පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් පවත්වන ලද ප්‍රධාන දේශනය – UCW පිළිබඳ කලාපීය සමුළුව

කාන්තාව සහ මාධ්‍ය සාමූහිකය, සමාජ විද්‍යාඥයින්ගේ සංගමය සමඟ එක්ව සංවිධානය කරනු ලැබූ දකුණු ආසියාවේ ගෙවීම් නොලබන සුරැකුම් වැඩ සහ ස්ත්‍රී ශ්‍රමය ප්‍රතිසංවිධානය කිරීමේ දී සමානාත්මතාවය සහ යුක්තිය පිළිබඳ 2022 ඔක්තෝබර් 20 සහ 21 යන දිනයන්හී කලාපීය සමුළුවක් පැවැත්වීය. මෙම ලියවිල්ල එම සමුළුවේදී ශාස්ත්‍රීය අයිතීන් ක්‍රියාකාරී සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය විසින් ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ලද ප්‍රධාන දේශනයේ සිංහල පරිවර්තනය වේ.

අද දින ප්‍රධාන දේශනය සිදු කිරීම සඳහා මා හට ආරාධනා කිරීම වෙනුවෙන් මෙම සමුළුවේ සංවිධායක මඩුල්ල වෙත මම මගේ කෘතඥතාව පළ කරමි. මාහට සමීප වූත්, තවදුරටත් ඉගෙනීමට මා ප්‍රයත්න දරන්නා වූත් ගැටළුවක් පිළිබඳව සාකච්ඡා කරමින් අද දින ඔබ සමඟ එක්වීමට හැකි වීම සම්බන්ධව මම සතුටට පත්වෙමි.

මෙම සමුළුව පැවැත්වීම සඳහා වඩාත් උචිත කාල සීමාව මෙම කාල සීමාව වේ. මෙතෙක් මුහුණපෑවේ යැයි සැලකිය හැකි අන්දමේ වඩාත් දරුණු ආර්ථිකමය අර්බුදවලින් එකකට ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ පා සිටින අතර, සමාජ ප්‍රතිනිෂ්පාදන කටයුතු, ළමා සුරැකුම්, ගෘහාශ්‍රිත කටයුතු සහ ප්‍රජා සබඳතා පවත්වාගෙන යාම ආදී කටයුතු වඩාත් දුෂ්කර වෙමින් පවතියි. මෙම කටයුතු ප්‍රධාන වශයෙන් ස්ත්‍රීන් විසින් සිදු කරනු ලබන්නේ ය යන කරුණ පමණක් නොව, ගෙවීම් සහිත හෝ රහිත වුව ද එහි නියැලීම තව තවත් දුෂ්කර වෙමින් පවතියි. මෙය ආර්ථික අර්බුදයක්ම පමණක් නොව, දිගු කලක සිට නිර්මාණය වෙමින් පැවති අති විශාල සමාජමය අර්බුදයකි.

