Sumabima Supplement: මාධ්‍ය කොහොම ද තීන්දුව දෙන්නේ ?

මූලාශ්‍රය: සමබිම

පසුගිය 23 වැනිදා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය විසින් ‘සාමය, අවිහිංසාව සහ සාමානාත්මතාවය’ සඳහා ස්ත්‍රීන් මැයෙන් මාධ්‍ය හමුවක් කැඳවීය. එයට කුමුදුනී සැමුවෙල්, මහාචාර්ය චිත්‍රලේඛා මෞනගුරු, නෙයෙල් ක්‍රිස්ටීන් කන්‍යා සෙහොයුරිය, නීතිඥ එර්මීසා ටීගල් සහ මාධ්‍යවේදිනි දිල්රුක්ෂි හඳුන්නෙත්ති සහභාගී වූ අතර මෙම ලිපිය ඇය එහිදී දක්වන ලද අදහස් ඇසුරින් සකස් කරන ලදී.

අවුරුදු විසිපහක මගේ ජනමාධ්‍ය ජීවිතය දිහා ආපසු හැරිලා බලද්දි මමත් මගේ සමකාලීනයන් වැඩි දෙනෙකුත් වැඩ කරල තිබෙන්නෙ යුද්ධයත් එක්ක. මාධ්‍යවේදිනියක් විදියට දශක තුනකට ආසන්නව පැවති යුද්ධය මේ රටේ ජනමාධ්‍ය කොහොමද වාර්තා කළේ කියන කාරණයේදී විශාල විචේචනයක් මට තිබෙනවා. යුද්ධයේදී එයට අනුගත වන පාර්ශ්වයන්, දේශපාලන පක්ෂ ඇතුළු විවිධ පිරිස්වලට ඒ ඒ අයගේ මතිමතාන්තර වගකීමක් නැතුව ප්‍රකාශ කළ හැකි වුනත් ජනමාධ්‍යවේදින් සහ මාධ්‍ය ආයතන හැටියට අපිට හැකියාවක් නැහැ කටට එන දේවල් හිතට එන දේවල් ඒ හැටියෙන්ම කියන්න හෝ ලියන්න. මාධ්‍යවේදියෙක් කියන්නෙ වෘත්තීය වගකීමට තදින් බැඳී සිටින කෙනෙක්.

අපේ ප්‍රවෘත්ති කාමරවලට ලැබෙන පුවත් අපි කොහොමද වාර්තා කරන්නේ කියන කාරණයේදී යම් පුවතක පළමු සිදුවීම, පළමු රූප රාමුව ජනතාව වෙත ගෙන ඒම ම පමණක් නෙවෙයි සාධාරණව, නිවැරදිව සහ එයින් අවම හානියක් වන ආකාරයට තොරතුරු සම්ප්‍රේෂණය කිරීමත් මාධ්‍යයේ ප්‍රමුඛතම කාර්ය භාරයක්. විශේෂයෙන්ම රටක ගැටුම්කාරී යුදමය වාතාවරණයක් පවතින විට අපි බරපතළ ලෙස ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතුයි. නමුත් අවුරුදු දහයකට පෙර මේ රටේ මාධ්‍ය හැසිරුණ ආකාරයටම ඇතැම් මාධ්‍ය නැවත වතාවක් හැසිරෙමින් සිටිනු දැකීම කණගාටුදායකයි. ඒ ඒ දේශපාලන මතවාදයන් මාධ්‍යයේ මේ හැසිරීම නඩත්තු කරන අතරේ මෙවැනි තත්ත්වයන් උපයෝගී කරගෙන ආණ්ඩුවට අවස්ථාව ලැබෙනවා පවත්නා හදිසි නීතිය යටතේ නිසි බලධාරියෙකු පත් කරන්න. ආණ්ඩුවල එවැනි අතපෙවීම් හිංසනයන් මැද මාධ්‍යවේදින් හැටියට කටයුතු කරන සිද්ධ වුණ ඉතිහාසයක් අපට තිබෙනවා. මොකද මාධ්‍යවේදින් තමන් විසින්ම වෘත්තිය වගකීම් පැහැර හරිමින් වාරණයකට ලක්කිරීමට අවශ්‍ය ඉඩකඩ පාලකයන්ට ලබා දී තිබුණා. අපි වාරණයට විරුද්ධයි. නමුත් ඒ වගේම ස්වයං ආචාරධර්ම පද්ධතියක් ඇතුළේ වැඩ කිරීමේ හික්මීම හදා ගන්නටත් මාධ්‍යවේදින් කටයුතු කළ යුතු බව මම විශ්වාස කරනවා.

