙන්න අවස්ථාව තිබෙන්නෙ. මොකද මෙය ඉතාමත්ම තීරණාත්මක දේශපාලන අවධියක්. මොන ආකාරයකට පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කළත් මොන ආකාරයට සන්ධාන හැදුවත් ප්‍රධාන දේශපාලන පක්ෂවලට හැකියාවක් තිබෙනව නම් ජාතික ප්‍රතිපත්තියක් හරියට ඉදිරිපත් කරන්න මම හිතන්නෙ සුළු පක්ෂවලටත් අර කේවල් කිරීමේ හැකියාව නැති වෙනවා. ජනතාවගේ පාර්ශ්වයෙන් ගත්තොත් ඔවුන් හිතන්නත් ඕන තමන්ට වැදගත් වන පුද්ගලයට වඩා මේ රට හරියට මෙහෙයවා ගන්න සමත් වෙන ජාතික ප්‍රතිපත්තියක් පිළිබඳ අවධානයෙන් තමන්ගේ කතිරය ගහන්න.
මෙවැනි දේශපාලන වතාවරණයක සිවිල් සමාජයේ ස්ථාවරය කෙබඳු විය යුතුයිද?
මම කලින් කිව්ව විදියටම සිවිල් සමාජය දිහා අද ජනතාව බලන්නේ යම් අවිශ්වාසයක් එක්ක. ඉතාම සාමාන්‍ය අර්ථයෙන් ගත්තොත් දියුණු සමාජවල සිවිල් සමාජ ක්‍රියාකාරීත්වය අපි දකින්නේ ඔවුන් ප්‍රධාන දේශපාලන ප්රවාහයට එක්වීමට අකමැති ඒත් යම් ආකාරයකට පෙළඹවීමක් කරල රටේ සමස්ත ජනතාව වෙනුවෙන් යමක් නිසි ලෙස විය යුතුයි කියල පෙළඹවීමක් ඇති කරන පිරිසක් හැටියට. නමුත් අපි දන්නවා පසුගිය කාලයේ සිවිල් සමාජ ක්‍රියාධාරීන් මේ දේශපාලන ප්රවාහයට ඇතුල් වෙලා නෙයෙකුත් රාජ්‍ය ආයතන එක්ක වැඩ කරන්න පටන් ගත්තා. අද ජනතාව ඇඟිල්ල දිගු කරන්න පටන් ගෙන තිබෙනවා සිවිල් සමාජයත් මේ කියන වැරදි හදන්නෙ නැතුව මේ දේශපාලන ක්‍රමය තුළට ඇතුල් වෙලා එයට අනුගත වෙලා එයින් ස්වයං පෝෂිත වුණා කියල. ඒ නිසාම මම හිතනවා සිවිල් සමාජයට අද සිද්ධ වෙලා තිබෙනවා තමන් පිළිබඳව ස්වයං විවේචනයක් කරන්න. මොකද සිවිල් සමාජය තමන්ගේ කාර්ය භාරය හරියට අඳුන ගන්නෙ නැතුව මේ ප්රවාහයට එක් වෙනවා නම් එය දේශපාලනික වශයෙන් මේ රටේ ජනතාවට අකාරුණික වීමක්. ඇත්ත වශයෙන්ම අර පාවෙන ඡන්ද ප්‍රතිශතය කෙරෙහි විශාලම බලපෑම කළ හැකි පිරිස වෙන්නෙ මේ සිවිල් සමාජය. ඒ නිසාම මේ ක්‍රියාවලියේදී සිවිල් සමාජයට සිද්ධ වෙනවා වඩාත් අවංකවත් ඍජුවත් විනිවිදභාවයකිනුත් කටයුතු කරන්න.