මෙම සමාජමය අර්බුදය, විශේෂයෙන්ම සමාජ ප්‍රතිනිෂ්පාදන කටයුතුවල පවතින අර්බුදය විසින්, ධනවාදය (විශේෂයෙන්ම නව ලිබරල් ධනවාදය) සහ ස්ත්‍රීවාදය අතර ඇති සබඳතාව සියුම් විමසීමකට ලක් කරනු ලබන්නේ ය යන අදහස අද දින මගේ කථාව තුළින් ඉදිරිපත් කිරීමට මම කැමැත්තෙමි. එසේම, අනාගතය රැඩිකල්වාදී ලෙස වෙනස් අයුරකින් හැඩගස්වා ගැනීම සඳහා අප අතපසු නොකළ යුතු අවස්ථාවක් ද, එමඟින් අපට සපයනු ලැබේ. ප්‍රතිපත්තිමය කටයුතුවල මා විශාල වශයෙන් නියැළෙන තරමට, “ස්ත්‍රී ගැටළු” සහ එම ගැටළු සමඟ ගනුදෙනු කිරීමට යෝජනා කරන ලද ප්‍රතිපත්ති සහ මැදිහත්වීම් ලෙස සලකනු ලබන දේ තුළ, විස්මයජනක වූ නොවෙනස්වනසුළු බවක් (මා හට නම්, මෙය ඉහළ යන විට අපහසුතා ඇති කරන නොවෙනස්වනසුළු බවක් වේ) පවතින බවක් ද මට වැටහේ. එසේම, එක් පසෙක තිබෙන, ක්‍රමයෙන් පිරිහෙන ආර්ථික තත්ත්වය සහ අනෙක් පස තිබෙන (ප්‍රමාණවත් තරම් ඉහළ අගයක් නොපවතින බව පෙනෙන) ස්ත්‍රී ශ්‍රම බලකා සහභාගිත්ව අනුපාත ඉහළ නැංවීමේ අවශ්‍යතාව, දරිද්‍රතාවයෙන් පෙළෙන ස්ත්‍රීන් සඳහා ලබාදෙන ක්ෂුද්‍ර මූල්‍ය ණය වැඩසටහන් මඟින් ඉතා වැදගත් ආකාරයෙන් අවසන් කෙරේ. තීරණ ගැනීම හා සම්බන්ධ ආයතනවල ස්ත්‍රී නියෝජනයේ හිඟයක් පැවතීම හේතුවෙන් සවිබල ගැන්වීමේ වැඩසටහන් සහ සමානාත්මතාව තහවුරු කිරීම සඳහා කෝටාවන් ඉහළ නැංවීම සිදු කෙරේ. ඇතැම්විට මෙයට බාධා ඇති වන්නේ නිපුණත්වය තහවුරු කිරීමට අවශ්‍යය යන මත මඟින් වන අතර, ඒ හේතුවෙන්, එම තනතුරුවල රැඳී සිටීමට සුදුසු ස්ත්‍රීන් පමණක් එම තනතුරු ලබති. මක්නිසා ද යත්, “සුදුසුකම් නොලත්” ස්ත්‍රීන් බලය සහිත තනතුරුවල රැඳී සිටීමේ අවමානයට වඩා නිවසේ, සේවා ස්ථානවල සහ ප්‍රජාව තුළ සිදුවන ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයන් දුරැලීමට කටයුතු කළ යුත්තේ නීති ප්‍රතිසංස්කරණ මඟිනි. සාමාන්‍යයෙන්, සමානාත්මතාව සහ යුක්තිය සපයතැයි අපේක්ෂිත ආයතන විසින්, විශේෂයෙන්ම සුළුතර ප්‍රජා සහ අඩු ආදායම්ලාභී කණ්ඩායම්වල ස්ත්‍රීන්ව කොන්කර දැමීමේ, පීඩනයට පත් කිරීමේ සහ ශ්‍රමය සූරා කෑමේ මූලාශ්‍ර ලෙස ක්‍රියා කරනු ලබන්නේය යන්න පිළිගන්නේ අල්ප ලෙස ය.

නමුත් වඩාත් භයානක තත්ත්වය වන්නේ, ස්ත්‍රීන්ට අවාසි හා දුෂ්කරතා ඇති කරන තත්ත්වයන් පිළිබඳව අල්ප වූ අවකාශයක් හෝ විවාදාත්මක බවක් තිබීමයි. ඉහළ උද්ධමන අනුපාත, දුර්වල සමාජ ආරක්ෂක පද්ධති හා ජීවිකාව සඳහා ලබාදෙන වැටුප් හිඟකම ආදී ශ්‍රමය අයුතු ලෙස ලබා ගැනීමේ වැඩ කටයුතු ආදියට, පිරිහෙමින් පවතින ආර්ථිකමය හා ජීවන‍ තත්ත්වයන් සම්බන්ධ වන්නේ කෙසේ ද, ජනවාර්ගික ආගමික ජාතිවාදයන්හි නැඟී සිටීම සහ, මිත්‍යා මත, මිත්‍යා විශ්වාස සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන්කළ සාම්ප්‍රදායික මත පැවතීමට ඉන් කෙරෙන බලපෑම විශේෂයෙන්ම මිනිසුන් අතර පවතින ආර්ථික අස්ථාවරභාවය, දේශපාලනික වියවුල්බව, තරාතිරම හා සම්බන්ධ වියවුල් සහගත බව ආදී කරුණු, විශාල ලෙස දුෂ්කරතාවට පත් වෙමින් සිටින පවුල් සහ පෞද්ගලික ගතිකත්වයන්ට සම්බන්ධ වී ඇත්තේ කෙසේ ද සහ නිවසේ පමණක් නොව පොදු ස්ථානවලදී පවා ප්‍රචණ්ඩත්වයට ලක්වීමට එය හේතුවන්නේ කෙසේද යන්න මීට නිදසුන් වේ. ප්‍රතිපත්තිමය අවකාශය තුළ සමාජ ප්‍රතිනිෂ්පාදන කටයුතුවල වැදගත්කමට හා මානව සමාජයේ නඩත්තුව සහ පැවැත්ම සඳහා වඩාත් අවශ්‍ය පූර්ව කොන්දේසි එමගින් සපයන්නේ කෙසේ ද යන්නට ලැබෙන්නේ අතිශය අල්ප වූ පිළිගැනීමකි. නැතහොත්, වඩාත් වැදගත් ලෙස, මාගේ මතයට අනුව, (ගෙවීම් ලබන හෝ නොලබන) සමාජ ප්‍රතිනිෂ්පාදන කටයුතුවල අදෘශ්‍යමාන බව හා සූරාකෑම යන තත්ත්ව අප මුහුණ පාන ආර්ථිකමය සහ සමාජමය අර්බුදයේ කොටසක් වන්නේ කෙසේ ද මෙන්ම, අප ප්‍රශ්නය මධ්‍යයට යන්නේ නම් මෙම අර්බුද කළමනාකරණය කිරීම සඳහා ධනවාදය විසින් ප්‍රයත්න දරා සොයාගෙන ඇති ක්‍රම මොනවා ද යන්න වේ.

