Sambima Supplement: අපි බහු සංස්කෘතික රටක් බව උගන්වන අධ්‍යාපන ක්‍රමයක් අවශ්‍යයි

මූලාශ්‍රය: සමබිම

සංහිඳියාව ගොඩනැගීම වෙනුවෙන් පසුගිය වසර හතරක කාලයේ ආණ්ඩුව ගත් උත්සාහයන් ඔබ දකින්නෙ කොහොමද?

මෙම සංහිඳියා ක්‍රියාදාමය පිළිබඳව මට පුද්ගලික අත්දැකීමක් නැහැ. නමුත් ‘ජාතික සමඟිය සහ සංහිඳියා කාර්යාංශය’ සහ අනෙකුත් අය විසින් යම් මූලික උත්සාහයන් ගත් බව මා දන්නවා. මේවා පුළුල් වශයෙන් ඉලක්ක ගත කෙරුනේ විවිධ ජන කොටස් එකතු කිරීමටත් එකිනෙකා තේරුම් ගැනීමත් එකිනෙකාට ගරු කිරීමත් සඳහා අවකාශයක් විවෘත කිරීමටයි. විශේෂයෙන්ම සඳහන් කරනවා නම් දිවයිනේ උතුරේ සහ දකුණේ ජීවත්වන ජන කොටස් අතර සාමකාමී සහජීවනයක් ගොඩනැගීම සඳහායි. බොහොමයක් වැඩසටහන් වලින් ඉලක්ක ගත කෙරුනේ පාසල් සහ විශ්වවිද්‍යාලවල ඉගෙනීම ලබන තරුණ ජනයායි. මෙයට අමතරව උතුරේ ඉඩම් සහ දේපොළවල නියම අයිතිකරුවන්ට ඒවා නැවත පවරා දීමට ආණ්ඩුව උත්සාහ ගත් බවත් මා දන්නවා.

නමුත් පාස්කු ඉරිදා ප්‍රහාරය සමඟ යම් පමණකට හෝ ගොඩනගා ගත් සංහිඳියාව බිඳ වැටුණ බවයි ඒ මොහොතෙ බොහෝ දෙනා දරපු අදහස.

පාස්කු ඉරිදා සිදුවූ කුරිරු ක්‍රියාවන් නිසා මෑත අතීතයේදී සිදුවූ සංහිඳියා ප්‍රයත්නයන් අඩාල වූවා යයි මා පුද්ගලිකව හිතන්නේ නැහැ. එයට සාක්ෂිය වන්නේ අප්‍රේල් 21 න් පසු සති කීපයක් යන තුරු ප්‍රචණ්ඩ ක්‍රියා සිදු නොවීමයි. ඇත්ත වශයෙන්ම වෙසක් උත්සවය සියලු‍ම ජන වර්ගවල සහභාගිත්වයෙන් සිදුවීම සැනසීමට කාරණයක්. එයට පසු අප දුටුවේ බොහෝ සෙයින් පුද්ගලික සහ දේශපාලන න්‍යාය පත්‍රවලට සම්බන්ධව වෙනත් හේතු මත සිදුවූ එක් ජන වර්ගයක් ඉලක්ක කර ගත් අප්‍රසන්නතාවය, වෛරය සහ ප්‍රචණ්ඩත්වයයි. ඒ නිසා සංහිඳියාව සම්බන්ධව ඇතිවූ ප්‍රගතිය පිළිබඳව මා අධෛර්යයට පත් වන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම සියලු‍ම ජන වර්ගවලට අයත් කාරුණික සහ දයානුකම්පිත එමෙන්ම මේ රටේ සිටින සියලු‍ම ජනයා සාමකාමීව එක්ව ජීවත් වෙතැයි අපේක්ෂා කරන බොහෝ පිරිසක් සිටිනවා.

සාමය ස්ථාපිත කිරීම වෙනුවෙන් ගත් අතීත උත්සාහයන්වලදී ඒ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යන්න ඒ වකවානුවේ අසමත් වුණේ ඇයි?

චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනියගේ කාලයේදී ප්‍රථමයෙන්ම මුල පිරූ එක් ක්‍රියාවක් වූයේ අර්බුදයට සාමකාමී පිළියමක් ලෙස එල්ටීටීඊය සංවිධානය සමඟ සාකච්ඡා ආරම්භ කිරීමයි. එතුමිය දෙපාර්ශ්වයටම පිළිගත හැකි විසඳුමකට පැමිණීමට නියෝජිතයන් බොහෝ දෙනෙක් සාකච්ඡා සඳහා පිටත් කළා. සටන් විරාමය බිඳ වැටුණු පසුව සහ නැවත සටන ආරම්භ කිරීම සඳහා බල කෙරුණු පසුව එතුමිය සටන සමඟම සුදු නෙළු‍ම් ව්‍යාපාරය නැමැති රට පුරා පැවතුනු සාම ව්‍යාපාරයක් ආරම්භ කළා. සාම තවලම් යොදා ගනිමින් උතුරේ දෙමළ ජනතාවගේ අව්‍යාජ දුක්ගැනවිලිවලට විසඳුමක් සෙවීමේ අවශ්‍යතාව පිළිබඳ පණිවිඩය දිවයිනේ සියලු‍ම දිස්ත්‍රික්කවලට ගෙන ගියා. එතුමියගේ වර්ෂ 2000 ව්‍යවස්ථා සංශෝධනය මගින් අවංකව උත්සාහ කෙරුනේ උතුරේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුමක් සෙවීමටයි. අවාසනාවකට මේ කිසිම උත්සාහයක් සාර්ථක වුනේ නැහැ.