‘තවුහිත් ජමාත් ‍දොස්තර සිංහල බෞද්ධ මවුවරුන් හාරදහසක් වඳ කරලා’ කියන සිරස්තලය ජාතික පුවත්පතක පළ වී තිබුණා. මෙය සමාජයේ විශාල කතා බහකට තුඩු දුන් සිදුවීමක්. මේ ප්‍රවෘත්තියේ නිරවද්‍යභාවය පිළිබඳ වගේම මේ හරහා සමාජයේ යම් කොටසකට ඇති විය හැකි බලපෑමත් හරි විශාලයි. රටේ යම් ගැටුම්කාරී තත්ත්වයක් පවතින අවස්ථාවක මෙවැනි පුවතක් ගැටුම්වලට තුඩුදීමේ ඉඩකඩක් තිබෙනවා. මොකද මේ පුවත පිළිගත හැකි සාක්ෂි මත පදනම්ව සිදුකළ වාර්තාකරණයක් නොවන බව පැහැදිලිව පෙනෙනවා, ආණ්ඩුව දැන් මේ සම්බන්ධයෙන් තොරතුරු සෙවීමෙන්ම. අදාළ වෛද්‍යවරයා මේ වඳ සැත්කම් කළා නම් එය කළේ බලෙන්ද කියන ප්‍රශ්නය අපිට මේ ප්‍රවෘත්තිය ඔස්සේ එනවා. මොකද හුදු තොරතුරක් මිසක් කිසිදු පිළිගත හැකි සාක්ෂියක් ඉදිරිපත් කරන්න මාධ්‍යකරුවා අසමත් වෙලා තිබෙනවා. මාධ්‍යකරුවා සමාජ ගත කරන තොරතුරකින් සමාජයට සිදුවන හානිය අවම කිරීමට වගබලා ගැනීම කියන්නෙම අපේ වෘත්තීයේ ඓන්ද්‍රීය කොටසක්.

පසුගිය අවුරුදු දහය තුළ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි පුවත්පත් කෙහොමද තමන්ගේ වාර්තාකරණයන් කළේ කියන දේ සම්බන්ධයෙන් සිදුකරන ලද අධ්‍යයනයක් මම පරිශිලිනය කළා. එහිදී පැහැදිලිව පෙනෙනවා වාර්තාකරණයන් සිද්ධ වෙලා තිබෙන්නෙ ජයග්‍රාහි මුල්ලිවෛක්කාල් සහ ජයග්‍රාහී ශ්‍රී ලංකාව කියන ජාතිකත්වය මත පදනම් වූ බෙදුම් රේඛාව දෙපස ඉඳන් බව. ඉතිහාසය පුරා ලංකාවේ දේශපාලඥනයන් සහ ජාතිකත්වය මත පදනම් වූ කණ්ඩායම් බෙදුම්වාදී ගැටුම්කාරී තත්ත්වයන් ඇතිවන අයුරින් ක්‍රියාකර ඇති ලෙසම ඇතැම් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදින් ක්‍රියාකිරීමත් බේදනීයයි. විශේෂයෙන්ම පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලංකාවේ සමහර ජනමාධ්‍යවේදින් සහ සමහර මාධ්‍ය ආයතන තමන්ගේ භාෂාව සහ රූප රාමූ යොදා ගත්තේ ගැටුම්කාරී තත්ත්වයන් තිව්‍රකරන ආකාරයට සහ නිර්මාණය කරන ආකාරයට මිස මිනිසුන් අතර සංසිඳීමක් ඇතිවන ආකාරයට නෙවෙයි. මාධ්‍යකරුවාට වගකීමක් වගේම සිවිල් බලයක්ද තිබෙනවා. මේ බලය අපි යොදාගන්නේ සමාජයට කුමනාකාරයේ දෙයක් කිරීම වෙනුවෙන්ද කියන දේ පිළිබඳව අපි අතර සැබෑ කතිකාවක් ඇති විය යුතුව තිබෙනවා.