මෙම සමුළුව සහ මෙහි සිදුවන විචාරයන් අතිශය වැදගත් වන්නේ මෙම හේතුව නිසා වේ. “ප්‍රාග්ධන සහ සුරැකුම්වල පරස්පර විරෝධීභාවයන්” යන ලිපියේ නැන්සි ෆ්‍රේසර් විසින් දක්වනු ලැබ ඇති ආකාරයට (ගෙවීම් සිදු කළ ද නොකළ ද) සමාජ ප්‍රතිනිෂ්පාදන කටයුතු පිළිබඳව වූ සුරැකුම් වැඩ හා සම්බන්ධ පීඩාවන් යනු අහඹුවක් නොවේ. අනෙක් අතට එය නව ලිබරල්වාදී ධනවාදයේ සහ නව ලිබරල්වාදී සමාජයේ ආකෘතිය තුළ ගැඹුරු ලෙස මුල් බැස ගෙන ඇත. ඇය එය විස්තර කරන්නේ ධනවාදයේ ඇති සමාජය ප්‍රතිනිෂ්පාදන පරස්පර විරෝධීභාවය ලෙස ය. එනම්, පෝෂිත වූ ප්‍රාග්ධන සංචිතයක් සඳහා සමාජ ප්‍රතිනිෂ්පාදනය අත්‍යවශ්‍ය වුව ද, ධනවාදය විසින් ද සමාජ ප්‍රතිනිෂ්පාදන ක්‍රියාවලිය අස්ථායි කරනු ලැබේ.

මෙම සමුළුව සහ මෙහි සිදුවන විචාරයන් අතිශය වැදගත් වන්නේ මෙම හේතුව නිසා වේ. “ප්‍රාග්ධන සහ සුරැකුම්වල පරස්පර විරෝධීභාවයන්” යන ලිපියේ නැන්සි ෆ්‍රේසර් විසින් දක්වනු ලැබ ඇති ආකාරයට (ගෙවීම් සිදු කළ ද නොකළ ද) සමාජ ප්‍රතිනිෂ්පාදන කටයුතු පිළිබඳව වූ සුරැකුම් වැඩ හා සම්බන්ධ පීඩාවන් යනු අහඹුවක් නොවේ. අනෙක් අතට එය නව ලිබරල්වාදී ධනවාදයේ සහ නව ලිබරල්වාදී සමාජයේ ආකෘතිය තුළ ගැඹුරු ලෙස මුල් බැස ගෙන ඇත. ඇය එය විස්තර කරන්නේ ධනවාදයේ ඇති සමාජය ප්‍රතිනිෂ්පාදන පරස්පර විරෝධීභාවය ලෙස ය. එනම්, පෝෂිත වූ ප්‍රාග්ධන සංචිතයක් සඳහා සමාජ ප්‍රතිනිෂ්පාදනය අත්‍යවශ්‍ය වුව ද, ධනවාදය විසින් ද සමාජ ප්‍රතිනිෂ්පාදන ක්‍රියාවලිය අස්ථායි කරනු ලැබේ.

