Samabima Supplement: සංහිඳියාව ගොඩනගන්න ඕන සංවර්ධනයත් එක්ක

මූලාශ්‍රය: සමබිම

ලංකාවේ ක්‍රියාත්මක වෙන සංහිඳියා වැඩපිළිවෙළ මොන තරම්දුරට වින්දිතයින්ගේ ප්‍රශ්න ආමන්ත්‍රණය කරන්න සමත්ද?

2015 වසරෙන් පස්සේ අපි හැමෝම දන්න විදියට සංහිඳියාව මූලික කර ගත්ත වැඩපිළිවෙළක් රටේ ක්‍රියාත්මක වුණා. ඒ වගේම ඒකට සිවිල් සමාජයේ විශාල සහයෝගයක් තිබුණා. අපි බැලු‍වොත් පසුගිය අවුරුදු 30කට ආසන්න කාලයක් යුද්ධයෙන් වින්දිතභාවයට පත් දෙමළ ජනතාවක් ඉන්නවා. යුද්ධයෙන් අවතැන් වුණ දහස් ගණනක් මිනිස්සු, එයින් පසුවත් අවුරුදු හතක් අටක් ජීවත් වුණේ අවතැන් කඳවුරුවල. මේවාට කඳවුරු කියනවට වඩා සුදුසුයි ටකරන් මඩු කියන එක. මොකද ඒ තරම් පුංචි ඉඩක ගාල් කරපු බල්ලෝ පූසෝ වගේ ඒ මිනිස්සු අවුරුදු ගාණක් ජීවත් වුණේ. නමුත් පසුව මේ ජනතාවට මුල් ඉඩම් නොවුනත් වෙනත් ස්ථානවල පදිංචි කිරීම් නිවාස සකස්කර දීම් සිදුවුණා. ඒත් තවමත් අවතැන්භාවයෙන් පීඩා විඳින විශාල පිරිසක් උතුරේ ඉන්නවා. යුද වැන්දඹුවන්, රැකියා නොමැති වීම් වගේ දෛනික ප්‍රශ්න එක්කයි මේ ජනතාව හැම දවසකම ඔට්ටු වෙන්නෙ. දකුණෙත් මේ තත්ත්වයට මුහුණ දෙන වින්දිතයින් පිරිසක් ඉන්නවා. නමුත් දැන් මුස්ලිම් අන්තාවාදී කණ්ඩායම්වල හැසිරීමත් එක්ක මේ කියන්නා වූ ප්‍රශ්න යට ගිහින්. ප්‍රශ්න යට ගැසීම තමයි මේ ප්‍රශ්න මේතාක් දුරට එන්න හේතු වුණෙත්. පාස්කු ප්‍රහාරය පවා එවැන්නක ප්‍රතිඵලයක්. එවැනි ප්‍රශ්නයක් මේ රටේ දේශපාලන තන්ත්‍රය විසින් ඇති කළා සහ එසේ ඇති වීමට අවශ්‍ය පසුබිම සකස් කළා. සංහිඳියාව ඇති කර ගැනීමේදී දෙමළ වේවා සිංහල වේවා මුස්ලිම් වේවා මේ සියලු‍ ජනවර්ගවල ගැටලු‍ ආමන්ත්‍රණය කළ යුතුයි. නමුත් ඇත්ත වශයෙන්ම ඒ සඳහා තිරසාර වැඩපිළිවෙළක් තවමත් නැති බවයි මගේ අදහස.

සමාජ, ආර්ථීක වශයෙන් වින්දිතයින් මුහුණ දෙන මේ ප්‍රශ්න වෙනම තිබියදී තිරසාර සංහිඳියාවක් වෙනුවෙන් වන වැඩපිළිවෙළකට වෙනම ගමන් කළ හැකිද?

