Samabima Supplement: විපතට පත් වූවන් සොයා ගියෙමි

මූලාශ්‍රය: සමබිම
වසර ගණනාවක් පුරා යුද සහ ගැටුම්වලින් විපතට පත් වූ උතුරු නැගෙනහිර දෙමළ මුස්ලිම් ජනතාව, යුද තර්ජිත ගම්මානවල වැසියන්, දකුණේ හමුදා පවුල්වල කාන්තාවන්, 1987 ‐ 89 කාලයේදී විපතට පත් වූ පවුල්වල කාන්තාවන් ඇතුළු විවිධ වූ වින්දිත ජන කණ්ඩායම් සමග වැඩකරන මා අප්‍රේල් 21 දින සිදුවීම්වලින් විපතට පත්වූවන්ද පසුගිය 13 වන දින සිදුවූ ජාතිවාදී ගැටුම්වලින් විපතට පත්වූවන් ද හමුවීමට ගියෙමි.

වාරියපොල, කැකුණගොල්ල, බණ්ඩාරකොස්වත්ත, හෙට්ටිපොල සහ නිකවැරටිය යන ප්‍රදේශවලදී මට හමු වූ මේ ජනයා කියූ දෑවලින් බිඳක් නම් ගම් රහිතව ඔබට කියන්නේ ඔවුන්ගේ මතු ආරක්ෂාව පිණිසය.

තැනින් තැනින් ඇසුණු එම කතා කිහිපයක් ඔවුන්ගේම වචනවලින් මෙසේය.
“අපේ ගමට මෝටර් බයිසිකල්වලින් ආපු 60ක විතර තරුණ කණ්ඩායම ගමේ පල්ලියට කඩා වැදුණා. වෙලාව හවස 6 ට විතර ඇති. අනිත් තැන්වල ඒ වෙනකොටත් සිදු වූ සිදුවීම් නිසා අපි බයෙන් හිටියේ. ‘කෝ තොපේ අල්ලා’ කියමින් පල්ලිය ඇතුළට ආපු ඔවුන් කුරාණය බිම දාලා පෑගුවා. එයට ගිනි තිබ්බා. පෙට්‍රල් බෝම්බ දෙකක් ගැහුවා. ‘එන්න කියපියව් තොපේ අල්ලට’ කියලා කෑගැහුවා. පල්ලියේ හිටපු මව්ලවිතුමා ඉක්මනට එළියට පැනගෙන හැංගුණා. එයා ඇතුළෙ හිටිය නම් මැරුම් කන්න වෙනවා. ඊට කලින් ඔවුන් අපිට පණිවිඩ එවලා තිබුණා පල්ලියේ ‘අසාන්’ (ආගම කියන්න) කියන්න ලව්ඞ්ස්පීකර් පාවිච්චි කරන්න එපා කියලා. ඔවුන් කියපු දේ අහලා අපි ලව්ඞ්ස්පීකර පාචිච්චි කළේ නැහැ. ඒත් ඔවුන් පල්ලියේ ලව්ඞ්ස්පීකර් සෙට් එකට පෙට්‍රල් බෝම්බ ගහලා විනාශ කළා.”

“මේ කණ්ඩායමේ හිටියා අපේ ගෙවල්වලට ඇවිත් කාල බීලා ගිය අපේ යාළුවන්. එයාල ඊට ටික දවසකට කලින් ෆේස් බුක් එකේ ලියලා තිබුණා වැඩක් දෙන්න එකතු වෙනවා කියලා. විශ්වාස කරන්නත් බෑ ඇයි එයාල අපිට එහෙම කළේ කියලා”

“ඔවුන් එදා පහර දෙන වෙලාවෙත් ෆේස්බුක් එකෙන් තොරතුරු හුවමාරු කර ගත්තා. ඔවුන් අපේ මිතුරන් නිසා අපි ඔවුන්ගේ පෝස්ට් දැක්කා.”