එසේ නම්, මානව විෂයයන් හි, නිෂ්පාදනය, පැවැත්ම සහ නඩත්තු වීම, ධනවාදී ආර්ථිකයක් සඳහා අත්‍යවශ්‍ය වේ. මානව විෂයයන් හි නිෂ්පාදනය සහ පැවැත්ම සඳහා දරු උපත්, දරුවන් සුරැකුම, යෞවනයන්ගේ සමාජානුයෝජනය, ගෘහ කටයුතු සිදු කරගෙන යාම, වයෝවෘද්ධ වූවන් රැක බලාගැනීම, සමාජමය බැඳීම් පවත්වාගෙන යාම, සමාජමය වටිනාකම් සහ සම්ප්‍රදායන් ප්‍රතිනිෂ්පාදනය යන මෙම සියලු කරුණු අත්‍යවශ්‍ය වේ. ධනවාදී ආර්ථිකයන් හි, මෙම කටයුතු සඳහා මූල්‍යමය අගයක් නොලැබෙන අතර නොමිලේ ලබා දෙනු ලැබේ. සුරැකුම් වැඩ ලෙස විස්තර කරන ලද මෙය, මූලික වශයෙන් සලකනු ලබන්නේ ස්ත්‍රීන්ගේ වැඩ ලෙස ය. ස්ත්‍රී පුරුෂ සමාජභාවය අනුව වෙන් කළ සම්ප්‍රදායික කරුණු විසින්, සුරැකුම් වැඩ හා සම්බන්ධ මෙම සංකල්පය සඳහා අනුබල දෙනු ලබන්නේ රැක බලාගැනීම සහ සුරැකුම සඳහා ස්ත්‍රීන් සතුව ඇති නිසඟ ආවේගයෙහි ස්වභාවික දිගුවක් ලෙසට ය. සාර්ථක ස්ත්‍රියක් ලෙස කතා බහට ලක් වන්නේ (සාරි හැඳ අඩි උස පාවහන් පැළඳ සිටින) කාර්යක්ෂම ලෙස සුරැකුම් කටයුතුවල නියැළෙමින් රැකියාවක් කරන අතරම ස්වාමි පුරුෂයාව සතුටින් තැබිය හැකි ස්ත්‍රියක් ය. එය වැඩ ජීවිත තුලනය ලෙස හැඳින්වෙන අතර, මෙම සියල්ල සිදු කළ හැකි ආකාරය පිළිබඳව ඔබට පහදන වැඩමුළු ඇති බව මම දනිමි. මේ සියල්ල තුළ, ස්ත්‍රීන් පිළිබඳව කතා බහ කෙරෙන ආකාරය පිළිබඳව ඉතා ප්‍රබල පන්ති මූලිකාංගයක් පවතින බව කරුණාවෙන් සලකන්න. මින් කිසිවක්, දෛනික වැටුප් ලබන සේවකයන්, කෘෂිකාර්මික සේවකයන්, කම්හල් සේවකයන් හෝ ක්ෂුද්‍ර මූල්‍ය ණය යෝජනා ක්‍රම ලද දහස් ගණනක් වූ එම ස්ත්‍රීන්ගේ ජීවිත පිළිබඳව සැලකිල්ලට නොගනියි. මින්පසු, සුරැකුම් කටයුතු වෙන් කරනු ලබන්නේ පෞද්ගලික ක්ෂේත්‍රය වෙතට වේ. එනම්, නිවෙස්, අසල්වාසීන්, අවිධිමත් ජාලයන්, රජයේ ආයතන, පාසල්, සෞඛ්‍ය පද්ධති සහ සමාජ ආරක්ෂක යාන්ත්‍රණ ආදී මෙම කටයුතුවලට සහාය දක්වන පද්ධති ආදිය නිර්දය ලෙස දුර්වලභාවයට පත් වේ. යම් කරුණු ක්‍රියාත්මක නොවන විට, සුරැකුම් කටයුතු සඳහා වූ සමූහය යන අදහස හෝ සමාජමය වගකීමට වඩා පෞද්ගලික අසමත් වීම යන අදහස අප තුළ පවතියි. ඒ, දුර්වල කාල කළමනාකරණය හෝ කාර්යක්ෂම ලෙස බහු කාර්යයන් හි නියැළීමට නොහැකි වීම හෝ අසමත් වීමට හේතුවන මූල්‍ය කළමනාකරණය පිළිබඳ නොදැනීම හෝ අවබෝධයක් නොමැති වීම වේ. එය සමඟ කටයුතු කිරීමට ද අප සතුව වැඩමුළු ඇත.

