කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ ශ්‍රී ලංකාවේ කාන්තාව හා යුක්තිය සම්බන්ධ මෑත සිද්ධි සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වති.

නොවැම්බර් 9, 2019

සමාජ සාධාරණත්වය හා මානව හිමිකම් පිළිබඳ කාරණාවල නියැලී සිටින කාන්තා අයිතිවාසිකම් ක්‍රියාකාරිකයෝ, ස්ත්‍රීවාදී ක්‍රියාකාරිකයෝ සහ විද්‍යාර්ථීයෝ වශයෙන් අපි, ශ්‍රී ලංකාව තුළ අප මුහුණ දෙන තීරණාත්මක කාරණා දෙකක් සම්බන්ධයෙන් අපගේ අඛණ්ඩ සැලකිල්ල ප්‍රකාශ කිරීමට කැමැත්තෙමු: කාන්තාවන්ට, අනෙකුත් ආන්තික කණ්ඩායම්වලට සහ පුද්ගලයන්ට එරෙහිව සිදු වන ප්‍රචණ්ඩත්වයට අදාළ බරපතල ක්‍රියා ගැන ප්‍රතිචාර දැක්වීමට අධිකරණ ක්‍රියාදාමය අපොහොසත් වීම සහ අධිකරණ පද්ධතිය අඩපණ කිරීමට සහ යුක්තිය ඉෂ්ට වූ අවස්ථාවල පවා ඒවා ඉවත් කිරීමට ඉහළ මට්ටමේ මැදිහත්වීම් සිදු කිරීම මීට අයත් වේ.

අපේ රටේ යුක්තිය පසිඳලීමේ පද්ධතිය විසින් නිතරම කාන්තාවන් අසමත් කරනු ලබයි. කාන්තාවන් සහ ඔවුන්ගේ පවුල්වලට නීතියේ ආධිපත්‍යය ගැන, සහ ප්‍රචණ්ඩත්වයෙන් පීඩාවට පත් පුරවැසියන්ට සාධාරණය ඉටු කිරීමට නීති පද්ධතියේ ඇති හැකියාව ගැන ඇති විශ්වාසය නැති වී ඇත.

එහෙත් මෑත කාලීන අධිකරණ තීන්දු කිහිපයක් විසින් පෙර නොවූ විරූ පරිදි කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට වැරදිකරුවන් වගවීමට ලක් කරන ලදී. විශ්වමඩු ලිංගික අපරාධ නඩුව, රෝයල් පාක් ඝාතන නඩුව සහ ගලබොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහි නඩුව මෙයට ඇතුළත් ය.

විශ්වමඩු නඩුව

කිලිනොච්චි හි විශ්වමඩු ප්‍රදේශයේදී දෙමළ කාන්තාවක් සමූහ ලිංගික අපරාධයට ලක් කිරීම සම්බන්ධයෙන් 2015 දී වරදකරුවන් වූ සොල්දාදුවන් නිදොස් කොට නිදහස් කිරීම පිළිබඳව අපගේ කලකිරීම ප්‍රකාශ කිරීමට අපි කැමැත්තෙමු. ඔක්තෝබර් 10 සහ 11, අයිලන්ඩ් සහ සිලෝන් ටුඩේ පුවත්පත් වාර්තා කරන පරිදි, 2010 දී විශ්වමඩු (කිලිනොච්චි) ප්‍රදේශයේ සිදු වූ සමූහ ලිංගික අපරාධයකට වරදකරුවන් වූ ශ්‍රී ලංකා යුද හමුදා සෙබළුන් අභියාචනාධිකරණය විසින් නිදොස් කොට නිදහස් කර ඇත. මෙම දඬුවම් නියම කිරීමේ තීන්දුව අතිශය දුර්ලභ ප්‍රතිඵලයක් වූ අතර මෙහිදී සොල්දාදුවන් සිව් දෙනෙකුට වසර 25 ක සිර දඬුවමක් නියම විය. මේ අවස්ථාවේ දී දිවි ගලවා ගත් වින්දිතයා සහ ඇගේ පවුලේ අය සමග අපගේ සහයෝගිතාවය ප්‍රකාශ කිරීමට අපි කැමැත්තෙමු.

දඬුවම් නියම වූ අවස්ථාවේ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය විසින් වාර්තාවක් නිකුත් කළ අතර, එහි සඳහන් වූයේ “උතුරු පළාතේ අධිරකරණවල නඩු 19ක් සහ නැගෙනහිර පළාතේ නඩු 20ක් තිබූ අතර.. මේ නඩුවල දී චෝදනාවට ලක් වූ ආරක්ෂක හමුදා සාමාජිකයන් 58 දෙනෙකු අතරින්, 32ක් යුද හමුදාවට අයත් වූ අය බවයි.’”