“සිංහල ගෙවල් මඟහරිමින් මුස්ලිම් ගෙවල් විතරක් හොය හොයා ආපු අවුරුදු 16 ත් 25 ත් අතර ඒ තරුණයින් ගෙන් සමහරක් අපේ යාළුවෝ. ඒ සිංහල තරුණ යාළුවො අපිත් එක්ක එකට වැවේ නාන්න යන කට්ටිය. හෙල්මට් දාලා හිටියට අපි ඔවුන්ව ඇදින ගත්තා.”

“මේ තරුණ කණ්ඩායම ඇවිත් ගියාට පස්සේ ඇඳිරි නීතිය වෙලාවේ තවත් සීයකට වැඩි කණ්ඩායමක් ආවා රෑ 8 ට විතර. මෝටර් බයිසිකල්වලින්, ත්‍රීවීල්වලින් ඔවුන් ආවේ. ඔවුන් තරමක් වැඩිහිටි වයසේ පිරිමින්. මේ පිරිසත් ගෙවල්වල නතර කරලා තිබුණු වාහනවලට ගහලා හානි කළා. ගෙවල්වල දොරවල් පවා කැඩුවා. ජනෙල් කැඩුවා. කෑකෝ ගැහුවා. කුණුහරුප කියමින් බැන්නා.”
“සමහර අය සිංහල ගෙවල් මඟහරිමින් ඇවිත් අපේ නම් කියමින් ගෙවල්වලින් එලියට වරෙව් කියලා කෑ ගැහුවා. අපිට මුකුත් හිතාගන්නවත් බැරි වුණා අපි පුදුම බයකින් ඒ වෙලාවේ හිටියේ”
“වැඩි හරියක් සිංහල පවුල්වලට (පවුල් 25 ක් පමණ) වතුර දුන්න පල්ලියේ වතුර ටැංකියේ සේරම වතුර බට කඩලා දැම්මා. අපේ පල්ලිය සම්පූර්ණයෙන් විනාශ කළා. කුරාණය බිම දාලා ඒකට මුත්‍රා කළා.”

“අපේ ගමේ කුකුළන් දොලොස්දාහක් හිටපු කුකුල් ෆාම් එකක ජෙනරේටර්වලට හානි කළා . සත්තු සේරම මැරුණා”
“නෝම්බි අරින්න ලෑස්ති කරලා පල්ලියේ තිබුණු කැඳ භාජනයට ඔවුන් මුත්‍රා කළා”

“අවුරුදු 34 යි අල්ලපු ගෙදර තරුණයාට, එදා රෑ ඈත විනිවිඳින ටෝච් එළියක් දැකලා ඔහු බයවෙලා දුවගෙන එනකොට වැටුණා. තුවාල මුකුත් නැහැ. ඒත් ටික වෙලාවකින් ඔහුට පපුවෙ අමාරුවක් හැදුනා. රෝහලට ගෙන ගියාට ඔහු මැරුණා. මාස 8 ක දරුවෙක් ඔහුට ඉන්නවා.”

“අපි රෑට නිදා ගන්නේ නෑ. කට්ටිය එකතු වෙලා එක තැනකට වෙලා බයෙන් ඉන්නවා කොයි මොහොතේ හරි අනතුරක් වෙයි කියලා. මේ ගමන රාමසාන් උපවාස කාලය අපිට මළ ගෙයක් වගේ දුකින් පිරිලා.”

“රජය තහනම් කළාට පස්සේ අපේ කවුරුත් බුර්කාව දාන්නේ නෑ. ඒත් හිජාබ් එක ඇඳගෙන පාරේ යන්නත් ‘බෑ. රෝහලේ මුරට ඉන්න පිරිමින් අපට බනිනවා හිජාබයත් ගලවන්න කියලා. බුර්කාව මොකක්ද හිජාබය මොකක්ද කියලා ඔවුන්ට වැටහීමක් නෑ”

“මම පිළිකා රෝගී කාන්තාවක්. මට කුරුණෑගල මහ රෝහලට යන්න තියනවා ප්‍රතිකාර ගන්න. ඒත් මම යන්න බයෙන් නොගිහින් ඉන්නවා.”