මෙකී අසීරු සහ යථාර්ථවාදී නොවන අපේක්ෂාවන් හේතුවෙන් නිර්මාණය කරන ලද නොවැළැක්විය හැකි අර්බුදය පිළිබඳව ඉස්මතු වන ප්‍රතිචාර ගත් කල වඩාත් කනස්සල්ලට තුඩු දෙන කරුණ වන්නේ, රැකියාව/ජීවිතය සමබරතාවකින් පවත්වා ගෙන යාම, සුරැකුම් කටයුතු සමානව බෙදාහදා ගනිමින් කටයුතු කිරීම සහ මෙම කටයුතු ද්‍රරිද්‍රතාවයෙන් යුත්, වඩාත් අවදානමට ලක්විය හැකි ස්ත්‍රීන් මත ඉතා වංචනික ලෙස පැටවීම මෙන්ම සමාජ ප්‍රතිනිෂ්පාදන ශ්‍රමය පහත් තත්ත්වයකට ඉඳුරාම ඇද දැමීම යනාදී අදහස්, ස්ත්‍රීවාදී ප්‍රතිචාරයක් හෝ අවම වශයෙන් මෙම අර්බුදය සඳහා වන ස්ත්‍රී පුරුෂභාවයේ සංවේදීත්වය හා සබැඳි ප්‍රතිචාරයක් ලෙස හඳුනාගැනීම යි. ප්‍රතිපත්ති සම්පාදකයින් ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳව සාකච්ඡා කරන විට, ස්ත්‍රීන්ට අදාළ ගැටලු සාකච්ඡා කරන ආකාරය සහ ඊට විසඳුම් යෝජනා කරන ආකාරය සඳහා යොදාගන්නේ ද මෙකී සිදුවීම් පෙළ ය.

එමෙන්ම, ධනවාදය නමැති සංකල්පය, ස්වකීය අරමුණු සඳහා ඉවහල් වන පරමාදර්ශී පුද්ගලයන් බිහි කිරීම සඳහා වූ සමාජ ප්‍රතිනිෂ්පාදන කටයුතු හැඩගැස්වීම සඳහා යොදාගත හැකි පාසල් සහ සෞඛ්‍ය සේවා වැනි රාජ්‍ය ආයතන ඒ සඳහා භාවිතා කිරීමෙන් ද ඉවත් වී නැත. නිදසුනක් වශයෙන්, යටත් විජිත සමයේ සිටි අධ්‍යාපනඥයින් යටත් විජිත පාලන ක්‍රමය යටතේ සේවය ලබා ගත හැකි ආකාරයේ යටත්පහත්, ශිෂ්ට සම්පන්න ස්වදේශික ස්ත්‍රීන් සහ පුරුෂයන් නිර්මාණය කිරීමට උත්සාහ කළාක් මෙන්, නව ලිබරල් අධ්‍යාපනය පුද්ගලික වගකීම පිළිබඳ දැඩි හැඟීමකින් අනූන අභිලාෂකාමීත්වය, තරඟකාරීත්වය, ව්‍යවසායකත්වය යන අංග ඇතුළත් පරමාදර්ශී නව ලිබරල් පුද්ගලයන් නිර්මාණය කිරීමට ප්‍රයත්න දරයි. වඩාත් තරඟකාරී සහ අවිනිශ්චිත ආර්ථික හා සමාජීය පරිසරයක් තුළ පුද්ගලික වගකීම කෙරෙහි පවතින මෙම අවධාරණය, අසාර්ථකත්වය සහ ආතතිය පිළිබඳ වූ ඉහළ අවදානමක් නොවැළැක්විය හැකි අන්දමින් විදහා දක්වන බැවින්, චිත්තවේග සහ දුක් වේදනා හා කම්කටොළුවලට ප්‍රතිචාර දැක්වීම වෛද්‍ය ගැටලුවක් සේ සැලකීම, අප අත්විඳිමින් සිටින සමාජ අර්බුදය සඳහා වන ධනවාදී ප්‍රතිචාරය ලෙස මතු වී ඇතිවා පමණක් නොව, සෞඛ්‍ය අංශයට සහ විශේෂාකාරයෙන් ඖෂධ කර්මාන්තයට වාසිදායක වන විශාල වෙළඳ අවස්ථා සහ ලාභ ඉපයීමේ මාර්ග විවෘත කොට දී ඇත. මීට වසර 25 කට පමණ පෙර මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය අංශයේ මා සේවය කළ අයුරු මට සිහිපත් වේ. එවකට පැවති විශාලතම ගැටලුව වූයේ අපකීර්තියට ලක්වීම සම්බන්ධයෙන් ඇති බිය හේතුවෙන් මිනිසුන් මානසික සෞඛ්‍ය සහ මනෝ සමාජීය සේවාවන් වෙත ප්‍රවේශ වීම සඳහා දක්වන අකමැත්ත මෙන්ම, සිය ගැටලු මනෝවිද්‍යාත්මක ක්‍රමවේද තුළින් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ඔවුන් තුළ පවතින නොහැකියාවයි. මම තවදුරටත් මෙම අංශය තුළ කටයුතු කරන අයෙකු නොවෙමි. එනමුදු, මනෝවිද්‍යාව පිළිබඳ පාඨමාලාවල ජනප්‍රියත්වයක් පවතී නම්, අද වන විට මෙම තත්ත්වය බෙහෙවින් වෙනස් වී ඇතැයි මා සැක පළ කරමි.

