Samabima Supplement: පුද්ගලික නීති මානව හිමිකම්වලට යටත් විය යුතුයි

මූලාශ්‍රය: සමබිම

පොදු නීතියක් රටක පවතින විට පුද්ගල නීති අවශ්‍යයි කියා ඔබ හිතනවද?
පුද්ගල නීතියක් කියන්නෙ එක එක ජන කොටස්වලට තමන්ගේ ජීවිත කොහොමද සකස් වෙන්න ඕන තමන් කොහොමද පාලනය වෙන්නෙ ඕන කියන දේට අදාළව සකස් වුණ නීතියක්. ඒක හරියට බටහිර වෛද්‍ය ක්‍රමය වගේම ආයුර්වේද වෛද්‍ය ක්‍රමයත් එකම රටක තිබෙනව වගේ දෙයක්. ඒ නිසා මම හිතනවා එක් එක් ජන කොටස්වලට අයත් මිනිස්සුන්ගේ ජීවිතය ඒ අයගේ ආවේණික ජීවන රටාවන් අනුවත් රටේ පොදු නීතිය නොඉක්මවන ආකාරයෙනුත් පාලනය වන පුද්ගල නීති තිබීම හානිදායක නැති බව. අනෙක් පැත්තට මේ ආකාරයෙන් පුද්ගල නීති තිබිය යුතුයි කියලත් අදහසක් නැහැ. නමුත් යම් විදියකට ඒ නීතිය අනුව පාලනය වෙන්න බැහැ කියල ඒ ජනකොටස් තුළින් අදහසක් මතුවෙනව නම් එතන අනිවාර්යෙන්ම ප්‍රශ්නයක් තිබෙනවා. මොකද මේ නීති හරහා මානව අයිතිවාසිකම්වලට බලපෑමක් සිදුවෙනව නම් එම නීති ආනිවාර්යෙන්ම වෙනස් විය යුතුයි. කිසිම රටක කිසිම ජන ප්‍රජාවක් පාලනය කිරීම වෙනුවෙන් මානව අයිතිවාසිකම්වලට හානිකර නීති නොපැවතිය යුතුයි. පුද්ගල නීති හැදෙන්න ඕන රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික හරයන් සහ සාරය ආශ්‍රය කර ගනිමින්.

සාමාන්‍ය නීතියෙන් මූස්ලිම් විවාහ හා දික්කසාද නීතිය වෙනස් වෙන්නෙ කොහොමද?
ඓතිහාසිකවම පැවති තත්ත්වයන් ආභාෂයන් එක්ක ක්‍රමිකව සාමාන්‍ය නීතියට වෙනස්ව මුස්ලිම්වරුන්ට නීති මාලාවක් හැදී තිබෙනවා. මුස්ලිම් නොවන ඕනෑම අයෙකුට විවාහය සහ දික්කසාදය සඳහා සාමාන්‍ය නීතිය භාවිත කරන්න පුළුවන්. නමුත් මුස්ලිම් ආගම අදහන පිරිසට තමන්ගේ විවාහ හා දික්කසාදයන්වලදී සාමාන්‍ය නීති භාවිත කරන්න බැහැ. එතනදී ඔවුන්ට බලපාන්නේ 1951 අංක 13 දරන මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය. ඒ නීතිය අනුව විවාහය සඳහා අවම වයසක් දක්වා නැහැ වගේම වයස අවුරුදු 12ට අඩු ගැහැනු දරුවෙකුටත් කාතිවරයාගේ අවසරය ඇතිව විවාහ විය හැකියි. දික්කසාදයේදී මුස්ලිම් පුරුෂයෙකුටිතලාක් ක්‍රමය’ අනුව දික්කසාද වීමේ අවස්ථාව හිමි වෙනවා. සාමාන්‍ය නීතිය යටතේ දික්කසාද නඩු ගොනු කරන්නේ දිස්ත්‍රික් උසාවියක වුනත් මුස්ලිම් දික්කසාදයක් සිදුවෙන්නෙ කාති උසාවියකින්. මේ කාති උසාවිවලට දික්කසාද සම්බන්ධයෙන් වගේම නඩත්තු සම්බන්ධයෙන්ද කටයුතු කිරීමේ බලයක් තිබෙනවා.

