සමාජ සහ මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනී ඔඞ්රි රිබේරා සහෝදරිය දැයට සමු දෙයි

සමාජ සහ මානව අයිතිවාසිකම් කි‍්‍රයාකාරිනී ඔඞ්රි රිබේරා සහෝදරිය 2021 අගෝස්තු මස 24 වන දින නිහඬව දැයට සමුදුන්නාය. නමින් ඔඞ්රි ෆි‍්‍රලීෂියා රිබේරා වූ ඇය 1933 ඔක්තෝබර් 14 දින කොළඹදී උපත ලැබුවාය. ප්‍රෙස්බිටීරියන් බාලිකා පාසැලෙන් සහ දෙහිවල මෙතොඩිස්ට් කොලීජියේ අධ්‍යාපනය හැදෑරූ ඇය 1956 වසරේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුල්වී සිය ශාස්ත‍්‍රපති උපාධියේ පළමු අදියර පමණක් නිමකොට ශ‍්‍රී ලංකා මහ බැංකුවේ රැකියාවට එක් වූවාය. වසර 13 ක්ම එහි සේවය කළ ඇය සිය සමාජ ජීවිතයට අඩිතාලම දමා ගත්තේ ක‍්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය සමඟ එක්වෙමිනි. 1960 වර්ෂයේදී මෙහි තරුණ ව්‍යාපාරයේ සභාපතිත්වය දැරූ ඕඞ්රි සමාජ වෙනසක් සඳහා වන සිය චින්තන ධාරාව මේ හරහා ඔප මට්ටම්කර ගනිමින්. එමෙන්ම තමන් සමඟ සිටි තරුණ ප‍්‍රජාවට ඒ සදහා මඟ පෙන්වූවාය.

1970 දශකය මෙරට දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් වූ තරුණ සටන්කාමී දේශපාලනය මෙන්ම තවත් සුවිශේෂී සමාජ සංවාදයක් ආරම්භ වූ යුගයකි. එය නම් ලාංකීය සමාජය තුළ කාන්තාවන් මුහුණ දුන් විශේෂිත ප‍්‍රශ්න පිළිබඳව වූ සංවාදයයි. 1976 දී ආචාර්ය කුමාරි ජයවර්ධන හා එක්ව ශ‍්‍රී ලංකාවේ පළමු ස්වාධීන ස්ත‍්‍රීවාදී සංවිධානය වන ‘කාන්තා හඬ’ සහ තවත් සංවිධාන පිහිටු වීමට සහාය වූවාය. 1980 දශකයේ මැද භාගයේ සිට දශකයක් පුරා ශිෂ්‍ය ක‍්‍රිස්තියානි ව්‍යාපාරය, ලංකා කම්කරු හවුල සහ 1985 සිට 1995 දක්වා ජාතික කි‍්‍රිස්තියානි කවුන්සිලේ කාන්තා කොමිසමේ ලේකම් ලෙස කටයුතු කළ නිසාම ඇයගේ ස්ත‍්‍රීවාදයට විමුක්ති දේවවාදය දැඩි බලපෑමක් ඇති කළේය.

විශේෂයෙන් වතුකරයේ කාන්තාවන් මුහුණ දුන් පීඩාකාරී තත්ත්වය වෙත වඩාත් සංවේදී වෙමින් මෙරට කාන්තා ව්‍යාපාරය ගොඩනැගීම වෙනුවෙන් සිය කැපවීම තහවුරු කරගැනීමට මේ ඔස්සේ ඇය සමත් වූවාය. 1981 වසරේදී මෙරට ශක්තිමත් කාන්තා සංවිධාන එකතුවක් වූ කාන්තා ක‍්‍රියාකාරී කමිටුව සහ 1989 වසරේදී සෑම පැත්තෙන්ම සිදුවන ඝාතනයට එරෙහිව ගොඩනැගුණු ලක්බිමේ මව්වරු සහ දියණියෝ යන කාන්තා සංවිධාන ජාල ගොඩ නැගීමට පුරෝගාමී වූ ඕඞ්රි ජනවාර්ගික ප‍්‍රශ්නයට දේශපාලනමය විසඳුමක් වෙනුවෙන් කැපවී කටයුතු කළාය. 1978 දී වතු කම්කරුවන්ගේ තත්ත්වය මත ඇයගේ වැඩ කටයුතු අන්තර්ජාතික යුක්තිය සහ සමානාත්මතාවය සඳහා ව්‍යාපාරය :ඵෂඍන්‍ෑ* පිහිටුවීමටත් වාර්ගික ගැටුමට දේශපාලන විසඳුමක් සඳහා වූ වැඩ කටයුතුවලටත් ඇගේ ජීවිත කාලය පුරාම සුළුතර ප‍්‍රජාවන්ට සහයෝගය ලබාදීමටත් ඇයට මග පෑදීය.

ඕඞ්රි අපූරු මානවාදියකු වූ අතර මානව හිමිකම් ස්වයං නිර්ණය සහ ස්ත‍්‍රී අයිතීන් සඳහා වූ අරගලයේදී ගිණිය නොහැකි තරම් කි‍්‍රයාකාරීන් සංඛ්‍යාවකට ශක්තියේ සහ සහයෝගයේ කුළුණක් වූවාය. ඇයගේ නිවස දකුණේ තර්ජනයට ලක්වූ කි‍්‍රියාකාරීන්ට මෙන්ම උතුරෙන් සහ නැගෙනහිරින් පැමිණි අයටත් සෑමවිටම ආරක්ෂිත ස්ථානයක් විය. වතු ස්ත‍්‍රී කම්කරුවන්ගේ, ගොවීන්-ගෙවිලියන්ගේ, ඇඟළුම් සේවකයින්ගේ, අතුරුදහන් වූවන්ගේ පවුල්වල හෝ ඇදහිල්ල පදනම් වූ ප‍්‍රජාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඇයගේ නිහඬ වැඩ කටයුුතු බොහෝවිට නොදන්නා හා නොකියවූ නමුත් සත්‍යක් විය. වයසින් මුහුකුරා ගොස් සිටිය ද, සමාජ යහපත වෙනුවෙන් සිය ජීවිතයම කැපකළ ඇගේ සිතිවිලි පරම්පරාව සැමදා තරුණය; උද්යෝගිමත්ය; ඒ ප‍්‍රජාතන්ත‍්‍රවාදය මෙන්ම මානව අයිතිවාසිකම් ගරුකරන සැමට සමානාත්මතාවය උරුම වූ සාමකාමී සහජීවනයෙන් යුත් සමාජයක් ගොඩ නැගීමේ ඇය තුළ වන සිහිනය සැබෑවනු දැකීම උදෙසාම ය. ආරම්භයේ සිටම ඇය සමඟ වැඩ කිරීමට සහ හිතවත් මිතුරියක, සඟයෙකු අහිමිවීම ගැන කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය වන අප බලවත් ලෙස ශෝකයට පත්ව සිටිමු. ඕඞ්රි රිබේරා නම් ඒ මානව දයාවෙන් පිරුණු සමාජ ක‍්‍රියාකාරිනිය, සහෝදරිය අද අපට සමු දුන්නද ඇයගේ සමාජ කි‍්‍රයාකාරී චින්තනය සහ කි‍්‍රයාකාරී අරගලයට දුන් දාකයත්වය සැමදා හෘදයාංගමෙන් සිහිපත් කරමු. ඕඞ්රි, ඔබට සුබ ගමන් සහෝදරී.

#AudreyRebera #womensrightsmovement #womensrightsactivist #SriLanka