කෙසේ වුවද, මෙයින් ඉස්මතු වන සත්‍යතාව වන්නේ, සමාජ ප්‍රතිනිෂ්පාදනයට එරෙහි මෙම ස්ථිරසාර සහ ඒකාබද්ධ බලපෑම පවුල්, ප්‍රජාවන් සහ විශේෂයෙන්ම ස්ත්‍රීන් සුවිශේෂී සංධිස්ථානයකට තල්ලු කොට ඇති බවයි. අද වන විට බොහෝ පවුල්, ප්‍රජාවන් සහ පුද්ගලයන් වත්මන් ආර්ථික හා සමාජ අර්බුදය මූලික වශයෙන් අත්විඳින්නේ සමාජ ප්‍රතිනිෂ්පාදන ක්‍රියාකාරකම්වල බිඳ වැටීම් තුළින් හටගත් සුරැකුම් හා සබැඳි අර්බුදයක් ලෙසයි. ආහාර සුරක්ෂිතතාවයේ පටන් අධ්‍යාපනය, සෞඛ්‍ය සහ ප්‍රවාහනය යන මූලික අවශ්‍යතා තෙක් උද්දමනය මඟින් දැඩි බලපෑමක් එල්ල කරන විට, වැටුප්වල වටිනාකම පහත වැටෙන විට සහ සමාජ ආරක්ෂණ පියවර කප්පාදු වන විට, පවුල් සහ ගෘහයන්, මිනිසුන්ගේ යහපැවැත්ම සහ මිනිසුන් එකට බැඳ තබන පවුල් සහ සමාජ බැඳීම් මත දැඩ් බලපෑම් එල්ල වේ. මානසික අවුල්සහගත බව සහ දේශපාලනික අවිනිශ්චිතතාවය වැඩි වන කාලවලදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් කරගත් ප්‍රචණ්ඩත්වය ඉහළ යන ආකාරය හා සබැඳි ප්‍රමාණවත් සාක්ෂි ඇත. පුදුමයට කරුණ නම්, සුරැකුම් හා සබැඳි මෙම අර්බුදය සදාචාරාත්මක අර්බුදයක් ලෙස ද අර්ථකතනය කරනු ලැබීමයි. එනම්, මව්වරුන් සිය මාතෘත්වයේ වගකීම් නිසි ලෙස ඉටු නොකිරීම, පවුල්වල වටිනාකම් බිඳ වැටීම, මිනිසුන් ආගම, සම්ප්‍රදායික සාරධර්ම යනාදියෙන් ඈත් වීම ආදිය යි. මෑතක දී පෝෂණය පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති විවාදයක් අතරතුර සිය අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, සැබෑ ප්‍රශ්නය බවට පත්ව ඇත්තේ නූතන මව්වරුන් පාරම්පරික ආහාරවල පෝෂණ ගුණය නොදැන සිටීම බව සඳහන් කළේ ය. එනම්, ගෙවත්තෙන් නෙළා ගත් පෝෂණීය එළවලු පිසීම වෙනුවට, මව්වරු තමන් සහ තම දරුවන් පෝෂණය කරන්නේ කොත්තු රොටි සමඟ මුසු කළ කොකා කෝලා පානයෙන් බව පෙනී යන වග මෙහිදී සඳහන් කෙරිණි. පෙනී යන පරිදි මන්දපෝෂණය හටගැනීම සඳහා හේතු වී ඇත්තේ මෙයයි.