පසුගිය මාසයක වගේ කාලයක් තුළ ලංකාවේ මාධ්‍ය හැසිරීම පෙන්නුම් කළ තත්ත්වය සමඟ මානව හිමිකම් කොමිෂන් සභාව විශේෂ අවධානයක් ඒ වෙත යෙමු කරමින් මාධ්‍යට යම් නිර්දේශ කිහිපයක් නිකුත් කර තිබුණා. ඉතාම සංවේදී සහ වැදගත් කරුණු කිහිපයක්ම එහි අඩංගුව තිබුණා වුනත් මේ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදින් කොතෙක්දුරට තමන්ගේ අවධානය යොමුකර තිබෙනවාද යන්න ගැටලුසහගතයි. මෙවන් මිලේච්ඡ ප්‍රහාරයකට පසුව මාධ්‍යවේදින් වශයෙන් අපි සිහිකැඳවා ගත යුතු ජාතික සහ ජාත්‍යන්තර මට්ටමින් පිළිගැනීමට ලක්වන කාරණා කිහිපයක් මෙහිදී අවධාරණය කරන්න මම කැමතියි.

මාධ්‍යවේදින් වන අපි යුද්ධයක හෝ යම් ගැටුමක කොටස්කරුවන් නොවෙයි. ඕනෑම ගැටුමක චූදිතයන්ද වින්දිතයන්ද සිටින බව සිහි තබා ගෙන සමබරතාවයෙන් සාධාරණව හා අවම හානියක් සහිතව තොරතුරු වාර්තා කිරීම අපේ කාර්ය භාරයයි. මාධ්‍යයෙහි පවත්නා තොරතුරු යුද්ධය තුළ පුද්ගලයන්ව ඒකාකෘතික කිරීමට උත්සාහ දැරීමත් සුලභව සිදුවෙන්නක්. මාධ්‍ය විසින් තමන්ට රිසි පරිදි පුද්ගලයන්ව විවිධ කණ්ඩායම්වලට ලඝු කරමින් ලේබල් කිරීමට උත්සාහ දැරීම නිසාම යම් යම් පුද්ගලයන් සහ ජන කොට්ඨාස පිළිබඳ සමාජය තුළ භීතියක් වැරදි අදහසක් ඇති කිරීමට සමත්ව තිබෙනවා.

ස්වයං විවේචනයක් නැතිව, ජනමාධ්‍ය කිසිදු වගකිමකින් තොරව මුදාහරින තොරතුරු නිසා අපිව පිළිගන්න බැරි තත්ත්වයට අද ජනතාව පත්වෙලා තිබෙනවා. එකම පුවත මාධ්‍ය විවිධ ආකාරයට වාර්තා කරන අවස්ථා සුලභයි. එකම පුවතට අයත් සංඛ්‍යා දත්ත පුවත්පතෙන් පුවත්පතට නාලිකාවෙන් නාලිකාවට වෙනස්. එතකොට ජනතාව විශ්වාස කරන්නෙ කාවද? මිනිස්සු විදියට අපි නිසඟයෙන්ම යම් යම් පාක්ෂපාතීත්වයන් සමඟ වැඩකරනවා. ඒ නිසාමයි ජනමාධ්‍යවේදින් ආචාරධර්ම පද්ධතීන් තුළ පිහිටමින් මාධ්‍ය භාවිතාවේ යෙදිය යුත්තේ. මාධ්‍යවේදියෙකුට හෝ කිසියම් මාධ්‍ය ආයතනයකට ප්‍රවෘත්ති වාර්තාකරණයේදී සිදුවූ සිදුවීමක් සත්‍ය ස්වරූපයෙන් ඉදිරිපත් කරනවා මිස තමන්ගේ මාර්කට් එකට ගැලපෙන ආකාරයට, තමන්ගේ ජාතිකත්වය, ආගමික පදනම මත පිහිටලා වාර්තා කරන්න බැහැ. ඒ කතාව සත්‍ය තොරතුරු මත පදනම් වුණ පාර්ශ්වික නොවුණු සමාජයට අවම හානියක් සහිත ජනතාව ප්‍රකෝපකාරී කිරීම අරමුණු කර නොගත් වාර්තාවක් විය යුතුයි. ඒ නිසා මම හිතනවා මාධ්‍යකරුවා අද තමන්ගේ භූමිකාව නැවත කියවා ගත යුතුව ඇති බව. ■

519 වන සමබිම ඉරිදා අතිරේකයේ පලවූ ලිපියකි.