සිදුවීම
ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් සාමාජිකයින් 13 දෙනෙකුගෙන් සමන්විත එක් රටක් එක් නීතියක් සඳහා වූ ජනාධිපති කාර්ය සාධක බලකායක් පත් කරන ලදී. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පරිච්ඡේදය සහ ජාත්‍යන්තර නීතිය යටතේ දැක්වෙන පරිදි, ජාතිය, ආගම, කුලය හෝ වෙනත් කිසිදු සාධකයක් මත කිසිදු පුරවැසියෙකු නීතියේ වෙනස්කමකට හෝ විශේෂයකට භාජනය කළ නොහැකි වන ලෙස මූලික අයිතිවාසිකම් ක්‍රියාත්මක කිරීම සහ ආරක්ෂා කිරීම තහවුරු කිරීම එහි අරමුණ වන බව ඔහුගේ ගැසට් පත්‍රය මගින් කියා සිටියි.
මෙම කාර්ය සාධක බලකායට පහත දැක්වෙන කාර්යයන් නියම කොට ඇත-
1. ශ්‍රී ලංකාව තුළ එක් රටක්, එක් නීතියක් ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අධ්‍යයනය කර ඒ සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම,
2. අධිකරණ අමාත්‍යාංශය විසින් මේ වන විට මෙයට අදාළව සකස් කර ඇති නීති කෙටුම්පත් හා සංශෝධනයන් අධ්‍යයනය කොට ඒවායේ යෝග්‍යතාවය හා සුදුසු සංශෝධන වේ නම් ඒ සඳහා යෝජනා ඉදිරිපත් කිරීම හා යෝග්‍ය පරිදි අදාළ කෙටුම්පතට ඇතුළත් කිරීම.
කාර්ය සාධක බලකාය පත් කර ඇත්තේ අධිකරණ අමාත්‍යාංශය මග හැරීමට සහ එහි කාර්යයන් අභිබවා කටයුතු කිරීමට බව පැහැදිලි ය. මෙය නීතියේ ආධිපත්‍යයට, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට සහ නීති සම්පාදක ක්‍රියාවලියට නිගරු කිරීමකි. ඇත්ත වශයෙන්ම, කාර්ය සාධක බලකාය පත් කිරීම පිළිබඳ තමන්ගෙන් විමසා නොමැති බවත් තමන් ඒ පිළිබඳ නොදැනුවත් බවත් එම තීරණය සම්බන්ධයෙන් තමාට පැහැදීමක් නොමැති බවත් අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කොට ඇත. ජනාධිපතිතුමා විසින් තම අමාත්‍ය මණ්ඩලය නොසලකා හැරීම, සිදු කර ඇති යම් සැලකිය යුතු ප්‍රගමනයක පිළිගැනීමට බලපෑමක් වන්නේ ය.
එහි සභාපති වශයෙන් පත් කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ මුස්ලිම් ප්‍රජාවට එරෙහිව ප්‍රසිද්ධියේ ජාතිවාදය ඇති කිරීමට පොළඹවන මෑත කාලීන ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසය තුළ දැඩි ආන්දෝලනාත්මක චරිතයක් බවට පත් වූ බෞද්ධ භික්ෂුවකි. ජාතිය, ආගම හෝ කුලය මත වෙනස්කමකට හෝ විශේෂයකට ලක් කිරීම පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පිහිටුවන ලද මණ්ඩලයකට එවැනි පුද්ගලයකු පත් කිරීමේ ඇති පක්ෂග්‍රාහිත්වය පිළිබඳ මෙසේ පැහැදිලි ලෙසම නොසලකා හැරීම සම්බන්ධයෙන් අප තුළ චකිතයක් මතුව ඇත.
සාමාජිකයින් 13දෙනා අතර දමිළ ජනවර්ග සුළුතරය සඳහා කිසිදු නියෝජනයක් නොමැත. ජනවාර්ගික අරගලයක් සහ වෙනස්කොට සැලකීම පිළිබඳ අපගේ ඉතිහාසය සලකා බැලීමේ දී මෙය භයානක කරුණකි. තවද, මෙම කාර්ය සාධක බලකාය පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන්වහන්සේ විසින් මූලිකත්වය දරනු ලබන බව හෝ උන්වහන්සේ එහි සාමාජිකයකු වීමට සිටින බව ගැසට් පත්‍රය නිකුත් කරන තෙක් කාර්ය සාධක බලකායේ මුස්ලිම් සාමාජිකයින් දැන නොසිටි බව වාර්තා විය.