ඒ උගත් පාඩම් මොන තරම් දුරට අද රටේ ක්‍රියාත්මක වන සංහිඳියා ක්‍රියාවලිය ශක්තිමත් කරන්න උපකාරයක්ද?

නැවතත් අපගේ අතීතයෙන් සහ ජ්‍යාත්‍යන්තර උදාහරණවලින් ඉගෙන ගනිමින් බලය බෙදීම පිළිබඳ ප්‍රශ්නය විසඳාගත හැකි වන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගිනුයි. ඒ සමඟම අප ඇත්ත වශයෙන්ම බහු සංස්කෘතික සහ බහු වාර්ගික රටක් බව අපගේ අධ්‍යාපන ක්‍රමය මගින් සමාජයට දැනුම් දීමට බරපතළ උත්සාහයක් අප විසින් ගත යුතුව තිබෙනවා. විවිධත්වයට ගරු කරමින් සහ එය අගය කරමින් අන් අය සමඟ සහයෝගිතාවයෙන් සහ මිත්‍රත්වයෙන් යුතුව ජීවත්වීමට ඉගෙන ගැනීම අත්‍යවශ්‍යයි. පාසල් විෂය නිර්දේශයට යෝග්‍ය එකතුකිරීම් සහ ගුරුවරුන් පුහුණු කිරීම මගින් මෙය සිදු කිරීම කළ නොහැක්කක් නොවේ. එනමුත් මේ සඳහා ආණ්ඩුව කරවන නායකයන්ගේ අව්‍යාජ උනන්දුවක් සහ කැපවීමක් තිබිය යුතුයි.

අද සංහිඳියාව වෙනුවෙන්ම ක්‍රියාත්මක වන රාජ්‍ය ආයතන පිහිටුවා තිබෙනවා. සාමය, සහජීවනය පිළිබඳ මහජන සංවාදයක් ඇති කරන්න මේ ආයතනවල ක්‍රියාකාරීත්වය ප්‍රමාණවත්ද?

මා අවංකවම සිතන්නේ පවතින ආයතන සහ ව්‍යුහයන් වැඩිකිරීම අවශ්‍ය නොවන බවයි. අවශ්‍ය වන්නේ සමාජය වෙත මෙම පණිවිඩය ගෙන යාම සඳහා අව්‍යාජ කැප වීමකි. එමෙන්ම නිරවුල් උපායමාර්ගික සැලැස්මක් සහ එය ක්‍රියාත්මක කිරීම සඳහා කාල සටහනකි. මේ සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදන තිබෙන බව මට විශ්වාසයි.

ඔබ නියෝජනය කරන පුරවැසි සංවිධානය (වගකීම් සහගත පාලනය සඳහා ආගම්) සංහිඳියාව පිළිබඳ මහජන කතිකාවක් ඇති කිරීමට දෙන දායකත්වය කුමනාකාරද?

‘වගකීම් සහගත පාලනය සඳහා ආගම්’ යනු 2018 ඔක්තෝබර් දේශපාලන අර්බුදයෙන් පසුව බිහිවූ සංවිධානයක්. එයින් පසුව සහ විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අප ශක්තියෙන් සහ සංඛ්‍යාවෙන් වැඩි වුණා. අප සමාන ලෙස සිතන සියලු‍ ආගමික විශ්වාසයන්ට අයත් අධ්‍යාත්මික, භාවනාමය සහ යාඥාමය පදනමකින් යුත් කුඩා සහ සරල කණ්ඩායමක්. අපේ පිවිසුම කාරුණික සහ දයාන්විත එකක්. සියලු‍ දෙනාටම අප එකසේ ගරු කරනවා. අපට ආවේනික වූ සරල ක්‍රියාමාර්ග මගින් කුඩා කණ්ඩායම් විසින් කරන නිශ්ශබ්ද භාවනාවන් සහ යාඥාවන් හරහා අපේ විශ්වාසයන් සහ පණිවිඩය අප බෙදා ගනිමින් සිටිනවා. ප්‍රහාරාත්මක සහ ආක්‍රමණශීලි ප්‍රවේශයක් වෙනුවට මෙරට තිබෙන ප්‍රධාන ආගම් හතරේ අධ්‍යාත්මික ගුරුවරුන්ගේ ඉගැන්වීම් අනුව යමින් සංවේදනය සහ කාරුණිකත්වය අගයමින් ගැටුම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීම සහ එකිනෙකාට ගරු කිරීම අප ප්‍රවර්ධනය කරනවා. අප විශාල සංවිධානාත්මක කණ්ඩායමක් නොවන නිසා අපේ ජාතිය මේ අවස්ථාවේදී මුහුණ දෙන බරපතල ජාතික ප්‍රශ්නවලට ආමන්ත්‍රණය කිරීමට හැකියාවක් අප සතුව ඇතැයි මා සිතන්නේ නැහැ.

සමබිමක ඇය වෙනුවෙන් මෙවර සාකච්ඡාවට එක්වන්නේ හිටපු අධ්‍යාපන ලේකම්වරියක වන වෛද්‍ය ටාරා ද මෙල්ය.