අන්තර්ජාතික සත්‍ය හා යුක්තිය පිළිබඳ ව්‍යාපෘතිය විසින් 2014 වසරේ නිකුත් කළ වාර්තාව මෙසේ සඳහන් කරයි. “චූදිත අපරාධකරුවන් හඳුනාගත හැකි වින්දිතයා අපරාධය සම්බන්ධයෙන් ප්‍රාදේශීය හමුදා කඳවුරට වාර්තා කළ විට, ඇයට පළමුව ස්නානය කරන්නැයි ඔවුන් පවසා ඇත. ඊළගට ඇයට හමුදාව විසින් මුදල් ලබා දී පිටත්ව යන්නැයි කියා ඇත … අධිකරණ වෛද්‍ය වාර්තාවකින් ඇයට ලිංගික අඩන්තේට්ටම් සිදු වී ඇති බව තහවුරු කරන ලදී. උසාවි විභාගයකදී … වින්දිතයා බිය ගැන්වීම සඳහා හමුදා භටයන් සියයක් පැමිණ සිටි බව වාර්තා වේ. හමුදාව සහ පොලීසිය විසින් වින්දිතයාට නැවත නැවතත් හිරිහැර හා තර්ජනය සිදු කර ඇත.”

ගලබොඩ අත්තේ ඥානසාර

දෙවනුව, 2018 අගෝස්තු මාසයේදී අභියාචනාධිකරණය විසින් දණ්ඩ නීති සංග්‍රහයේ 346 සහ 486 වගන්ති යටතේ සාපරාධී බියගැන්වීම සහ අධිකරණයට අපහාස කිරීම යන වැරදි සම්බන්ධයෙන් පූජ්‍ය ගලබොඅත්තේ ඥානසාර හිමි වැරදිකරු බවට තීන්දු කරන ලදී. ඔහුට වසර හයක සිර දඬුවමක් නියම විය. ප්‍රශ්නයට පාදක වූ සිද්ධියේ දී මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදන්වීම සම්බන්ධයෙන් පැවැති නඩුවක් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වෙමින් තිබිය දී, අධිකරණ ශාලාවට පැමිණි පූජ්‍ය ඥානසාර හිමි නඩුව අසමින් සිටි ප්‍රධාන විනිසුරුවරයාට සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියක් සහ ප්‍රගීත්ගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ යන දෙදෙනාටම අපහාස කිරීම හා බිය ගැන්වීමක් සිදුකරන ලදී. එවකට මහේස්ත්‍රාත්වරයා විසින් ගොනු කරන ලද අධිකරණයට අපහාස කිරීමේ නඩුවට අදාළව අභියාචනාධිකරණය විසින් අදාළ තීන්දුව නිකුත් කළ අතර, එහිදී 2018 ජුනි මාසයේදී හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කළ නඩුවක දී ඥානසාර හිමි වරදකරු කරමින් ලබා දුන් තීන්දුව යළිත් අවධාරණය කරන ලදී. මේ වසරේ මැයි මාසයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ඥානසාර හිමිට ජනපති සමාව ලබා දෙන ලදී.

රෝයල් පාක් සිද්ධිය

2005 දී කොළඹ රෝයල් පාක් සංකීර්ණයේ දී ඉවෝන් ජොන්සන් අමානුෂික ලෙස ඝාතනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් විඳිමින් සිටි ශ්‍රමන්ත ජයමහ හට අද දින ජනාධිපති සිරිසේන විසින් සමාව දී ඇති බවට වාර්තා වේ. මීට පෙර ඔක්තෝබර් 20 වැනි ඉරුදින තරුණ ප්‍රඥප්තිය පිළිබඳ රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා විසින් මෙම කුරිරු ඝාතනය “නොඉවසිලිමත් සිදුවීමක්” යැයි හඳුන්වන ලදී.

අපට හැඟෙන්නේ මෙය පිළිගත නොහැකි බවයි. තරුණ කාන්තාවක් ඇය දන්නා කෙනෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කිරීම “නොඉවසිලිමත්බවේ සිදුවීමක්” යැයි රටේ ජනාධිපතිවරයා විසින් සැලකීම බරපතල කම්පනයක් ඇති කරයි. ජනාධිපතිවරයා විසින් විස්තර කරන පරිදි එය “දැරිය සමඟ ඇති වූ බහින්බස් වීමක්” නිසා ඇති වූ ප්‍රතිචාරයක් වන අතර, එයින් “දැරිය” “ඝාතනයට ලක්වී අවසන් වූවා” යැයි ඔහු පවසා ඇත.