ආර්ථික අර්බුදයට පිළිතුරක් ලෙස දැනට යෝජනා කොට ඇති පිළියමක් වශයෙන් රාජ්‍ය ආයතන තවදුරටත් කප්පාදුවට ලක් කිරීම සහ බදු වැඩි කිරීම යන කරුණු මඟින් පෙනී යන්නේ, සුරැකුම් හා සබැඳි අර්බුදයට එමඟින් එල්ල විය හැකි දේ පිළිබඳව කිසිදු සලකා බැලීමක් සිදු කොට නොමැති බවයි. උපහාසයට කරුණ නම්, සත්‍ය වශයෙන්ම සමාජ ආරක්ෂාව සපයන සියලුම යාන්ත්‍රණ රජය විසින් ඉතා කඩිනමින් ඉවත් කරමින් සමාජ ආරක්ෂණය මත බද්දක් පනවා තිබීම යි.

මෙම අසීරු කාලය තුළ වුවද, සමාජ ප්‍රතිනිෂ්පාදනය පිළිබඳව ක්‍රියාත්මක කරන අරගල අනාගතය පරිවර්තනයකට ලක් කිරීම සඳහා අප කරන්නා වූ කාර්යයේ කේන්ද්‍රස්ථානය වන බව තහවුරු කර ගැනීමේ වගකීම අප සතුව පවතී. සමාජ ප්‍රතිනිෂ්පාදන කාර්යයන්, වැටුප් සහිත සහ වැටුප් නොලබන සුරැකුම් වැඩ හෙළා දැකීමට තවදුරටත් අපට හැකියාවක් නැත. සූරාකෑම, පීඩාකාරී බව සහ බලෙන් ලබාගැනීම ආශ්‍රිත නව ලිබරල්වාදී ධනේශ්වර ව්‍යුහයන්ගේ ස්වභාවය සමඟ අත්‍යන්ත ලෙස සම්බන්ධ වන අයුරින් මෙම කාර්යය හිතාමතා නොසලකා හැරීම හෝ එය පුද්ගලික අංශයට සීමා කිරීම අපට නොසලකා හැරිය නොහැක. වැටුප් ලබන සහ වැටුප් නොලබන සුරැකුම් වැඩ හා සබැඳි මෙම අනිසි භාවිතයට අදාළ පන්තිය, ස්ත්‍රී පුරුෂ සමාජ භාවය සහ වාර්ගික අංගයන් අප විසින් හඳුනාගත යුතු වේ.

සූරාකෑම සහ පීඩනය නිර්මාණය කරන සහ පවත්වාගෙන යන ව්‍යුහයන් නවමු පරිවර්තනයකට ලක් කිරීම සඳහා අභියෝග එල්ල නොකරන්නා වූ, සමානාත්මතාව සහ සවිබල ගැන්වීම හා සබැඳි හිස් පොරොන්දු මත පදනම්ව සරල වශයෙන් සූරාකෑම සහ පීඩනය යනාදිය කළමනාකරණය කිරීම සඳහා පමණක් අපගේ කටයුතු සීමා නොකරන සැටියට අප මෙහිදී වග බලා ගත යුතු ය. කෙතරම් ප්‍රයෝජනවත් කාර්යයක් වුවද, සුරැකුම් වැඩ තක්සේරු කිරීම ගත් කල, එය දිවා සුරැකුම් පහසුකම් සැපයීම සහ සංගණන දත්තවල වැටුප් නොලබන සුරැකුම් වැඩ යටතට ඇතුළත් කිරීම දක්වා පමණක් සීමා කළ නොහැක. අසමානතාවයේ සහ ආධිපත්‍යයේ (බහුතරයකට) එම ව්‍යුහයන් අඛණ්ඩව පවත්වාගෙන යන අතරවාරයේ, සමානාත්මතාව සහ නිදහස (සුළු පිරිසකට) විදහා දක්වන මුහුණුවරක් පෙන්නුම් කිරීමට උත්සාහ දරන්නා වූ බලයේ සිටින අයවලුන් විසින් ස්ත්‍රීවාදය හෝ ස්ත්‍රීවාදී ක්‍රියා අයථා අන්දමින් භාවිතා නොවන සැටියට අප වග බලා ගත යුතු ය.