මුස්ලිම් කාන්තාවකට විවාහයක දී හෝ දික්කසාදයකදී මේ නීතිය යටතේ තමන් සම්බන්ධ තීරණ ගන්න තිබෙන්නෙ මොන වගේ ඉඩක්ද?
මගේ අත්දැකීම තමයි මුස්ලිම් කාන්තාවකට මේ නීතිය තුළ ස්වාධීනව තීරණ ගන්න වැඩි ඉඩක් නැහැ. මුස්ලිම් දික්කසාදයකදී පුරුෂයෙක් දික්කසාදය ඉල්ලු‍වොත් පෙර කිව්ව පරිදිම තලාක් ක්‍රමයට දික්කසාදය ලබා ගැනීමේ අවස්ථාව තිබෙනවා. එතනදී ඔහුගෙන් කිසිදු හේතු විමසීමකින් තොරව දික්කසාදයට ඉඩකඩ ලැබෙනවා. කාතිවරයා තලාක් ක්‍රමයට දික්කසාදය තීන්දු කළාට පසුව කාන්තාවකට අභියාචනය කිරීමටවත් අවස්ථාවක් නැහැ. නමුත් මුස්ලිම් කාන්තාවක් දික්කසාදය ඉල්ලීමේදී ඇයට සිද්ධ වෙනවා ඒ සඳහා හේතු ඉදිරිපත් කරන්නත් ඒවා සාක්ෂි සහිතව ඔප්පු කරන්නත්. එතනදී කාන්තාවගේ වචනය විතරක් ප්‍රමාණවත් නැහැ. සාක්ෂිකරුවන් දෙදෙනෙකු සිටිය යුතුයි. අපි හිතමු දික්කසාදය ඉල්ලීමට හේතුව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය කියල. ඒක නිවස ඇතුළේ වෙන දෙයක්. බාහිර පුද්ගලයන්ට මේ කාන්තාව ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ලක්වෙන බවට කිසිම අදහසක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා මේක හරි ගැටලු‍ සහගත තත්ත්වයක්. අනෙක් පැත්තෙන් කාන්තාවට සහ පුරුෂයාට පුළුවන් දික්කසාදයකට එකඟ වෙලා ඇවිත් කාති උසාවියකින් දික්කසාදය ඉල්ලන්න. එතනදි හේතු දැක්වීම්වලින් තොරව දික්කසාදය ලබා ගන්න පුළුවන්. මෙයිමුබාරත් ක්‍රමය’ කියල හඳුන්වනවා. නමුත් අපේ රටේ මේක ඉතාම විරල තත්ත්වයක්. එක්කෝ බහුතර මුස්ලිම් ප්‍රජාවකට මේ පිළිබඳ අවබෝධයක් නැහැ. නැත්නම් ඒකට අවශ්‍ය එකඟතාවය ලැබෙන්නෙ නැහැ. ඒ වගේම මෙතනදී මතු කළ යුතු දෙයක් තමයි සාමාන්‍ය නීතිය යටතේ කාන්තාවගේ සහ පුරුෂයාගේ එකඟතාවය තිබියදීත් දික්කසාදය ලැබෙන්නෙ නැහැ. එතනදි කවුරු හෝ කෙනෙක් වැරදිකරුවෙක් විය යුතුමයි. ඒ නිසා මුස්ලිම් විවාහ නීතිය වගේම සාමාන්‍ය නීතියෙත් මෙවැනි දේවල් වෙනස් විය යුතු බව අපි විශ්වාස කරනවා.