“මට බබා ලැබෙන්න දැන් මාස 6 යි. සායනයට ගියාම මගෙන් සේවකයෙක් ඇහුවා බඬේ බෝම්බ බැඳගෙන නෙවේ නේද ඉන්නේ කියලා. බස් එකට නඟිද්දි කොන්දොස්තර මහත්තයත් ඒකම මගෙන් ඇහුවා. වටේ හිටපු හැමෝම මහ හයියෙන් හිනා වුනා වගේම සැකෙන් මා දිහා බලන්න ගත්තා.”

“මගේ දුව විශ්වවිද්‍යාලයට තේරිලා ඉන්නේ. එයා හරි ආසාවෙන් ඉගෙන ගත්තේ. ඒත් කොහොමද යවන්නේ. අපි කීව එයාට විශ්වවිද්‍යාලයට යන්න ඕනේ නෑ කියලා.”
“මගේ දුව ඉගෙන ගන්නේ සිංහල ඉස්කෝලේ. එයා උසස් පෙළ කරනවා. අගෝස්තු මාසේ විභාගේ. එයා බස් දෙකකින් යන්න ඕනේ. ඉතින් කොහොම ද යවන්නේ ?”
“මම වඬේ විකුණලා ජීවත් වුනේ. දැන් මට රස්සා නෑ. උපවාස අරින්න කන්න දෙයක් ගන්නවත් විදියක් නෑ.”

“කීප දෙනෙක් කරපු වැරැද්දක් නිසා අපි සේරටම බයෙන් පීඩාවෙන් ජිවත් වෙන්න සිදු වෙලා. මුළු කැකුණගොල්ල (සහරාන්ගේ බිරිඳගේ ගම) ගමම බයෙන් ඇළලිලා. අපිට අපේ අයිඩින්ටිය පෙන්වන්න බයයි කැකුණගොල්ල කියලා ගමේ නම තියන නිසා.”

ගෙදර හදන සතාට කෑම දෙන පිගානත් පිරිසිදු කරන මිනිසුන් වන අපි ඔවුන්ගේ කැඳ හැළියට මුත්‍රා කිරීමට තරම් නින්දිතයින් වූයේ කෙසේද? බියෙන් බිරාන්තව සිටින කුඩා කොලුගැටයින් මේ අත්දකිමින් සිටින්නේ තම ගෙවල් දොරවල්වලට පැමිණ කාපු බීපු තමන්ගේ යහළුවන් විසින් සිදු කරන ලද ප්‍රචණ්ඩත්වයයි. “අපි කවදාවත් හිතුවේ නෑ අපේ යාළුවෝ අපිට මෙහෙම කරයි කියලා” ඔවුන් කඳුලු පිරි දෙනෙත් ඇතිව කියන්නේ එහෙයිනි. මේ වයස අවුරුදු 16 ත් 25 ත් අතර තරුණ ජනයා මෙතරම් කුපිත වූයේ ඇයි?

කුරානයට මුත්‍රා කිරීමට, ගිනිලෑමට තරම් නිර්ලජ්ජිත වූ ඔවුන්ට අන්‍ය ආගම්වලට ගරු කළ යුතු බව කෙදිනකවත් නිවසින් හෝ පාසැලෙන් කියා දී හෝ අසන්නටවත් ලැබී නැත්තේ ඇයි? මේ තරුණ මුස්ලිම් ජාතික කොලුගැටවුන්ගේ මුහුණුවල තිබෙන බිය, ත්‍රාසය කණගාටුව ඔවුන් අනාගතයේ දිනෙක කොතනකට ගෙනයාවිදැයි කිව හැක්කේ කාටද?

අවිනිශ්චිතබවින් සහ පීඩාවෙන් පිරුණු මේ ස්ත්‍රීන්ගේ අනාගතය සම්බන්ධයෙන් තීරණය කරන්නේ කවුරුන් ද? මේ සියල්ල පිළිතුරු නැති ප්‍රශ්න ලෙස අද ඉතිරිව ඇත. ■
සුමිකා පෙරේරා විසින් 518 වන සමබිම ඉරිදා අතිරේකයට ලියන ලද ලිපියකි.