ජොන්සන්ට ප්‍රචණ්ඩ ලෙස පහර දී මරා දැමූ බවට අධිකරණ නඩුවේ දී ඉදිරිපත් වූ විශ්වාසනීය වාර්තා සහ සාක්ෂිවලින් අපි දනිමු. බොහෝ විට කාන්තාවන්ට එරෙහි හිංසනයන්ට සම්බන්ධ අනෙකුත් වැරදිකරුවන් මෙන්ම ඔහුට ද, ඇය පාලනය කිරීමේ සහ ප්‍රචණ්ඩ චර්යාවක යෙදීමේ ඉතිහාසයක් තිබූ බව ඇගේ සහෝදරිය විසින් මෑත දී සිදු කළ ප්‍රසිද්ධ ප්‍රකාශයෙන් ද අපි දනිමු. ජනාධිපතිවරයා මෙම අපරාධකරුවා “සිරගෙදර සිටින දරුවෙකු” ලෙස විස්තර කරයි. මේ රටේ වැඩිහිටි වියේ වයස අවුරුදු 18 කි.

“අද එම පිරිමි ළමයා ආචාර්ය උපාධියක් ලබා තිබෙනවා … රෝයල් පාක් සිද්ධිය සම්බන්ධයෙන් සිරගතව සිටින දරුවාගේ පාර්ශ්වය ජනාධිපති සමාව යටතේ ඔහුව නිදහස් කරන ලෙස මාගෙන් ඉල්ලා තිබෙනවා … ඔහු ඔහුගේ දඬුවම් කාලය හොඳ හැසිරීමකින් යුතුව ගත කර තිබෙනවා. ” යනුවෙන් ද ජනාධිපතිවරයා පැවසුවේය.

වෙනත් රටවල, වැරදිකරුවන් වූ සිරකරුවන් හට දඬුවම අවලංගු කිරීම හෝ සමාව ලබාදීම කරනු ලබන්නේ ඇගයීම සහ දැඩි මාර්ගෝපදේශ හා නියාමන ක්‍රියා පටිපාටිවලට අනුකූල වීමෙන් පසුව පමණි. ජයමහගේ බලවත් හා බලගතු පවුල විසින් ජොන්සන්ගේ පවුලට තර්ජනය කිරීමට හා බිය ගැන්වීමට උත්සාහයන් කිහිපයක් ගෙන ඇති බව වසර ගණනාවක් තිස්සේ කළ ප්‍රකාශ වලින් අපි දනිමු. මෙම කුරිරු ඝාතනය සම්බන්ධයෙන් රටේ ඉහළම අධිකරණය වන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව නොසලකා හරිමින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වන ආකාරය තුළින් රටේ නීතිය බලවත් හා බලගතු පුද්ගලයන්ට නීතිය අදාළ නොවේ යැයි යන පණිවුඩය ලබා දෙයි.

ජනාධිපතිවරයාගේ විධායක බලතල මෙලෙස අත්තනෝමතික ලෙස භාවිතා කිරීම අපි හෙළා දකිමු. මෙම තීරණය නැවත සලකා බලන ලෙසත්, සමාව දීමේ ජනාධිපති බලය මේ ආකාරයෙන් ක්‍රියාත්මක නොකරන ලෙසත්, මෙරට අධිකරණ පද්ධතියට තවදුරටත් හානි නොකරන බවටත් පවසමින් ප්‍රසිද්ධ ප්‍රකාශයක් නිකුත් කරන ලෙස අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමු. අත්තනෝමතික ලෙස නොව සාධාරණ හා විනිවිදභාවයකින් යුතුව තම බලය ක්‍රියාත්මක කිරීමට කැපවන ලෙස අපි සියලු ජනාධිපති අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටිමු.

අපගෙන් බොහෝ දෙනෙක් මරණීය දණ්ඩනයට එරෙහිව උද්ඝෝෂණය කර ඇත්තේ, එය ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්විය නොහැකි ප්‍රතිචාරයක් බව සහ සමාජයක් තවදුරටත් කුරිරු බවට පත් කරන දඩුවමක් වශයෙන් සලකමිනි. කෙසේ වෙතත්, කාන්තාවෝ, සියලු පුරවැසියන් මෙන්, නීතියේ සමාන ආරක්ෂාව ඉල්ලා සිටින අතර, ප්‍රචණ්ඩකාරී අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් වැරැදි සිදුකරන්නන් වගවීමට ලක් කරන ඵලදායී අධිකරණ පද්ධතියක් ද ඉල්ලා සිටිති.කාන්තාවන්ට එරෙහි හිංසනය පිළිබඳ අපරාධ වාර්තා කිරීමට ඉදිරියට යන විට කාන්තාවන්ට සාධාරණව හා ගෞරවයෙන් හා අභිමානයෙන් යුතුව සලකන ක්‍රමයක් අපි ඉල්ලා සිටිමු. විශේෂයෙන් අපරාධකරුවන් බලවත් වන හා බලපෑම් කළ හැකි තත්වයන් හි දී ප්‍රචණ්ඩත්වයේ වින්දිතයන් වන කාන්තාවන්ට සහ ඔවුන්ගේ පවුල්වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා දෙන ලෙස අපි ඉල්ලා සිටිමු.