Samabima Supplement: මුස්ලිම් නීති සංශෝධනය විය යුතුයි

මූලාශ්‍රය: සමබිම

පාස්කු ඉරිදා ප්‍රහාරයත් ඉන් පසුවත් රටේ සිදුවූ සිදුවීම් මුස්ලිම් කාන්තාවක් විදියට ඔබ කියවා ගන්නෙ කොහොමද?
පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රටේ පැවති වාතාවරණය පිළිබඳවත් අදහසක් ඇතිවයි මේ දිහා බැලිය යුතු වෙන්නෙ. අපේ රටේ ජනවර්ග අතර විවිධ විදියේ ගැටුම් තිබුණ ඉතිහාසයක් අපිට තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න අතර වුනත් එකිනෙකා අතර යම් සහජීවනයක් තිබුණා. නමුත් 2009 වසරෙන් පසුව මුස්ලිම් ජන සමාජයට දැනෙන යම් වෙනසක් තිබුණා. ඇතැම් කණ්ඩායම්වලට අවශ්‍ය වුණා තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන්ට අනුව මුස්ලිම් ජනතාව බිල්ලෙක් කරල සමාජයට මවාපාන්න. ඒ සමඟ රටේ ජාතිවාදී ස්වරූපයන් සහ හැසිරීම් වර්ධනය වෙන්න ගත්තා. ඒ නිසාම මුස්ලිම් ජනතාවට විශාල ප්‍රශ්නවලට මුහුණ දෙන්න සිද්ධ වුණා. මේ තත්ත්වය තවත් පෝෂණය කරන්න සාමාන්‍ය මනුස්සයා තුළ මේ බිල්ලා පිළිබඳ කතන්දරය තහවුරු කරවන්න මුස්ලිම් සමාජයේ ජීවන රටාව උපයෝගී කරගත්තා. ඒ වන විට ලෝකයේ පැතිරෙමින් තිබුණ ආගමික ප්‍රතිසංස්කරණවාදී රැල්ල ලංකාවෙත් ව්‍යාප්ත වෙමින් තිබුණා. මේ රැල්ල සමඟ එකතු වුණ මුස්ලිම් කණ්ඩායම්වලත් මූලික පදනම ඉස්ලාම් ආගම වුනත් ඔවුන් අඳින විදිය, කාන්තාවන් සම්බන්ධ අදහස්, ජීවන රටාව, අධ්‍යාපනය වගේම ඇඳහිලිවල පවා වෙනස්කම් තිබෙනවා. මුස්ලිම් සමාජය තුළ පවා මේ වෙනස්කම් හේතුවෙන් යම් යම් ගැටලු වරින් වර පැන නැගී තිබෙනවා සහ ඔවුන් අතර පවා දුස්ථභාවයන් තිබෙනවා. ඒ නිසාම අපිට හිතන්න පුළුවන් මුස්ලිම් සමාජය සහ මුස්ලිම් නොවන සමාජය අතර දුරස්ථබවක් ඇති වෙන්න හොඳටම ඉඩ කඩක් තිබුණ බව. මම හිතන්නේ අද මේ සියලු සිදුවීම් එක්ක අපි එකිනෙකා අතර දුරස්ථභාවය තවත් වැඩි වෙලා. ජනමාධ්‍ය සමාජ මාධ්‍ය ජාලා මේ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කරමින් ජාතිවාදය වපුරවමින් ඉන්නවා. ඉතින් මම හිතන්නේ ත්‍රස්තවාදයේත් ආකාර තිබෙනවා. 21 වැනිදා සිදුවුණේ මුස්ලිම් ත්‍රස්තවාදය ක්‍රියාත්මක වීමක්. ඒ වගේම ජාතිවාදය අවුස්සමින් මැයි 13 වැනිදා ක්‍රියාත්මක වූනෙත් ත්‍රස්තවාදයක්.