ජමයිතුල් උලමා සංවිධානය විවාහ වීමේ අවම වයස අවුරුදු 16ක් කිරීමට එකඟතාවයක් දැක්වූවා. නමුත් ඇයි එය සාමාන්‍ය නීතියේ තිබෙන අවම වයස 18 දක්වා ගේන්න ඔවුන් අකමැති?
ජමයිතුල් උලමා සංවිධානය මෙවැනි අදහසක ඉන්නෙ හෝ ඇයි ඔවුන් අවම වයස 18 නොකරන්නෙ කියල මට තේරෙන්නෙත් නැහැ. සාමාන්‍ය නීතියේ විවාහ වීමට අවම වයස 18 කිරීම තුළ අපේක්ෂා කරන්නෙ දරුවන් ද්වීතියික අධ්‍යාපනය අවසන් කළාට පසුව යම් හෝ පරිනතභාවයක් සමඟ විවාහයකට ඇතුල් වීමට හැකියාවක් තිබීම. ඒ මඟින් දරුවන්ට ළමා කාලයක් ගෙවීමට, අධ්‍යාපනය ලැබීමට, ජීවිතය පිළිබඳ යම් හෝ අවබෝධයක් ලැබීමට ඉඩක් හැදෙනවා. අපි අක්කරෛයිපත්තු වගේ ගම්වලට ගියාම මුස්ලිම් මිනිස්සුන්ගෙන් අහනවාිවයස 16දී විවාහ වීම හොඳයිද, 18න් පසුව විවාහ වීම හොඳයිද කියල. එවැනි අවස්ථාවල අපිට අහන්න ලැබෙන්නෙ ගැහැනු ළමයෙකුට වයස 19ත් පිරිමි ළමයෙකුට වයස 23ත් තිබ්බ නම් හොඳයි කියල. ඒකට හේතු විදියට එයාල කියන්නෙ ගැහැනු ළමයෙකුට තමන්ගේ අධ්‍යාපන කටයුතු අවසන් කරගන්නත් පිරිමි ළමයෙකුට අධ්‍යාපනයෙන් පසුව යම් හෝ රැකියාවක් සොයා ගන්නත් මේ වයස් කාලසීමාවන් තුළ ඉඩක් ලැබෙන බව. මේ මිනිස්සු හරිම ප්‍රායෝගිකයි. ජමයිතුල් උලමා වගේ සංවිධානයක් මෙවැනි දේවල් ප්‍රකාශ කරන්නේ තමන්ගේ ප්‍රජාවට තිබෙන ප්‍රායෝගික ගැටලු‍ පිළිබඳ අවබෝධයක් නැතුව බවයි මම හිතන්නේ.

මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය වෙනස් කර ගැනීම සඳහා යම් අරගලයක් සිදුවෙනවා. මේ අරගලය කොයිතරම් ඈතට දිවයන්නක්ද?
මේ නීතිය කොයිතරම් පරණද එපමණම කාලයක් මේ නීතිය වෙනස් කර ගැනීම වෙනුවෙන් වන අරගලයත් පරණයි. මොකද මේ නීතිය හඳුන්වා දීපු දවසේ ඉඳලා පාර්ලිමේන්තුව තුළත් මුස්ලිම් වගේම මුස්ලිම් නොවන ප්‍රගතිශීලි සමාජ කොටස් මේ නීතිය වෙනස් කර ගැනීම වෙනුවෙන් අරගල කර තිබෙනවා. දැනට අවුරුදු 30 වගේ කාලයක ඉඳලා මේ නීතිය නිසා සිදුවෙලා තිබෙන ප්‍රශ්න හඳුනා ගෙන ඒ ප්‍රශ්න මූලික කරගෙන ඇයි මේ නීතිය වෙනස් වෙන්න ඕන, මෙයින් සිදුවන අසාධාරණය වගේම හානිය කොතෙක්ද කියන එක පිළිබඳ සාකච්ඡාවක් විශේෂයෙන් මුස්ලිම් කාන්තාවන් අතර ඇතිව තිබෙනවා. මගේ අත්දැකීම අනුව විවාහ වීමට පෙර සාමාන්‍ය මුස්ලිම් කාන්තාවක් සමඟ මේ නීතිය පිළිබඳ කතා කළොත් එය වෙනස් විය යුතු බව හෝ එයින් සිදුවන දේ පිළිබඳ ඔවුන්ට තිබෙන්නෙ ඉතාම අවම දැනුමක් එහෙම නැත්නම් දුර්වල අදහසක්. නමුත් විවාහ වුණාට පසුව ඔවුන් අත්දකිනවා තමන්ට සිදුවන අසාධාරණය. දික්කසාදයකට යාමේදී අත්විඳින අසීරුතාවන්. ඉතින් අපි දිගින් දිගටම අරගල කරන්නේ මේ රටේ පොදු නීතිය යටතට මුස්ලිම් ප්‍රජාවත් අරගන්න කියල. අපි හැමෝම පාලනය වෙන, අපි හැම කෙනෙක්ටම සමානව අයිතිවාසිකම් හිමි වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතට මුස්ලිම් ප්‍රජාවත් ඇතුල් කර ගත යුතුයි. මොකද දැනට මුස්ලිම් විවාහ හා දික්කසාද නීතිය තිබෙන්නෙ ඊට පිටතින්.
නීතිඥ එර්මිසා ටීගල් සමඟ සාකච්ඡා කර සමබිම 522 වැනි කලාපය සඳහා ජයනි අබේසේකර විසින් සකස් කරන ලදී.