ඊට අමතරව, කාර්ය සාධක බලකායට කිසිදු කාන්තාවක් පත් කර නොතිබීම ද කනස්සල්ලට කරුණකි. විශේෂයෙන්ම පුද්ගල නීති, කාන්තාවන්ගේ ජීවිත කෙරෙහි සෘජු බලපෑමක් සහිත නීති පිළිබඳ සාකච්ඡා කෙරෙන සංසදයක, කාන්තා නියෝජනයක් නොමැති වීම මගින් කාර්ය සාධක බලකාය සකස් කිරීම පිටුපස ඇති පුරුෂ මූලික පෙළඹවීම පැහැදිලිවම නිරූපණය වේ.
මතභේදය විග්‍රහ කිරීම
ශ්‍රී ලංකාවේ කාන්තා කණ්ඩායම්, විශේෂයෙන්ම මුස්ලිම් කාන්තා කණ්ඩායම් විසින් වසර ගණනාවක සිටම මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත (MMDA) ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සංවිධානාත්මකව කටයුතු කරමින් සිටිති. නීතිය සහ ජාත්‍යන්තර නීතිය ඉදිරියේ සමානාත්මතාවය සඳහා වන සංශෝධන බොහෝ වාර ගණනක් සඳහන් කොට ඇත. ඇත්ත වශයෙන්ම, පසුගිය මාස කිහිපය තුළ, මෙම උත්සාහයන්හි ප්‍රගතියක් තිබුණි. ඒ අනුව විශේෂඥ කමිටු වාර්තාවක් අධිකරණ අමාත්‍යංශය වෙත ඉදිරිපත් කර තිබූ අතර මුස්ලිම් විවාහ සහ දික්කසාද සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන සිදු කිරීම සඳහා අධිකරණ අමාත්‍යංශය විසින් කටයුතු කරමින් සිටින බව මාධ්‍ය විසින් වාර්තා කර තිබුණි.
විශේෂයෙන්ම එකී සභාපතිවරයා සහිතව මෙම කමිටුව පත් කිරීම මෙම උත්සාහයන්ට අවමන් කිරීමක් වැනි ය. 2014 වර්ෂයේ දී, පූජ්‍ය ඥානසාර ස්වාමීන්වහන්සේ විසින් අලුත්ගම නගරයේ මුස්ලිම් නිවාසවලට සහ ව්‍යාපාර ආයතනවලට පහර දීම සඳහා ජනතාව කුපිත කරවීය. උන්වහන්සේ, පදනම් විරහිත ආරක්ෂක හේතූන් මත බුර්කාව භාවිතය තහනම් කිරීම සඳහා ප්‍රසිද්ධියේම උද්ඝෝෂණ සිදු කළ අතර ආහාර නිෂ්පාදන සඳහා වන හලාල් සහතිකය අහෝසි කිරීම සඳහා විරෝධතා ඇති කිරීමට මූලික වූ තැනැත්තා ද විය. මෙම සිදුවීම් සියල්ල හේතුවෙන් විනාශකාරී සිංහල බෞද්ධ මතයක් ඇති විය: එය යහපාලන ව්‍යුහයන්හි බලය අහිමි කරමින් රාජපක්ෂ පාලන බලය යළි අත්කර ගැනීම සඳහා මතු වූ රැල්ලකි. ඥානසාර හිමියන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත සිර දඬුවම් විඳිමින් සිටියදී වත්මන් ජනාධිපතිවරයා විසින් උන්වහන්සේට සමාව ලබා දුනි.