පහුගිය වසර හතරක කාලය තුළ සංහිඳියාව ඉතා ජනප්‍රිය වචනයක්ව තිබුණා වගේම ඒ වෙනුවෙන් යම් යම් යාන්ත්‍රණයන් හැදුණා. නමුත් අද සංහිඳියාවට ඒ යාන්ත්‍රණයන්ට කොයිතරම් වලංගුතාවයක් තිබෙනවද?
මම දැඩිව විශ්වාස කරනවා මේ රටේ හැදුන සංහිඳියා යාන්ත්‍රණ සහ ඒ වෙනුවෙන් ගෙන ගිය වැඩපිළිවෙළ ඉතාම ප්‍රයෝජනවත් බව. අප්‍රේල් 21 වැනිදයින් පස්සේ ඇති වුණ ගැටලු එක්ක මේ සියල්ල මෙහෙම හෝ නිශ්චලව තිබෙන්නෙ සංහිඳියාව වෙනුවෙන් යම් කාලයක් අපි කැප කරල තිබෙන නිසා. නමුත් මම එක දෙයක් කිව යුතුයි, එය පමණක් ප්‍රමාණවත් නැහැ. සංහිඳියා වැඩසටහන්, ඒ යාන්ත්‍රණ සහ අනෙකුත් ක්‍රියාකාරකම් පිළිබඳ කොයිතරම් සමාජ ගත වෙනවද කියන ප්‍රශ්නය තිබෙනවා. මොකද ඇත්තටම ජාතිවාදී කණ්ඩායම්වල ඉන්නේ ඉතාම කුඩා පිරිසක් වුනත් අපෙන් එන හඬට වඩා ඔවුන්ගෙන් එන හඬ ප්‍රබලයි. එහෙම නම් අපිට ප්‍රශ්නයක් තිබෙනවා මධ්‍යස්ථව හිතන මිනිස්සුන්ගේ, මිනිස්සු විදියට හිතන මිනිස්සුන්ගේ හඬ ඉදිරියට ගේන්නේ කොහොමද කියල.

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව විශේෂයෙන්ම මුස්ලිම් කාන්තාව සුවිශේෂි ප්‍රශ්න ගණනාවකට මැදිවෙනවා. මුස්ලිම් කාන්තාවක් විදියට මේ සම්බන්ධ ඔබේ අත්දැකීම කුමනාකාරද?
ඔව්, එකක් තමයි මුස්ලිම් කාන්තාවගේ ඇඳුම සම්බන්ධයෙන් යම් ප්‍රශ්නයක් මතු වුණා. එතනදී අර කලින් කිව්ව වගේම මුස්ලිම් වුනත් තමන් නියෝජනය කරන කණ්ඩායම අනුව මේ කාන්තාවන්ගේ ඇඳුමෙන් ආවරණය වන ප්‍රමාණය සම්බන්ධ වෙනස්කම් තිබෙනවා. නිකාබ්, හිජාබ්, බුර්කා එන්නෙ ඒ ආකාරයට. ඇත්තටම ඇඳුමෙන් මේ වෙනස වෙන්නෙ ලාංකීය සමාජය ඇතුළේ වෙනස් සංස්කෘතියක් විදියට ඉස්මතු වෙන්න නෙවෙයි වුනත් එයින් යම් සංස්කෘතියක් හැදෙනවා. එහි ඇත්තටම සිද්ධ වුණේ තමන් හරි කියල හිතන ආගම අනුගමනය කිරීමක් වගේම අරාබියෙන් එන සංස්කෘතිය වැළඳ ගැනීම. කෙසේ නමුත් හදිසියේ මේ ඇඳුම සම්බන්ධ ගැටලුව ආවම බොහෝ මුස්ලිම් කාන්තාවෝ විශාල පීඩනයකටල ලක්වුණා. මොකද මම හොඳින්ම දන්නව සමහර මුස්ලිම් කාන්තාවන්ට අධ්‍යාපනයට, නිවසින් එළියට යන්න යම් නිදහසක් තිබුණේ මේ ඇඳුමෙන් තිබුණ ආවරණය නිසා. ඒක හරියට බහුතරයක් මුස්ලිම් කාන්තාවන්ට පාස්පෝර්ට් එකක් වගේ. ඒ නිසා අද ගොඩක් මුස්ලිම් කාන්තාවෝ එළියට එන්නෙ නැති තත්ත්වයක් තිබෙනවා මේ ඇති වූ තත්ත්වය සමඟ. සමහරු එළියට යන්නේ අතින් මූණ වහගෙන. මේ නිසා සමහර මුස්ලිම් කාන්තාවන් යම් මානසික පීඩනයකට ලක්ව තිබීම හරිම කණගාටුදායක දෙයක්. ඒ අය වෙනුවෙන් කිසියම් මානසික සත්කාරක් අවශ්‍ය බවත් මම හිතනවා.