ස්ත්‍රී පුරුෂ සමාජ භාවය, සමානාත්මතාවය සහ ස්ත්‍රී ගැටලු පිළිබඳ අදහස්, බල ව්‍යුහයන් සහ සූරාකෑමේ පද්ධති මඟින් නොවැළැක්විය හැකි ආකාරයෙන් වසන් කොට ඇති ලිබරල් කතිකාවන් මඟින් පාලනයට ලක්වන බැවින්, මෙම තත්ත්වය මඟින් මෙම කාලවලදී ස්ත්‍රීවාදයට විශාල අභියෝගයක් එල්ල වන බව මම විශ්වාස කරමි. සූරාකෑම, පීඩනය සහ ආධිපත්‍යය යන ව්‍යුහයන් පිළිබඳ ස්ත්‍රීවාදී විවේචන අප විසින් ශක්තිමත් කළ යුතු අතර කොල්ලකාරී ස්වභාවයෙන් යුක්ත සහ විශේෂයෙන්ම මූල්‍යකරණයට ලක් වූ නව ලිබරල් ධනවාදී ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් මඟින් සමාජ ආරක්ෂණ ධාරිතාවන් සහ ජීවන තත්ත්වයන් දුර්වල වී ඇති ආකාරය පරීක්ෂා කළ යුතු වේ. අර්බුදයේ පන්ති සහ ව්‍යුහාත්මක විශ්ලේෂණය අවප්‍රමාණය කිරීමට හෝ නොසලකා හැරීමට දරන උත්සාහයන් සහ ශ්‍රම බලකායේ ස්ත්‍රී සහභාගීත්වය වැඩි කිරීම, නීති ප්‍රතිසංස්කරණ, ක්ෂුද්‍ර ණය, දේශපාලනය තුළ ස්ත්‍රී සහභාගීත්වය යනාදී වශයෙන් වූ හණමිටි පැරණි සංකල්ප දෙසට මෙම විවාදය යොමු කිරීමට දරන උත්සාහ කිරීම අප විසින් ප්‍රතික්ෂේප කළ යුතු වේ. මෙවැනි සංකල්ප මූලික වශයෙන් ලිංගිකත්වය, පීතෘමූලිකත්වය, ජාතිවාදය සහ දේශපාලන, ආර්ථික සහ නීති පද්ධති සහ ආයතනවල පීඩාකාරී ස්වභාවය පිළිබඳව නොසලකා හරිති.

එබැවින්, හුදෙක් ප්‍රතිසංස්කරණ පමණක් නොව පරිවර්තනයක් සඳහා එළඹීම උදෙසා අවස්ථාවක් අපට මෙම මොහොතේ දී උදාව ඇත. එනම්, සමාජය වෙනස් ලෙස දැකීමේ සහ සංවිධානය කිරීමේ හැකියාව දැකිය හැකි ආකාරයේ තල්ලුවක් එමඟින් ලබා දෙනු ඇත. තවද, යුක්තිය, සමානාත්මතාවය සහ නිදහස් සමාජය සංවිධානය කිරීම සඳහා පදනම් වන ලොවක්, ධනය සහ ස්වභාවික සම්පත් සියල්ලෝම බෙදාහදා ගන්නා ලොවක්, මානව වර්ගයා නඩත්තු කිරීමට ඉවහල් වන, එහෙත් හුදෙක් සූරාකෑමට සුදුසු සම්පතක් නොවන පරිසරයක් සහිත ලොවක්, රැකවරණය, ආදරය සහ පෝෂණය යනාදිය ජීවිතයේ පූර්ව කොන්දේසි බවට පත් වූ ලොවක් කරා ගමන් කිරීමට අවස්ථාවක් උදා වී ඇත. අවිනිශ්චිතභාවය තුළ කල් ගත කරමින්, එකම කාසියේ දෙපැත්ත පිරික්සමින්, පීඩකයන්ට සහ සූරාකෑමට ලක් වූවන්ට එකට එකතු වන ලෙස නිෂ්ඵල ආයාචනා කරමින්, ගැටලුව නිර්මාණය කළ අය එහි විසඳුමේ කොටසක් වනු ඇතැයි අපේක්ෂා කරමින් කල් ගත කිරීමට අපට තවදුරටත් නොහැක. මේ එළඹ ඇත්තේ එවැනි කිසිවක් සචඳහා සුදුසු කාලයක් නොවේ. එබැවින්, මේ එළඹ ඇත්තේ ස්ත්‍රීවාදය විසින් පිරිනමනු ලබන සියලු ශක්තිය, ගතිකත්වය සහ පරිවර්තනීය විභවයන් දෝතින් ග්‍රහණය කර ගැනීම සඳහා අපට ලැබී ඇති කාලයයි. එනම්, නවමු ලොවක් පිළිබඳව සිතීමට සහ නවමු ලොවක් නිර්මාණය කිරීම සඳහා වන අවස්ථාවයි.
ස්තුතියි ■

සම්පූර්ණ කථාව බාගන්න