මූලාශ්‍රය: සමබිම
ඔබ ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් පෙනී සිටින ක්‍රියාකාරිනියක්. රටින් පිටස්තරව ඉඳිමින් ඔබ අපේ මුස්ලිම් සමාජය දකින්නේ කොහොමද?
මම වසර විස්සක් වගේ කාලයක් තමයි ලංකාවෙන් බැහැරව ඉඳල තියෙන්නෙ. නමුත් කාන්තා ක්‍රියාකාරිනියක් හැටියට වගේම මුස්ලිම් කාන්තාවක් විදියටත් මම ලංකාවේ මුස්ලිම් සමාජයේ සිදුවන වෙනස්වීම්, ඔවුන්ට තමන්ගේ සමාජයේ හිමි තැන පිළිබඳ අවදියෙන් අවබෝධයෙන් ඉන්න කෙනෙක්. මම දකින දේ තමයි අද ලෝකයේම මුස්ලිම් රටවල්වලින් බහුතරයක් යම් විදියකට ඉදිරියට ගමන් ගනිමින් තිබියදී තවත් රටවල් ප්‍රමාණයක් පසුපසට යමින් තිබෙනවා. නමුත් මේ ඉස්ලාමීය රාජ්‍යවලත් ලංකාවෙත් මම දකින පොදු දේ තමයි එහි කාන්තාවන් තලා පෙළන දැඩී පීඩනයකට ලක්කරන තත්ත්වයක් තිබීම. මේක විශාල ඛේදවාචකයක්. මේ නීතියෙන් මුස්ලිම් කාන්තාවට සිදුවන අගතිය බරපතළයි. ඊට එරෙහිවයි මම වැඩකරමින් ඉන්නේ.
රටක නීතිය සහ ආගම කියන්නේ දෙකක්. නමුත් අපිට පේන දේ තමයි මුස්ලිම් නීතිය දැඩි ලෙසම ආගම සමඟ සම්බන්ධ කර තිබෙනවා.
ඔව්, මේක පැහැදිලිව දෙකක්. නමුත් මුස්ලිම් සමාජය කියන්නේ ආගමට විශාල තැනක් දුන්න සමාජයක්. ඒ නිසාම මුස්ලිම් සමාජයේ මතයක් තිබෙනවා ආගම තමයි තමන්ගේ හැමදේම කියල. ආගමෙන් තමයි තමන් පාලනය විය යුත්තේ කියල. මේක ලංකාවට විතරක් අදාළ තත්ත්වයක් නෙවෙයි. එංගලන්තයේ පවා මුස්ලිම් සමාජය ෂරියා නීති හදාගෙන එයින් පාලනය වෙමින් ජීවත් වුණේ. අද එයාලට තේරෙනවා ෂරියා නීතිවලින් පාලනය කරමින් සමාජයක් ඉදිරියට ගෙනියන්න බැරි බව. මුස්ලිම් සමාජය විදියට අපි තේරුම්ගත යුතුයි අපේ පසුපසින් එන අනාගත පරම්පරාවට අපි දයාද කරන්නේ ගැහැනුන්ට අරක බෑ මේක බෑ කියන සංස්කෘතියක්ද? මේ නීති සංශෝධනය කරන්න කිව්වම ආගමික අයිතිවාසිකම් පිළිබඳ අර්බුදයක් විදියටයි මුස්ලිම් සමාජයේ ඇතමුන් මෙය බාරගන්නේ. නමුත් මේක ගැහැනුන්ගේ අයිතිවාසිකම්, මානව හිමිකම් උල්ලංඝනය වීම පිළිබඳ ප්‍රශ්නයක්.
මුස්ලිම් විවාහා හා දික්කසාද නීතිය සංශෝධනය කිරීම සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වෙලා එහි යම් අවසානයකට ළඟා වෙමින් තිබුණත් ප්‍රධාන මුස්ලිම් ආගමික කණ්ඩායම්වලින් එයට විරෝධය පළවෙනවා.