මුස්ලිස් විවාහ හා දික්කසාද නීතිය සංශෝධනය සම්බන්ධයෙන් යම් කතිකාවත් තිබෙනවා. ඔබ කෙහොමද මේ තත්ත්වය දකින්නෙ?
රටක නීතියක් තිබෙනවා ඒ නීතියට අපි යටත් විය යුතුයි. දැන් මුස්ලිම් කෙනෙක් යම් කෙනෙක්ව මැරුවොත් ඒකට අදාළ වෙන්නෙ රටේ තිබෙන පොදු නීතිය. නමුත් මේ මුස්ලිම් පුද්ගල නීතිය විවාහ හා දික්කසාදවලදීත් යම් මුස්ලිම් පුද්ගලයෙක් අන්තිම කැමති පත්‍රයක් නැතිව මියගියොත් කොහොමද ඔහුගේ/ඇයගේ දේපල බෙදෙන්නෙ කියන කාරණයේදීත් සීමා වෙනවා. ඇත්ත වශයෙන්ම අපේ රටේ මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය මුස්ලිම් කාන්තාවන්ට අවාසි සහගත අයුරින් පාවිච්චි වෙනවා. නමුත් ඉස්ලාමීය නීතිය තුළ කාන්තාවන්ගේ විවාහ හා දික්කසාද සම්බන්ධයෙන් එවැනි අවාසියක් කාන්තාවන්ට නැහැ. මොකද අද ඉස්ලාමීය දහම අදහන බෙහෝ රටවල් ඉතාම ප්‍රගතිශිලි පියවරයන් මේ නීති සම්බන්ධයෙන් තබා තිබෙනවා. එම නීති ලෝකයේ නව ප්‍රවණතා සමඟ කාලෝචිත ආකාරයෙන් සංශෝධනය වෙලා තිබෙනවා. අපේ රටේ තිබෙන මේ නීතිය සංශෝධනය කිරීම වෙනුවෙන් අවුරුදු 30කට ආසන්න කාලයක් මුස්ලිම් ක්‍රියාධාරිනියන් සටන් කරල තිබෙනවා. මුස්ලිම් කාන්තාවකගේ විවාහ වීමේ වයස සම්බන්ධයෙන් යම් සාකච්ඡාවක් මුස්ලිම් සමාජයෙත් තිබෙනවා. නමුත් ඇත්ත වශයෙන්ම කාන්තාවක් විදියට මම හිතනවා හැම දරුවෙක්ම අවම වශයෙන් අවුරුදු 18ක් දක්වා පාසල් අධ්‍යාපනය ලැබිය යුතු බව. ඒක රටේ පොදු නීතිය. මුස්ලිම් කාන්තාව විතරක් ඒ අයිතිය අහිමි කර ගත යුතු නැහැ. ඒ නිසා මුස්ලිම් කාන්තාවන්ට ඉස්ලාමීය රාමුව තුළ සාධාරණයක් විය යුතු බව මම තරයේ විශ්වාස කරනවා. ඒ නිසාම මේ නීතියේ සංශෝධනයක් විය යුතුයි. ■

සමාජ ක්‍රියාධරිනි සිල්මා අහමඞ් සමග සාකච්ඡා කර ජයනි අබේසේකර විසින් සමබිම 521 වන අතිරේකයට සකස් කරන ලදී.