මෙම කාර්ය සාධක බලකාය පිහිටුවීමේ නිර්ලජ්ජිත ජනතාවාදී අභිප්‍රේරණය විසින්, මුස්ලිම් කාන්තාවන් සහ කාන්තා කණ්ඩායම් විසින් වසර ගණනාවක් පුරාවට මුහුණ දෙමින් සිටි විශාල අරගලය සුළුකොට සලකන අතර, යම් විශේෂිත ප්‍රජාවකට අතිශයින් පෞද්ගලික වූ රෙගුලාසි වෙනස් කිරීම සඳහා වූ ඉල්ලීම එම ප්‍රජාව තුළින්ම පැමිණ තිබීමේ යථාර්තය සම්බන්ධයෙන් පාලන බලය නතු කරගෙන කටයුතු කරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරසූරිය විසින් අදහස් දැක්වූ පරිදි, “මෙම නීති මෙම මානව හිමිකම් බැඳීම්වලට අනුකූලව ගෙන ඒමේ දැඩි උත්සාහයක් සඳහා අවංකභාවය සහ ඒ සඳහා හැකියාව ඇති පුද්ගලයින් විසින් මෙහෙයවනු ලබන සැබෑ නියෝජන සහ උපදේශන ක්‍රියාවලියක් අවශ්‍ය වේ.”. එහි සාමාජිකයින් දෙදෙනෙකු නීතිඥ සේවයේ වසර 10ක් වත් සම්පූර්ණ නොකළ නීතිඥවරුන් වන බැවින් මෙම සාමාජිකයින් තෝරා ගැනීමේ නිර්ණායක ප්‍රශ්න සහගත ය.
රට වෙනුවෙන් මින් අදහස් කෙරෙනුයේ කුමක්ද?
කාබනික පොහොර ගැටලුව, ජෝන් කොතලාවල ජාතික ආරක්ෂක විශ්වවිද්‍යාල (KNDU) පනත් කෙටුම්පත, ගුරුවරුන්ගේ වැටුප් ප්‍රශ්නය සහ පුද්ගලයින් 11 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපතිට එරෙහිව පැවතී චෝදනා බිඳ හෙලීම ආදිය සම්බන්ධයෙන් ගන්නා ලද තීරණවලට එරෙහිව මහජනයාගේ අතෘප්තිමත් බව සහ විරෝධතා පසුගිය මාස කිහිපය තුළ වර්ධනය වෙමින් පවතින බව දක්නට ලැබේ. ඇමරිකානු සමාගමක් සමග රහසිගත LNG විදුලි බලාගාර ගනුදෙනුවට එරෙහිව ජනාධිපතිතුමාගේ හිතවතුන් විසින්ම ප්‍රකාශ කර ඇත. කාර්ය සාධක බලකාය පත්කිරීමෙන් දැන් මේවා යටපත් වී තිබේද? ඒ සියල්ල අසාර්ථක රාජ්‍යයක ලක්ෂණ නොවේ ද?
පුද්ගලික නීති පිළිබඳ සොයාබලන සිංහල බෞද්ධ අන්තවාදියකු විසින් ප්‍රධානත්වය දරන කාර්ය සාධක බලකායක් පිටුපස ඇති මතය ද, අනුකූලතාවාදී ජාතියක පුනරාවර්තනය වන ගෝඨාභය අතිශයෝක්තිය නැවත නැවත සාකච්ඡාවට ගැනීමක් වේ. ඔවුන්ට ජනප්‍රියත්වය නැවත ලබා ගැනීම සඳහා පසුගිය කාලයේ වඩාත් ඵලදායි ලෙස ක්‍රියාත්මක වූ දෙය, එනම් ජාතිවාදය ඇවිස්සීම සහ ජනතාව පෙළඹවීම කෙරෙහි පාලන තන්ත්‍රය විසින් කටයුතු කරමින් සිටින බව එයින් පැහැදිලිව පෙන්වා දෙයි. මෙම පියවර මගින් අපගේ වර්තමාන සමාජ ව්‍යුහය කෙරෙහි දීර්ඝ කාලීනව බලපාන අනපේක්ෂිත ප්‍රතිඵල ඇති කරන අතර එබැවින් එය දිගටම පවත්වාගෙන යාමට අවසර නොදිය යුතු ය.
එමනිසා අංක 2251/30 දරන ගැසට් නිවේදනය අවලංගු කර මෙම කාර්ය සාධක බලකාය විසුරුවා හරින ලෙස අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු. නීති සම්පාදනය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී නියෝජක ක්‍රියාවලියක් යළි ස්ථාපිත කරන ලෙස අප රජයෙන් ඉල්ලා සිටින්නෙමු.