ඔව්. මේ ආගමික නායකයෝ විශාල පුරුෂාධිපත්‍යයක් දරන මෙවැනි නීති රැකගන්න උත්සාහ දරනවා. මේ වෙන කොට ආගමික අයිතිය තියෙන්නෙ විශාල බලයක් තියෙන කොටසක් අතේ. ඇත්ත වශයෙන්ම මේ ආගමික නායකයන්ට ‘ටෙක්ස්ට්’ එක ගැන අදහසක් තිබුණට මේ ‘කොන්ටෙක්ස්ට්’ එක ගැන අවබෝධයක් නැහැ. ඒ අයට මුදල් තියෙනවා. ආගමික බලය නඩත්තු කිරීම වෙනුවෙන් වෙනත් රටවලින් අනුග්‍රහය ලැබෙනවා. ඒ අයගේ කාර්ය භාරය වෙන්නේ තමන්ගේ ආගමික ස්ථාන හොඳින් නඩත්තු කරමින් ඉන්න එක. ඔවුන් මේ සංශෝධන වෙන්න දෙන්නේ නෑ ඒකෙන් ආගමට හානියක් වෙනවා කියල. නමුත් මම දකින සුබවාදී දේ තමයි ඒ විරෝධයට ප්රතිපක්ෂව, මේ නීති රීතිවලට එරෙහිව, අද අපේ මුස්ලිම් සමාජයෙන් විශාල හඬක් නැගෙනවා. අවුරුදු ගණනාවකට කලින් මෙවැනි ප්‍රවණතාවයක් තිබුණේ නැහැ. අපිට ප්රශ්නය තියෙන්නේ ඉස්ලාම් ආගම එක්ක නෙවෙයි. අපි අත්දකිමින් සිටින යථාර්ථය ගැනයි. ඉතින් මම හිතනවා මුස්ලිම් ජාතික පුරුෂයන්ට යුතුකමක් තිබෙනවා තමන් අතින් තමන්ගේ කාන්තාවන්ට එරෙහිව සිද්ධ වෙන මේ අසාධාරණයට එරෙහිව ඔවුන් සමඟ එකට සටන් කරන්න.
රටක පොදු නීතියක් පවතිද්දි ඊට පරිබාහිරව පුද්ගලික නීති පැවතිය යුතුයි කියා ඔබ හිතනවද?
මම ඉතා පැහැදිලිව කියනවා රටක පොදු නීතියක් තිබියදී කිසිම පුද්ගලික නීතියක් අනවශ්‍යයි. අපිට ඇයි බැරි ඒ පොදු නීතියෙන් පාලනය වෙන්න? මේ මුස්ලිම් පුද්ගලික නීතිය යටතේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිද්ධ වෙන්නේ. අපි තේරුම් ගත යුතුයි එදා තත්ත්වයෙන් අද මුස්ලිම් කාන්තාව දිහා බලන්න බැහැ. ඔවුන් ගොඩක් ඉදිරිගාමීයි. මේ නීතියෙන් ඔවුන්ව ගොඩක් බැඳලා හිරකරල තියෙන්නෙ. උඩරට නීතියේ හෝ තේසවලාවේ නීතිය වගේ පුද්ගලික නීතිවල තිබෙන්නේ අපිට තිබෙන ප්‍රශ්නම නෙවෙයි. ඒ නිසා මම හිතන්නේ මුස්ලිම් කාන්තාවන්ට තවත් මේ නීතිය වෙනස් කිරීම ගැන කතිකා කර කර ඉන්න දෙයක් නැහැ. මෙය සහමුලින් අහෝසි විය යුතු නීතියක්.
ඔබ ලංකාව පුරා ගමන් කරමින් මුස්ලිම් කාන්තාවන් දැනුවත් කිරීම වෙනුවෙන් වැඩ කරනවා. එම කාන්තාවන් මේ සම්බන්ධව දක්වන ප්‍රතිචාරය ගැන ඔබේ අත්දැකීම කෙබඳුද?
බිම්මට්ටමේ වැඩකරද්දි මට තිබෙන අත්දැකීම අනුව ගොඩක් මුස්ලිම් කාන්තාවන් දන්නේ නැහැ තමන් පාලනය වෙන්නේ මෙැවනි නීතියකින් බව. ඒ බොහෝ දෙනා දන්නේ නැහැ මෙහි තිබෙන බරපතළකම. ඉතින් මම හිතනවා අපිට වැඩි වැඩියෙන් මුස්ලිම් ක්‍රියාකාරිනියන් අවශ්‍යයි. මෙවැනි නීතියකින් මේ කාන්තාවන්ට සිද්ධ වෙන දේට එරෙහි වෙන්න, ඔවුන් වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් එහෙම වුනොත් විතරයි.
මෙවර සමබිමක ඇය වෙනුවෙන් සංවාදයට එක්වන්නේ සමාජ ක්‍රියාධරනියක් වන නීතිඥ සොරායා මිරාක් ඩීන්ය.
සංවාද සටහන ජයනි අබේසේකර