බැහැ. සංහිඳියාවක් ඇත්තටම ඇති කරන්න නම් මිනිස්සුන්ගේ යහපැවැත්මක් ඇති කරන්න, මූලික අවශ්‍යතාවන් ඉටු කරන්න පියවර ගත යුතුයි. එයින් අදහස් කරන්නේ ගෙවල් දොරවල්. කෑම බීම, යාන වාහන ලබා දීම කියන දේ නෙවෙයි. මානව නිදහස, මානව අයිතිවාසිකම්, මානව ගරුත්වය තහවුරු කරන්න සමත් වන රටක මිනිස්සු සතුටින් ජීවත් වෙනවා. අවසානයේ සතුට කියන සාධකයයි වැදගත්. උතුරේ ගෙඩනැගිලි හදනවට වඩා ඒ මිනිස්සු මුහුණ දෙන රැකියා ප්‍රශ්න, ලිංගික සූරා කෑම්, සෞඛ්‍ය ගැටලු‍ වගේම යටිතල පහසුකම් සංවර්ධනය කරන්න වැඩ කිරීමයි වැදගත්. අතීතයේ සිදුවූ කිසිවක් නැවත සිදුනොවන ආකාරයේ වැඩපිළිවෙළක් හදන්න අපි තවමත් අසමත් බව පේනවා පාස්කු ඉරිදා ප්‍රහාරයෙන්ම. ජනතාවගේ ආරක්ෂාව තහවුරු කරන බවට වන සහතිකයක් ජනතාවට රාජ්‍යයෙන් ලැබිය යුතුයි. දශක ගණනාවක් ඔවුන්ට අහිමි වෙලා තිබුණ ජීවිතය යම් හෝ පමණකට නැවත ලබා ගන්න පුළුවන් වෙන්නෙ එවැනි වැඩපිළිවෙළකින් මිසක් දේශපාලන අවශ්‍යතා අනුව කෙරෙන හුදු සංවර්ධන වැඩසටහන් තුළින් නෙවෙයි. ඒ නිසා අපි අපේක්ෂා කරන සංහිඳියාව ගොඩනගන්න වින්දිතයින්ගේ සමාජ, ආර්ථීක හා සංස්කෘතික ප්‍රශ්න අමතක කරල බැහැ. රටක සංවර්ධනය මනින්නේ ආර්ථීක සංවර්ධනයෙන් විතරක් නෙවෙයි. ආර්ථීක දත්ත සංඛ්‍යා ලේඛනවලින් සංවර්ධනය මැනීම කියන්නෙ ගොඩක් පරණ ක්‍රමවේදයක්. අද රටක ජනවර්ග අතර තිබෙන අන්‍යෝන්‍ය සබඳතාවය, සමාජ, ආර්ථීක සංස්කෘතික නිදහස සහ සංවර්ධනය, මානව අයිතිවාසිකම් ගරු කරන සමාජයක් තිබීම කියන සියල්ල රටක සංවර්ධනය මනින සාධකයන්. ඒ නිසා මේ සංහිඳියා වැඩපිළිවෙළ තවදුරටත් වින්දිතයින්ගේ ප්‍රශ්නවලට යම් සහනයක් ලබා දෙන ආකාරයේ වැඩපිළිවෙළක් විය යුතුයි.

අපි දන්නවා වින්දිතයින් ඉල්ලා සිටින්නේ යුක්තිය බව. නමුත් ඒ යුක්තිය ඉටු කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රමාදයි.
මේකට හේතු දෙකක් මම දකිනවා. එකක් නීතිමය වශයෙන් තිබෙන ප්‍රමාදය. දෙවැන්න, ආකල්පමය වශයෙන් අපි ඉන්නෙ කොතැනද කියන දේ. බහුතර දකුණේ ජනතාව හිතනවා යුද්ධයක් ඇතුළේ සිදුවුණ ඕනෑම සිදුවීමක් ඒ විදියට සිදුවුණාට කමක් නැහැ කියල. ඒ වගේම දකුණේ සිංහල සමාජයට රණවිරුවා කියල දැවැන්ත සංකල්පයක් හදලා තියෙනවා. මේ සංකල්පයේ දැවැන්තකම කොයිතරම්ද කියනව නම් යුද්ධයේ වින්දිතයන් වුණ දහස් ගණනක් මිනිස්සුන්ට යුක්තිය ඉෂ්ට කරන වැඩපිළිවෙළකට යද්දි විශාල හඬක් නැගෙනවා රණවිරුවා විදුලි පුටුවට ගෙනියන්න හදනවා කියල. නමුත් අපි තේරුම් ගත යුතුයි යුද්ධයක් තිබුණ පළියට එල්ටීටීඊය සාමාජිකයෙකුට හෝ හමුදා සොල්දාදුවෙකුට බැහැ ගැහැනු ළමයෙක් දූෂණය කරන්න. යුද්ධය මත පදනම්ව එවැනි දෙයක් සාධාරණිකරණය කරන්න අපිට බැහැ. එවැනි සිදුවීම් අතුරුදන් වීම් යුද සමයේ සිදුවුණා. දැන් අපි හොයන්න ඕන මෙහෙම වුණේ කෙහොමද කියල. රටක් හැටියට අපි ඒ ප්‍රශ්නවලට, එයින් බලපෑමට පත් වුණ ප්‍රජාවන්ට උත්තර දෙන්න ඕන. ඒකට තමයි සංක්‍රාන්ති යුක්තිය කියන්නෙ. ඒ යුක්තිය සෙවීම ප්‍රමාද කරමින් අපිට සංහිඳියාව ගොඩනගන්න බැහැ.